Monday, September 25, 2017

බිඳෙන වීදුරු නොබිඳී රැකගන්නට නම්...

              ඔබ වීදුරු දැක තිබෙනවාද?? ඒවා බෙහෙවින් හැඩ ය.එක එක හැඩැතිය.ඇතැම් වීදුරු නිර්මාණද එසේම ය.ඒවා මනස්කාන්තය.දකින්නන්ට දෑස් දල්වාගෙන බලා සිටිය හැක. 😍
  එහෙත් එලෙසින්ම ඔබ බිඳුණු වීදුරු දැක තිබෙනවාද.. එහි බලන්නට දෙයක් නැත.ඒවා තනිකරම කුඩු ය.කුඩේ කුඩුය.ඒ මදිවාට තියුණුය.යන්තම් ඇනුනද ඇති ය.තුවාල වී ලේ ගලන්නේ ය.එමෙන්ම අනිකාට හානි පමුණුවන්නේ ය.බිඳිච්ච වීදුරුවක ගන්න දෙයක් නැත.ඒවා කොච්චර එකතු කලද තිබූ ලෙස සැකසීම අසීරු ය.එහෙත් ඔබ වීදුරුවලින් තැනූ නිර්මාණයකට මහත් සේ ආදරය කරනවානම් ඔබට එය රැක ගත හැකි ය.
     මිනිස්සුන්ගේ සිත් ද එසේම ය.ඒවා ද වීදුරු ය.බිඳුනොත් බිඳුනාම ය.හිත් බිඳෙන්නේ උවමනාවෙන්ම නොවේ ය.එක්කෝ ජීවිතයේ අසීමිතව තැබු බලාපොරොත්තු බිඳී යාමක කෙලවර මිනිසුන් බිඳී යන්නේ ය.එසේත් නැතිනම් අසීමාන්තික ප්‍රේමයක කෙලවර සිත බිඳී යන්නේ ය.මම ඔබට තව දෙයක් කියමි.මිනිසුන්ගේ ආත්මය හෝ සිත බිඳෙන්නට එතෙනට ආදරය ඈඳෙන්නම ඕනෑ නැත. ජීවිතයේ දරාගැනීම් වල අවසානයේ හිතකට ඉරිතලන්නට හොඳටම පුලුවන.ඒකට කවුරුන් හෝ ආදරය කරලාම විය යුතු නැත.ජීවිතයේ එන අසීමාන්තික පීඩා අවසානයේ හිතකට බිඳී යා හැකිය.එහෙම වෙනවාය.ඇතැම් විට ඔබ නොදන්නවා විය හැක.
    ඔබ කොතරම් දක්ෂයෙකු ද,පොරක්ද, නැතහොත් වැඩ්ඩෙක්ද යන්න ජීවිතයේ ප්‍රශ්නවලට අදාලම නැත.මහා රූස්ස නුග රුක් ද සුලි කුණාටු වලට මහ පොලව බදා ගන්නා අවස්තා ඕනිතරම් ඇත.සරලය.එකිනෙකාගේ දරා ගැනීමේ පරිමාව වෙනස් ය.ඒ ඒ පරිමාවන් ඉක්මවා යාම තුල ඊලඟ ප්‍රතිපලය එහි දෙදරා යාම ය.නැත්තම් කඩා වැටීම ය. ඒකට ඔබේ සමාජ මට්ටම හෝ කුලය හෝ මොකක් හෝ තත්වය අදාල නැත.කොහෙත්ම නැත.
   විශාදය නොහොත් මානසික ආතතිය දැන් දැන් ලංකාවේ එලිපිටම කතා වෙන්නට පටන් ගෙන ය.හේතු බොහෝය.එක එක්කෙනා එක එක දේ කියවති.සමහරු එය අත් විඳලාය.එයින් ගැලවුනු අයුරු කියති.සමහරු දොස් කියති."අපි නොමැරෙමු,අපට ඕවා නොවන්නේම ය" ආකල්ප දරන්නෝ බොහොම ය.ඒ අතර නිහඬවම විඳවන අයද බොහෝමය. ඔව් මම අද ඒ ගැන ලියමි.
   විශාදය නැතහොත් Depression ගැන බොහෝ දෙනා කතා කරති.විශාදය දුර දිග යාම තුල අවසානය වන්නේ සිය දිවි නසා ගැනීම ය.මිත්‍රවරුණි!!! ඔබත් මාත් උපන් මේ ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම් හි  සිය දිවි නසා ගැනීම්  වැඩිම රටවල් 10 අතර තවමත් සිටී.මේවා කියන්නේ මම නොවෙමි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික වාර්තාවන් ය.
     හිත් බිඳී යාම ජීවිතයේ ඔබ අභිමුවට එන ඕනෑම ප්‍රශ්නයක දී විය හැක.අරයාගේ ප්‍රශ්නය ලොකුය,මගෙ ප්‍රශ්නය කුඩා ය,එයාට වඩා අවුල් මට තිබ්බා..කෝ මන් එල්ලුනාද කියන එක කියන්නට කාටත් හැකි ය.එක එක්කෙනාගෙ ප්‍රශ්න වෙනස් ය.එහි ස්වභාවයද වෙනස් ය.ඊට හපන් අපි අපි එකිනෙකාට බෙහෙවින් වෙනස් ය.ඉස්සර අපට පුස්සැල්ල සර් ඉගැන්නුවේ ඕනෑම වස්තුවකට තමන්ට ආවේණික ස්වභාවික සංඛ්‍යාතයක් ඇත කියලා ය.අපි හැමෝ ම එකිනෙකාට වෙනස් ය.අපේ දරාගැනීම් වල සීමාවන්ද ඒ ඒ අවස්තාවට අනුව වෙනස් ය.එක එක පෞරුෂයන් ප්‍රශ්න හා ගනුදෙනු කරන ආකාරය වෙනස් ය.ඒ නිසා චෝදනාවට වඩා අවශ්‍ය වන්නෙ අවබෝධ කර ගැනීම හා සවන් දීමය. අවාසනාවකට මේ ඩිස්නිලන්තේ ඇත්තන්ට නැත්තේත් ඕකම ය.ඩිප්‍රෙෂන් නොවේ එදිනෙදා සාමාන්‍ය දෙයක් වුවද සවන්දීම දෙවනුව අවබෝධ කර ගැනීම කියන ඒවා නම් '0' ය.තිත්ත වුවත් ඇත්ත ඒ කය.
   අඩුම ගානෙ ඔබ අසලම හිඳින ,එදිනෙදා ආශ්‍රය කරන ''හායි මචං '' කියන හොඳම යාලුවා කරන්නේ මොනවාද,කියන්නෙ මොනවාද කියා හෝ සෙවිල්ලෙන් ඉන්න.ඔබට නොකීවාට ඔවුන් හදවතින් පිච්චෙමින් ඉන්නවා විය යුතුය.ප්‍රශ්නය මොන මට්ටමේ වුවද ඔබගේ සමීපතාවය තුල කොයියම්ම මොහොතක හෝ ඔය වේදනාව එලියට බසිනු ඇත.අවශ්‍ය සංවේදී වීමය.අනික සවන්දීමය.ඔබට දෙයක් කියාගෙන එද්දී ඔවුන් ගේ ප්‍රශ්න උලුප්පා දක්වා ඔවුන්ට සිනහ සී,එවැනි දේට හූල්ලන්නට පිස්සු ද ඇයි අසන්නට පෙර එක මොහොතක් සවන් දෙන්නට යොදා ගන්න.ඔබ නිවැරදි විය හැක.ඒ ප්‍රශ්නයේ දෙයක් නැති විය හැක.එහෙත් ඒ මොහොතේ ඔබේ සමීපතමයාගේ ලොකුම ගැටලුව එය විය හැක.එක සැනසිලි වදනක් කවදා හෝ දිනෙක මහා ඛේදවාචකයක් වලක්වාලනු ඇත.අවශ්‍ය සවන් දීමය.
   තවත් එකක් ඇත.මේ සටහන ලිවීමේ අනික් හේතුව එය ය.මිනිසුන් සිය දිවි නසා ගන්නේ සියලු දරා ගැනීම් වල අවසානයේ නම් ඔවුන් ඒ තැනට පත් නොකිරීමට වග බලා ගන්න.ඔබ නොසිතා ,නොබලා කියනා එක වචනයක් වුවද ඇතිය.මේ සමාජයේ මිනිසුන් විෂමය.ඔවුන්ගේ සිත් වෙනස් ය.ඔවුන් ප්‍රශ්න දෙස බලන අයුරු ද වෙනස් ය.විභාග භීතීකාවෙන් මානසික ආතතියකට ලක් වූ සිසුවිය මානසික වෛද්‍යවරයා වෙත ගියේ ආදර හුටපටයක් නිසා හිත බිඳගෙන නොවේය..ඒත් අපේ සමාජයේ මිනිසුන්ට පදයක් හදන්නට ඒකත් ඇති ය.ඊලඟට එක් ප්‍රශ්නයකට බේත් ගන්නට ගිය එකාට තවත් මානසික වදයක් ය.
    කෙන්ද කන්ද කරමින් රටවටේ කියවමින් මිනිසුන් අවමානයට පත් කරන්නට ත්,අනික් මිනිස්සුන්ගේ කුණු අවුස්සමින් ඒවා රස කරන්නටත් පුදුමාකාර ආශාවක් ඇති ජාතියක් වන අපට එක දවසකට හෝ එක ජිවිතයක් ගැන ඔපීනියන් එකක් නොදී,ඒ මනුස්සයා විනිශ්චය නොකර  නම් නින්ද යන්නේ නැත.පෞද්ගලිකත්වය කියා දෙයක් නොදන්නා නිසා අප සැම විටම අනුන්ගේ දේවල් රස කරන්නට බෙහෙවින් ම හපන් ය.ඒ තුල ඒ අදාල පුද්ගලයාට වන මානසික හානිය ගැන කිසිදු තැකීමක්ද නැත.මිනිසුන්ට වැරදි වන්නේ ය.එය කාටත් පොදු ය.ජීවිතයේ එක වරදක් අල්ලා ගෙන අනික් සියල්ලෝම සර්වසම්පූර්ණ ජීවීන් ලෙස අර පුද්ගලයා සමාජීය ලෙස පීඩාවට ලක් කිරීමේ කෙලවර ද විශාදය නොඑනවා යැයි ඔබට කියන්නට බැරි ය.අවශ්‍ය වන්නේ මිය ගිය පසු දුක් වීම හෝ ඔවුන්  ගේ මෝඩකම හමුවේ බැණීම හෝ නොව වෙන්නට පෙර වලක්වා ගැනීම ය.අවශ්‍ය වන්නේ පොඩ්ඩක් සංවේදී වීමය.නැතහොත් ඔබ අසලම ඔබේ ජීවිතයේ අයෙක්ම එතෙනට වැටී ඔබට විඳවන්නට වෙන තුරුම ඔබට බුද්ධිමත් ලෙස සිටි ය හැක.
         එමෙන්ම ඔබට ප්‍රශ්නයක් ඇති විට එය හිතේ සිරකරගෙන සිටිය යුතු වන්නේ ද නැත.කාට හෝ කිව යුතුය.එසේත් නැතිනම් වෛද්‍ය උපදේශනයකට යා යුතුමය.ඒ සඳහා සමාජය දැනුවත් කීරීමක්, අවබෝධයක් ලබා දීමේ ක්‍රමවේදයක් අවශ්‍යම ය.මරණය පිලිතුරක් නොවන්නේම ය.ඒ සඳහා දැනුවත් කීරීම,දැනුවත් වීම මෙන්ම අදාල ප්‍රතිකාර වෙත යොමු කිරීම සඳහා ද මේ යන විධියටනම් විධිමත් ක්‍රම වේදයක් ඕනෑමය.සිය දිවි හානි කරගැනීමේ දර්ශක ඉහල යනවා යනු මිනිසුන්ට ජීවත් වීමට තරම් යහපත් පරිසර සමාජ වටපිටාවක් නැති බව ඇඟවීමකි.
                  ලංකාවේ බොහෝ දේ සඳහා ව්‍යාපාර ඇත.අප පිලිකා රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්නෙමු.ඩෙංගු වෙනුවෙන් බොහෝ දේ කරන්නෙමු.තවත් බොහෝ දේ වෙනුවෙන් පාරට බසින්නෙමු.එහෙත් ලෝකයේ සිය දිවි නසා ගැනීම් බහුලම රටවල් 10 අතර ඉඳගෙන අපි ඒ පිලිබඳ කිසිත් නොකර කියවමින් ඉන්නෙමු.කවුරුන් හෝ සිය දිවි තොර කරගත් විට ඒ පුද්ගලායාට ඔහුගේ මෝඩකම වෙනුවෙන් බැණවදින්නෙමු.මම දොස් නොකියමි.ඒ ඔබේ දැක්ම ය.ඔබ හිතන හැටිය.ඒත් අවශ්‍ය වන්නේ එකෙක් හෝ රැක ගැනීම නොවේද??  "අපි මැරෙන්නෑ,අපට වෙන්නෑ" ආකල්පය මිනිසෙකුගේ ජීවිතයක් රැක ගැනීමට උපකාරයක් කරන්නේ නැත.එක සිනාවක් පිටුපස බොහෝ කඳුලු කතා ඇති වග අමතක නොකරන්න.ඒ ඔබේ සමීපතමන්‍ ය.ඔබත් නැතිනම් කවුරුන් ඔවුන් හා සිටින්නද.. ??  😊
    නිහඬ බව ඩිප්‍රෙෂන් වලට කිසිදු හේතුවක් නොවන්නේ ය.අප සමාජයේ කාට හෝ ඩිප්‍රෙෂන් නම් ඒක පිස්සුවක් ය. ඒ නිසා සඟවන්නේ ය .මානසික උපදේශනයට යනවා කියන්නට බය ය.මම හර්ද රෝගියෙක්,මට වකුගඩු රෝගය,මට දියවැඩියාව කියනා ලෙස මිනිසුන් මට ඩිප්‍රෙෂන් කියා කියන්නේ නැත.තමන්ගේ සමීපතමයෙක් ගැන කියන්නේත් නැත.අර ලෙඩ සේරම පොෂ් ය.කාටත් එන vip මට්ටමේ ඒවා ය.ඒත් ඩිප්‍රෙෂන්.. ඒවා බොහොම නිහඬය.. රහස් ය.
කවුරුන් හෝ එලිපිට කතා කරනවා නම් තවත් බොහොමයක් ඒ හා සමානව හඬ නගනු ඇත.මම උදාහරණ ය අසල්වැසි ඉන්දියාවෙන් ගන්නෙමි.
    අපටත් වඩා සමාජීය ගැටලු අධික ඉන්දියාවේ මානසික ආතතිය නිසා සිය දිවි නසා ගැනීම් දර්ශක ඉතා ඉහල ය.එහෙත් සංස්කෘතික බැමි අපටත් වඩා තද නිසා ඔවුන් හඬක් නගන්නේම නැත.මෑත කාලයේ ඔය බැමි කඩා දමන්නට ඉදිරිපත් වන්නේ ඉන්දියාවේ අති සුප්‍රසිද්ද නලු නිලියන් ,ක්‍රීඩකයන් වැනි ලෝක ප්‍රසිද්ද පුද්ගලන් ය.පලවෙනි උදාහරණය දීපිකා පාදුකෝන් ය.දැන් ඇස් ලොකු කරගන්නට ඕනෑ නැත.එච්චර සුන්දර,දක්ෂ,ධනවත් ඇයටත් ඩිප්‍රෙෂන් ආවා දැයි අවැසිනම් ඔබට අන්තර්ජාලයේ සොයා බැලිය හැක.ඉන්දීය ජාතික මාද්‍ය නාලිකාවක් අභිමුවට පැමිණි ඇය මුල්වරට මේ ගැන කතා කරන්නී ය.ඒ තවත් එවන් දහස් ගණනාවක් මේ තත්වයෙන් මුදවා ගන්නටය.මෙහේ ඕක සිද්ද වූවා නම් ඇය පිස්සියක් වී,ඇගේ වෘත්තීය ජීවිතය අවධානමකට වැටෙනු ඇත.කොයිම හෝ ලාංකීය මාධ්‍ය ආයතනයක් ඔවැනි දේකට පෙරමුණ ගනී වී යැයි සැක ය.කරනවානම් හොඳ ය. 👍
   දීපිකා එයින් නොනැවතුනා ය.ඇය ඒ වෙනුවෙන් සංවිධානයක් පිහිටෙව්වා පමණක් නොව ඉන්දීය සමාජයේ සිය දිවි නසා ගැනීම් අවම කරන්නටත්,මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයන්හට උපකාර කරන්නටත් පෙලඹුනාය .ඒ ආදර්ශය ඔස්සේ යමින් බොහෝ ඉන්දීය සුපිරි තරු ,ක්‍රීඩකයන් පවා සිය රෝගී තත්වය පිලිබඳ ප්‍රසිද්දියේ කතා කරන්නටත් ,ඒ වෙනුවෙන් පෙනි සිටින්නටත් දැන් පෙලඹිලා ය .ලංකාවට වඩා ඉතාම ශක්තිමත් සමාජ ව්‍යාපාර රැසක්ද හිමි ඉන්දියාවේ ඔවුන්ද මේ වෙනුවෙන් පෙනී සිටින්නට පටන් අරගෙන ය.😌
   අසල්වැසියා එහෙම ය.අපි මෙහෙම ය.අපි තවමත් ජීවිතයේ අන්ත අසරණ වූ මිනිසෙක් රැක ගැනීමට පුංචි හෝ උත්සහයක් නොකරම බලා සිටින්නෙමු.මම බෞද්ධයෙක්මි.බුදු දහමට අනුව සිය පණ නසා ගැනීමත්,පරපණ නැසීම සේ ම පවක්ම ය.එසේ නම් එසේ පවක් කරගන්නට යන අයෙක් ඒ පවින් වැලැක්වීම මහා පිනක් නොවන්නේද?? ඔබම සිතන්න. විහිලුවකට ගන්නට පෙර,හිතක් කඩා ඉහිරවන්නට පෙර,මිනිසුන් සිය දිවි නසා ගන්නා තැනට ඇද වැටෙන්නට හේතුවක් වන්නට පෙර සිතන්න.එය එසේ වී නම්.. හැමවිටම අනෙකාට සංවේදී වන්නට,අවබෝධ කරගන්නට,විශේෂයෙන් සවන් දෙන්නට ඔය කාර්‍යබහුල ජීවිතය තුල ඉඩක් දෙන්න.එයින් තවත් එක ජීවිතයක් හෝ මරණයෙන් මුදවා ගන්නටත්,මේ සසරෙහි නොවිඳිනා දුක් විඳිනා තත්වයට ඇද වැටීම වලක්වන්නටත් හැකි වෙනු ඇත.අවශ්‍ය ඔබේ දැනුවත් බාවය,සංවේදීබාවය මෙන්ම එකිනෙකා තේරුම් ගැනීමත් ය.අඩු වැඩි වශයෙන් අත් විඳි නිසාත්,එවන් සංවේදී සිත් නිසා රැකුණු ජීවිතයක් නිසාත් ,සමාජ කතිකාවතක් ඇති වී තවත් වටිනා ජීවිත මේ පාප කර්මයෙන් මුදවා ගැනීමට මඟක් නුදුරේදීම පෑදේවා කියාත් අවසානයේ ලියා තබන්නෙමි. ✒️
     එසේම ඔබ මෙයින් පීඩා විඳිනවානම් කරුණාකර අත් නොහරින්න.. මන්දයත් හෙට හිරු පායා නව දවසක් එනවිට අඳුර පලායන්නා සේ සියල්ල අවසානයේ යහපත් වනු ඇත.ඔබේ ජීවිතය අමිලය.අත් හරින්නට පෙර එක මොහොතකට හෝ නැවතී එසේ සිතන්නට ඔබට ශක්තිය හා සිහිය ලැබේවා යි  අවසානයේ මම ප්‍රාර්ථනා කරමි.!! 😊
මානි✒️


Saturday, September 9, 2017

මට සදා ආදරණීය වූ ඔහු... ☺️

         ජීවිතයේ මුණගැසුණු බොහෝ පිරිමි චරිත තුල මගේ පියාට පසු මට බෙහෙවින්ම ආදරය කල එකම පිරිමියා ඔහු ය.මම එය බය නැතිව සැකයක් නොමැතිවම කියමි.. අද වනතුරු මුණ ගැහුණු බොහෝ පිරිමි ආත්ම තුල තාත්තාට පසුව එවන් සෙනෙහසක් මට හමුවූවානම් හමු වූ එකම පිරිමි ආත්මයද ඔහු ය.දහසකුත් එකක් දේ ලියවෙනා මේ පෑනෙන් ඔහු ගැන ලියන්නට මට කෙසේ අමතක වූ වාදැයි කියන්නට මට වැටහෙන්නේ නැත.
        නමුත් දනි පනි ගා ඇවිදිනා අවදියේ වැටි වැටී දුවනා කාලයේ විටක ලඟ නොවුන් තාත්තාගේ අඩුව පිරවූ හෙවනැල්ලද වූයේ ඔහුය.පුතුන් දෙදෙනෙක් ලද නිසාත් දූවරු නොවූ නිසාත් මා කුඩා අවධියේ තාත්තාට පසු අදටත් මට බෙහෙවින් ආදරය කල ඒ පිරිමි ආත්මය ඔහු වන්නේ ඒකය.ඉතින් ඔහු නමින් "මහප්පා" ය. ☺️
                 මහප්පා මගේ පියාගෙ එකම වැඩිමල් සහෝදරයා විය.පුංචිම කාලයේ නොකියවෙනා හේතුවෙන් මම ඔහුට ''ආප්පියා" කියු බව අපේ අම්මා පවසන්නීය. හැන්දෑ යාමයේ රැකියාව අවසන් කර නිවසට යන ඔහුට මගේ දෑසින් ගැලවී නිවස පසු කල නොහැකි බව පවසන අම්මා ඔහුගේ සෙවනැල්ල දුටුවද  මහ පාරට පැන
"ආප්පියෝ ... ආප්පියෝ .. "යැයි මා හඬ තලන වග  අදත් මට  මතක් කරයි.
    මහප්පාට පුතුන් දෙදෙනෙකි.එක බඩ වැල කඩාගෙන නොආවාට ඒ හා සමාන බැඳීමක් ඇති අපේ අයියලා දෙදෙනාත් මමත් එසේ බැඳුනා නම් බැඳුනේද ඔහු නිසා ය.දූවරුන් නැති නිසාවෙන් අසීමිතව මට ආදරය කල ඔහු පට බැඳි නම නිසාවෙන් තුන් විසි වසකට පසු අදද  මම අපේ ගෙදරට "චූටි දුව" වී සිටින්නෙමි.
       මගේ බාලවියේ සොඳුරු මතක අතර ඔහු අමරණීය මතක ගොන්නකි.හැමදාම හවස් යාමයේ සිය මෑණියන් බලන්නට අප නිවසට එන මහප්පා සිය දණහිස් මත හිඳුවා ගෙන මට කතන්දර මිටි පිටින් කියා දී ඇත.අහසේ තරුද ,හඳේ හාවාද මම උගත්තේ ඔහුගෙනි.මහප්පා එන සෑම දිනකම ඔහුගේ ඇකයේ හිඳ ගෙන ලෝකේ නැති බොරු විකාර ,සම්ප්‍රප්පලාප කියොමින් මම ඔහුට බකපණ්ඩිත කතන්දර තෙපලන වගත්,සිනාසෙමින් ඒවාට හූමිටි තියමින් ඔහු මහත් සෙනෙහසින් මට ආදරය කලවගත්.. නොපැහැදිලි සිතුවමක් සේ අදත් මගේ මනසෙහි ඉතා තදින් තැන්පත් වී ඇත.
    පොඩි කාලයේ අප නිවසේ තිබූ ලොකුම ජංජාලය කුමක්දැයි ඔබ ඇසුවොත් මගේ අම්මාත්, තාත්තාත් කියන්නේ මට බත් කැවිල්ල කියා ය.කතාව ඇත්තය.එක්කෝ එක බත් කටකට එක රවුම බැගින් තාත්තා මා බයිසිකලයේ මහප්පලාගේ නිවසේ පාර දක්වා එක්ක යා යුතුය.ඒ කට අවසන් වූ පසූ ඊලඟ බත් කටට ආයේ රවුමක් යා යුතුය.නැතිනම් මහප්පා මට කණාමැදිරියන් ඇල්ලිය යුතුය. 🐉
    කණාමැදිරියන් යනු අප දෙදෙනාට අනන්‍ය වූ වැඩකි.නිවසේ විදුලිය නැති විට කණාමැදිරියන්ගෙන් එලිය ගත හැකි යැයි මට ඉගැන්වූයේ ඔහු ය.එපමණකින් නොනැවතී කණාමැදිරියන් අල්ලාගෙනවිත් නිවෙන පත්තුවෙන එලිය පෙන්නූ දා පටන් මට මහප්පා කිව්වද කණාමැදිරියන් ඕනෑ ය.ඉතින් හැන්දෑවේ ගෙදර එනවිට කොයි ලෝකයෙන් හෝ මට කණාමැදිරියෙක් අල්ලන් එන්නට ඔහු අමතක කරන්නේ නැත.උන් අල්ලන්නට කලුවරේ  ගස් අස්සේ රිංගීමට ගොස් ලොකු අම්මාගේ හෝ අපේ අම්මාගේ මල් ගස් පඳුරු පිටින් පොඩි වී අවසන් ගමන් ගිය විට ඒ නෝක්කඩු වලින්ද ඔහුට අඩුවක් නොවී ය.එහෙත් 

"චූටි දුව නැත්තම් බත් කන්නෑ ..කෙල්ලගේ ආසාවනේ" කියන්නට ඔහු අමතක කරන්නේ නැත.

   සෑම සවසකම මහප්පලාගේ නිවසට යෑමේ පුරුද්දක් මට විය.නොගිහින් බැරිය.අව්ව,වැස්ස,සුලි කුණාටු මොකක් ආවද මට එහෙ යන්නට ඕනෑ ය .එයට හේතුවක් ඇත.එවිට මහප්පා මට වැඩි ආදරේ ය.අයියලාට පේන්නට ලොකුකමට ඉන්නටත්, ඔහු මට ඔවුන්ට වඩා ආදරේ යැයි පෙන්වන්නටත් එදවස මට හරියට ඕනෑ වී තිබිණි.ඒවා එසේම වන්නට දී මගේ මෝඩ ළමාකම් වලට අයියලා හිනාවෙන්නෙ දැන් ය.
      මහප්පා මගේ ජීවිතයේ කුඩා අවධියේ මට තිබූ මිහිරිම මතකයන්ගෙන් සුන්දරම මතකය විය.මට ඔහු ඇතිවිට අම්මා තාත්තාද වගක් තිබ්බේ නැත.ඒ මන්දැයි මට අදටත් නොවැටහෙන නමුදු ඔහුගේ නාමයෙන් ඉතිරි වූ බැඳීම් ද අලුතින් ඇඳෙන බැඳීම් වලද ඒ සෙනෙහසේ අඩුවක්  නම් ඇත්තේම නැත.මහප්පා මගේ ළමාවියේ සුන්දරම මතකය වූ අතර ජීවිතයෙ හැටි වක්‍රාකාරව ඉගැන්වූ පුද්ගල ආත්මයද විය. එසේය. අවුරුදු 6ක් කුඩා දැරියකව හිඳිද්දී මුල් වරට මට "මරණය" ගැන දැනුනේ මහප්පා මිය ගිය දවසේ ය..
        මරණ මම දැක තිබිණි.අත්විඳ නොතිබ්බාට යම් හැඟීමක් මට විය.එහෙත් එය මගේ ජිවීතය තුල අත්දැක නොතිබ්බෙමි.අදද එය සිහි කරද්දී අපහැදිලි සිතුවමක් සේ ඇඳෙන සිදුවීම් මාලාවක් එහි ඇත.සිංහල අවුරුදු දිනයක හදිසියේ අසනීප වී රෝහල් ගත කල පුවතද ... ඔහු බලන්නට තාත්තා යන හැටිද ... ඒ සෑම විටකම "මතක් කලා කියන්නැයි" යවන පණිවිඩද, ආපසු එන පිලිතුරු පණිවිඩද මේ සා විශාල අහිමි වීමක වග මගේ කුඩා මනසට එදවස ගෙනත් දුන්නේ නැත. 😊
    ඒ දවසද මට මතකය.කිසිදා කිසිවකට පරක්කු නොවූ තාත්තා අසල්වැසි මාමා කෙනෙක් හා මහප්පා බලන්නට ගිය සැටිද,ඔහු එම නිවසේ පරක්කු වන අයුරු බලමින් අම්මා විස්සොප වු හැටිද, ඊටත් පසු මහප්පාගේ හිතමිතුරෙකු නිවසට ආ සැටිද,අම්මා හඬමින් එහෙ මෙහෙ ගිය සැටිද, මට නොකී හැටි... ඇයි අසනා විට ඉන්නකො පුතේ කියමින් මා මග හරමින් සිටි හැටි ... එක අපහැදිලි අඳුරු අප්‍රේල් සවසක  තදින් අද ද මගේ මතකයේ ගැඹුරක ඇඳී ඇත.එවිට මා පාසල් යන්නට ගත්තා විතර ය.මේ එම අවුරුද්දේ අප්‍රේල් මාසය විය. ✒️
     මට පිලිතුරු දෙන්නට ඔවුන්ට වෙලාවක් නැත.එහෙත් මට අවසන පිලිතුරු ලැබිණි.. ඒ තාත්තාගෙනි. අදද ඔහු සිහිපත් කරනා ඒ සියල්ලෙහි අවසන  මාගේ ප්‍රතිචාරය ඔහු හොල්මන් කරවූ වා යැයි තාත්තා සිය වචනයෙන්ම කියන්නේ එහෙමය..

"කියන්නකො... ඇයි මේ...ආප්පියට මොකද .. ඇයි අඬන්නේ තාත්තේ..? " යැයි මා ඇසූ පසු

අවසානයේ ඔහු මා වඩාගත් අයුරු ද ,

"මහප්පා අන්ත්‍රා වුනා පුතේ.." යැයි  ඔහූ කී හැටිත් මට මතක ය.මට ඒ වචනය මතකය.මැරුනා කීවා නම් එය මම ක්ෂණිකව ග්‍රහණය කරගන්නා වග තාත්තා දන්නේ ය .අන්ත්‍රා වීම වටහා ගන්නට මට නොහැකි වේ යැයි ඔහු සිතුවාද මම නොදනිමි.එහෙත් ඒ කලබලයේ මාත් සනසන්නට වේ යැයි සිතා ඔහු එසේ කියන්නට ඇතැයි මම අදද සිතමි.මට මේ සිද්දි දාමය එතරම් තදින් මතකයේ රැදුනේ ඒකය.නමුත් කුඩා කාලයේ පටන් බොහො වැඩිහිටියන් සෙවණේ හැදුනු මම තාත්තා නොසිතුවාට අන්ත්‍රා වීමේ අරුත දැන සිටියෙමි.එහෙත් මහප්පාට එසේ වේ යැයි හීනෙකින්වත් නොසිතුවෙමි.

"අනේ..මහප්පේ.. "

   මගේ කම්පනය පුපුරා ගියේ ය.මම මහ හඬින් හැඬුවෙමි.එ හැඬුම තුල මහා වේදනාවක් තිබ්බාද මම නොදනිමි.මරණය නරක බවද.. මහප්පා මිය ගිය වගද ..ඔහු නැවත මා හා කණාමැදිරියන් අල්ලන්නට නොඑන වගද තේරුම් ගන්නට තරම් මට අවබෝධයක් එදවස තිබිණි.මා සනසන්නටද ,අයියලා බලාගන්නටද, සියල්ල සමබර කරන්නටද මගේ මවත් පියත් සෑහෙන සටනක් කල වග මට තවමත් මතකය .
     එයින් කලකට පසු මහප්පලාගේ ගෙදර යාමට ඇති හවස පුරුද්ද මම හිමීට මගහැරියෙමි.ඉස්කෝලේ ගොස් පැමිණ වෙනදා දවල් නිදන නින්ද සෙමින් හවසට මාරු උනු පසු මම එහි නොගියෙමි.කාලයක් යනතුරුම අනෙක් අය කෙසේ හුරුවුවද ඒ හිස්කමට මම අකමැති වීමී.එමෙන්ම අදද විටෙක ඇසෙනා මේ පැණයට මම අකමැති වෙමි.
"ඔයාට මහප්පාව මතකද පුතේ?? " 😊

මතකය.හොඳින් මතකය.ඔහු මියයද්දී මා පොඩි බව ඇත්තය.එහෙත් කණාමැදිරියෙක් අත් දෙකට ගෙන මට පෙන්නන්නට එන.. මා වඩාගෙන ඇවිදින ... මා හා කෝලම් කරන.. ඔහු මට මතකය.කලින් විශ්‍රාම ගොස් අගෝස්තුවේ පටන් මා පාසල් ගෙනයන්නට ද... එක්කන් එන්නටද... පොරොන්දු වූ මහප්පා මට මතකය. ✒️
  එහෙත් ඒ මුහුණ මට අපහැදිලිය.නැවත නැවත මතක් කරද්දී මට ඒ මුහුණ ඊට වඩා තදින් මතක තබා ගන්නට තිබුනා නොවේ දැයි මට සිතෙන වාර අනන්තය.මහප්පා හිටියා නම්.. යැයි සිතුනු වාරද ඉන් බොහො කලකට පසු අනන්ත අපේ ජීවිත වල උදා වී මැකී ගියේය.
        අදත් ඔහු පිලිබඳ කෙටිම මතකය ඇත්තේ මටය.. එහෙත් එය මිහිරිය.තාත්තාට පසු මේ මිහිපිට මට ඒ හා සමානව ආදරය කලේ ඔහුම යැයි මම කියන්නේ ඒකය..අදද ඔහුගේ මුණුපුරාත්, මිණිබිරියත් ලොකුමහත් වන්නේ ඔවුන්ගේ සීයා මගේ සහෝදරයන් හැදූ හැටි අසනවාටත් වඩා නැන්දාට කණාමැදිරියන් ඇල්ලු හැටි අසමින් ය.නැන්දා හා බෲම් එක පැද්ද හැටි අසමින් ය.නැන්දාගේ ආප්පියා වුනු හැටි අසමින් ය.
    එහෙත් ඒ සියල්ලන්‍ටම වඩා අප දෙදෙනාට සිහිණයක් තිබුනේ ය.ඔහුගේම වදනින් කීවොත් එය මෙසේ ය.
  
     "මල්ලි කරදර වෙන්නෙපා..තව මාස කීයද...මන් අගෝස්තුවේ ඉඳන් චූටිදුව ඉස්කෝලේ එක්කන් ගිහින් එක්කන් එන්නම්කෝ..." ☺️

එහෙත් ඒ අගෝස්තුව කිසිදා නො ආවේය.ඊට පෙර ඔහු අප්‍රේල් වලම යන්නට ගියේ ය.අගෝස්තුව එද්දී ඔහු නික්මී සිව්මසක් ගෙවී ගොස් තිබුණේ ය.කුඩාකල මගේ හැම ආශාවක්ම තාත්තා සේ ඉෂ්ට කල මගේ ආදරණීය මහප්පාට මා වෙනුවෙන් ඉෂ්ට කරන්නට බැරි වුනු එකම පොරොන්දුවද එයම වී තිබිණි. 😊

_මානි_ ✒️

Friday, September 8, 2017

හීන කෝපී ජීවිතේ ☕️☕️☕️

"බ්‍..ර්..ර්.. හපෝ සීතල... "

                  වත්ත වටකරගෙන පරම්පරා ගානකට සෙවණ සාදපු තුරුමුදුන් අස්සෙන් රිංගාගෙන  රිංගාගෙන මෝසම් වරුසාවේ සීතලත් අරන් ඇරුණු ජනේලෙන් ගෙට රිංගන සීතල සුලඟෙන් බේරෙන්න ජනේල් පියන් එකට තදකරන ගමන් මට කියවෙනවා...හීනි සුලඟට ගහගෙන ආපු වැහි පොද බිංදු බිංදු දෙකක් තුනකට කියවමින් හිටපු පොත ලාවට තෙමිලා... වැහි බිංදුව පොතේ පිටුවටම දියවෙලා යනවා.. ⛈

  ඇත්තම කතාව මට නම් ඕනි ඔය වැස්ස අනෝරා වැහි වගේ වෙලා වහලේ දිගේ ඇවිත් හරි ආඩම්බරේට පොලව සිඹින ලස්සන බලන්න..
ඊට පස්සේ ගස්වල අතු උඩට එක පේලියට නැවතිල්ලක් නැතුව "ටක් ..ටක්" කිය කිය වැහි බිංදු පේලියට වැටෙන තාලේ බලන්න...
කොහේ හරි ගහක අත්තකට මුවා වෙලා තෙමී නොතෙමී ඉන්න හදන දෙමලිච්චෙක් වැස්සෙන් බේරෙන්න හදන පනින පිමි බලන්න... ඒ වෙලාවට රස විඳ විඳ කියවන්න ගත්තු පොත අතේ තිබ්බට හිත තියෙන්නෙ වැස්ස ලඟ... එතකොට සීතල... අපෝ සීතල මොන ප්‍රශ්නද  ... අපි වගේ වැස්සට පෙම්බඳින ඈයන්ට...

"ඔය ජනේලෙත් ඇරන් ඇඳට වෙලා මේ වහින වැස්සේ පිනී බාලා හෙම්බිරිස්සාවක්වත් හදාගන්නද ළමයො ඔය හදන්නේ..? "

ඩොක්..හීන්වලින් බිම.. ඕකනේ බැරි.. අම්මා ගෙ සුපුරුදු වදන් පෙල..

"නෑ .. නැ.. හරි .. හරි අම්මා මන් මෙ වහන්න හදන්නෙ.." වාද කරල පලක් නෑ.. එහෙම තමා අම්මලා.. එතකොටම මෙන්න නහයත්..

"හචිස්!! "

"ඕකනෙ මන් කියන්නෙ..වැස්ස වෙලාවට ජනේලේ ලඟ ඉඳන් පිනී බාන්න එපා කියලා . ආ මේක බොන්න "

"කෝපී" 😍☕️

අපි තරම් අපි ගැන වෙන දන්නවනම් ඉතින් අම්මා කියන්නෙ බොරුවට යැ..
එතකොට කෝපි.. කෝපි කියන්නෙත් එක්තරා විදියක භාෂාවක්.. දුක,සතුට,ආදරය,විරහව,පාලුව හැමදේම එක්ක ලඟින් ඉන්න අපූරු හිතවතෙක්..

"ඔච්චර කෝපි බොන්නෙපා මැට්ටියේ.. දන්නවද මොනවද ඕවගෙ තියෙන්නෙ කියල.. කැෆේන්.."

"ම්ම්.. ඉතින්.."
"ඉතින් කිතුල්..හදාගන්නවකෝ ලෙඩක්.. කියන දෙයක් අහන්නෙම නෑනේ .. " 😠
" හා.. " 😝

වැහිබිංදු අස්සෙන්  ... හිමීට හිමීට එබෙන.. මතක හීන...
ඒ කිව්වෙ හීන වෙච්ච මතක..

එතකොට හීන.. හීන හරියට ජීවිතේට හුස්ම පිඹින ඔක්සිජන් එකක් වගේ... මිනිස්සු හීන වැඩිපුර දකින්නෙ ඒවා දකින්න දකින්න ආසා නිසා.. හැබැයි ඒවා බිඳුනම හුඟක් දුක හිතෙන්නෙ වැඩිපුර හීනවල ජීවත් වෙන නිසා.. ජීවිතේට හීන ඕනි... විඳින්නයි.. ඒවගේ ජීවත් වෙනවටත් වඩා...

          හම්මේ... වැහිබර හැන්දෑවක කෝපි කෝප්පයක් ගිය දුරක්.. බීලා ඉවර උනු තේ මණ්ඩි වලින් සාස්තර බලලා අනාගතේ හොයන ලෝකයක් ඇතුලේ ඉඳගෙන.. හවස් වරුවක වැටෙන වැහි බිංදුවක සීතල කෝපි කෝප්පෙක දවටලා බොන ගමන් ජීවිතේ ගැන හීන දකින්න... කවි ලියන්න... ආදරේ කරන්න පුලුවන් සුන්දර මිනිස්සු තවමත් මේ සමාජේ ඉන්නවා.. ඉඩෝර නිමාකරගෙන වහින වැස්සත් වෙලාවකට සිතුවිලි වලට හැඟීම් කවලා රසම රස සිතුවිලි නිදහස් කරන මැෂිමක් වගේ...
    එදා ඉඳන් වැහිබර අහස් යට ගෙවුණු හැම හුස්මකම මතක සුවඳ අරගෙන තව පරම්පරා ගානක් හිමීට හිමීට පොලව සිඹින මේ වැස්සත්... තවත් කාලාන්තරයක් ජීවිත වලට බලාපොරොත්තු ගේන හරි අපූරු දෙයක් වෙලා තියේවි..

තවත් වෙලාවකට.. හිමි අහිමි සුසුම් පොදවල් යුග යුග ගණන් ඇද බැඳ තියාගත්තු .. ඒ සුසුම් වල සෙනේහයෙන් ලියකම් කරවපු අහසක..  ඒ වගේ ලිහුණු බැඳුණු අත්වල ආදරණීය මතකත් මේ වැහි බිංදුවලට කැවිලා ඇති..කවුද දන්නේ... ආත්ම ගානක් පුරාවට අපේම දුක් සුසුම්.. සිනහා පොදවල දෝංකාරම මේ වැස්සත් එක්ක පොලව සිඹිනවද කියල...

"දඩස්" ජනේලය වැහෙනවා..හරි වේගෙට.. මගේ මනෝ ලෝකේ සෑහෙන දුරක්.. මන් ගිහින්.. වැස්ස කුණාටුවක් වෙලා හරි වේගෙන් ඇද හැලෙනවා ... අකුණු ,විදුලිත් එක්කම.. දැන් ඈ කුණාටුවක්.. හීනී හුලඟට පිණි දියෙන් තෙත බරිත වුනු මුරණ්ඩු  කෙහෙරැල්ලක් මන් පස්සට ඇද්දා..
  වැස්සෙම උනත් නිහඬව නොඉඳපු පාලු මකන්නා... ටිකකට නිහඬ කරන්න හිතාගෙන අතට ගන්නකොට... දීප්තිමත් සුදු නිල් පසුබිමේ ඉඳන් හිනාවෙන මුහුණු පොත මට මෙන්න මෙහෙම දසුනක් අවසානයට ඉතිරි කරලා තිබ්බා..

..........................................

" සැඩ සුලං වැල් හමා
අකුණු විදුලිය කොටා
මහා වැහි වලාවක්
හදිසියෙන් ඇද හැලිණ.. ⛈

කාලයෙන් කාලයට..
පරපුරෙන් පරපුරට
ලොව පැවති දා පටන්
මෙතෙක් සුවහස් ගණන්
පෙම්වතුන් විසින් ලූ
උණු කඳුලු කැටි වලින්
වැසි බිංදු ගොඩ නැගී
ඇතැයි මට සිතිණි... " 😊
                          -මහගම සේකර-

~මානි~ ✒️

Thursday, September 7, 2017

බලාපොරොත්තුවක්!!! 😊

           ඇස් කඩාගෙන ,ඇහි පිහාටු ඉරාගෙන ගිනි ගහන රස්නේ දෑත් විහිදවගෙන ඇඟට පැනපු ගිරිස්මේ දවාලක.. මෙලෝ රහක් නැති සිතුවිලි ගොඩකින් ඔද්දල් වෙච්ච හිතකින් එහෙන් මෙහෙන් ඇදෙන යාන වාහන අස්සෙන් ඈ ගාල්ලට මූන හරෝගෙන ඇදෙන රලපිලි පාලමේ මුහුණතක නැවතිලා..ගෙන්දගම් පොලොවෙ රස්නෙ නම් කිසි අඩුවක් නෑ... හුලං පාරට ගහගෙන යන්න බැරි කමට දරාන හෙල්ලුම් නොකා අහංකාර බැල්මෙන් ඔරවන අහස සූරන බිල්ඩින් අස්සේ රැලි පාලමේ රැල්ල වැදිල වතුර විසිවෙන සීමාවෙ තියෙන ගල් බංකුවක ගාලු අතට මුහුණ දාපු වේලිච්ච තණකොල පාග පාග ඇවිත් තට්ට තනියම ඉඳ ගන්න ගමන් ඈ මෙහෙම හිතනවා..

"ඔය රැල්ලෙයි මේ මගෙයි මොන වෙනසක්ද හැබෑට.. " 😊

රැල්ල හිනාවෙනවා.දුර ඈත ඉඳන් වෙරලක් හොයාගෙන හොයාගෙන එන රැල්ලට වෙරලක් හම්බ වුනු ගමන් දෝත බදල වෙරල බදාගන්න පැන්නට මොකෝ මෝඩ රැල්ලට තේරෙන්නෙ නැ තමන් වෙරලෙ හැපිලා බිඳෙනවා කියල.. මුහුද දන්නවා.ඒත් මුහුදටත් කරන්න දෙයක් නෑ.

"මොකො එකම රැල්ලට පෙම් කරන්න බැරි වෙරලට..වෙරළ හරි හොඳ නෑ අනේ.. " 😒

"පිස්සි.. ඔය කොයි රැල්ලත් එකයි හලෝ.."

"නෑ.. හැම රැල්ලම එක වගෙ නෑ.. වෙරලක් හොයන් එද්දි රැල්ලක් කොච්චර දුර ඇදෙනවද..වෙරල දැනගන්න එපැයි ඒ වෙච්ච මහන්සියට නම්බු තියන්න "

වාද විවාද අතරේ ගෙවුනු ගල් බංකුව.. හුම්ම් නෑ.. එදා ආව රැළිත් අද වෙරල හොයන් එන්නෙ නෑ..ඔව් ඒවා බිඳිලා නේ..

"ඩොක්"
ලුණු රස කාගෙන නැලවුනු කෙහෙ රැළි අස්සෙන් දහඩිය බිංදුවක් සද්දයක් දීගෙනම කන ගාවින් බෙල්ලට...

අව්ව රැස් දීගෙන දත්මිටි කාගෙන ගාලු මුවදොර දුම් දානව.. දැන් නම් කකුල් ගැහෙන්නෑ.. ඉඳගත්තානේ... හැබැයි ඉදිමිලා.. හ්ම්ම්...

"මේහ්.. "
"ඕඕ..."
"අර අර වගේ ඔයත් වුනු දාකට මන් නම් යවන්නෑ ඔහොම ගිනි අව්වෙ පයින් හලෝ.. "
"හෑ... කෝ ..කවුද... ආ .. "
☺️
ඇඳන් හිටිය රතු බ්ලවුස් පාටට කම්මුල් පාට වැටෙද්දී කණීනිකාව මනහර බැලුම් හෙලපු අතීතේ ඇස් ඉදිරිපිට තීරු පිට තීරු මවාපි..

ඈට බඩගින්නක් ආවා.. වෙලාවකට විශ්වාස නෑ..කොයි කටටද කියල නම්.. ලුණු හුලඟෙන් තැවරිච්ච ඉස්සො වඩේ පාරක් ඉස්සර සෙට් උනාට දැන් එහෙමත් නෑ..

ආයෙත් එනව.වදිනවා..බිඳෙනවා.ඔව් රැල්ල..වෙරළට මෙලෝ ගානක් නෑ..

අහස් ගව්ව හිනාවෙනවා.නම්බු තම්බු වංසක්කාරකම් නැතුව අතොරක් හීන දැක්කට මන් ඔය කලින් කියපුව හරියට අවි අමෝරා ගත්ත යක්කු වගෙ.ඒවට ඔය හීන කියන්නෙ නිකන් සට සට ගාල දත් වලට හැපිල බිඳෙන රටකජු ..හුහ්!!

තැලිපිලි, මාල පලන්දන්, නම්බු තම්බු වංසක්කාරකම් එක්ක මාල හතක් ඉරක් හඳක් එක්ක ඇඟෑලුම්කම කෙසේ වෙතත් මිටියකින් වගේ ඔලුවට ගහපු එක හවසක පරපුරක් හිනස්සල හිත්පිත් නැති ගලක් වගෙ එලි බැස්ස ඒ හවසත් ඔය අහස් ගව්ව ඈට ඔහොම්මම හිනාවුනා.
ඒ මදිවට හීනි මදු විතක කුණු කටෝර ගඳට එක් වෙලා මදු වෑහෙන හඳ එලියක ඒ තැලි පිලි ඒ වගේම වංසක්කාර ආත්මයක ආසාවල් ඉස්සරහ ඇකිලිලා බිඳිල යද්දී අර යක්කු ටික මහා සද්දෙට මූද පැත්තෙන් හිනාවෙනවත් ඈට ඇහුනා.ආන් එතකොට නන් මදු සඳක් පායපු ඔය අහස් ගව්ව ඈට හිනා වුනේ නෑ..මොකො පැටලෙන්න පතපු ඇඟිලි තුඩු දෙකොන විලක්කුව වගේ ඇවිලෙද්දී ඒ ඇස් වල ලුණු රහ බලන් හිනාවෙන්න අහසට ටිකකට අමතක වෙච්ච හින්දද මන්ද කියල ඈ ආයෙත් හිතුවා. ✒️

එදා ඉඳන් අඳින්න හීන දැක්ක කලු ලෝගු හීන හැබෑවෙලා ,ජීවිතේ මල් පිපෙන්න ගිය කාලෙ කාන්තාරෙක කටු පතොක් වෙලා මේන් ගිනි අව්වෙ ගැහෙනවා.. ඉන්න දේවාලෙක සතුටම රජවෙන්න පතාගෙන ඈත් වුනු වලාකුලු වාගෙ ලෝකෙ ඒ කොන මේ කොන ඇදුනට එදා හවස නම් අහස් ගව්ව මේ වගේ නොවී හොඳ සීරු වැස්සා..
කොහොමින් කොහොමින් හරි ජීවිතේ මල් පිපෙයි පිපෙයි කවදමහරි පිපෙයි කියල හිතන් බලන් හිටියට ඒ කාන්තාරේ මල් පිපුනෙම නෑ.වැඩේ කියන්නෙ සිතින් සිනා සිසී අතැඟිලි අල්ලන් එන්න යන්න මල් මාවතේ කියල ඇදගෙන ගිහින් වැටුනේ මනුස්ස පුලුටක් නැති කාන්තාරෙකට නේද කියල වැටහෙනකොට ඈ පරක්කු‍යි. 😓

"රූම් නම්බර් 152"
"ඇස් දෙකෙන් දැක්කා මිස්.. ෂුවර් නැට්ටම් මිස්ම.. "

"දඩස්" 📞
අනික් පැත්තෙ සීට් එකේ සහේලි ගැස්සෙනවා.

"අද මොකො මේ.. අඩේ ඔය රිසීවර් එක් පව් බන්.."

මේකිගෙ විරිත්තිල්ල යකෝ.. රවාගෙන එක්පාරට බෑග් එකත් අරන් නැගිට්ටට...
"උහ්හ්"!!
දැන් ඉස්සරවගේ ගැම්මට ගස්සන්නත් බෑ.. 😕

"කොහෙද යන්නේ?? " o.O
"මන් එන්නම්"

කාලෙක ඉඳන් දැක්ක භයංකාර හීනෙක හෙවණැලි "ඩිග් ඩිග් " ගාල ගැහෙන පපුව අස්සෙන් එබිකම් කරද්දි රියදුරුතුමෝ එක්ක අහවල් නම් දරාපු හෝටලේ ඉස්සරහ අර ලක්ෂරියස් ලයිෆ් එකේ ආනුභාවෙන් වැඩපු රිය නතරවෙනවා..

තට්ටු ගණන් ඇදෙන ලිෆ්ට් එක.. ඉහත කී නම්බරය.. වාගේම ඊලඟට.. මදු වෑහෙන මදු හඳක් යට කනට මුමුණපු හුඟක් දේවල් මදුවිතේ සැරම විතරක් වග වැටහිච්ච මොහොතක්.. ආයෙමත් රිප්ලේ එකක්.. ප්‍රොජෙක්ටර්ස් පරාදයි.. මොලේ මෙමරිය වැඩ පටන් ගත්තම.. 😟

"මන් නම් මගෙ දරුවයි එයාගෙ අම්මයි ඔහොම ගිනි අව්වෙ යවන්නෑමයි.. ඌ මිනිහෙක්යැ.. " 😎

ආඩම්බරකාරකම හිනාවෙන ඇස්.. ඇය ගල් බංකුවට රැව්ව. ඒ කෙහෙම්මල් පොරොන්දුව දැන්නම් රැකගන්න බැරිවෙන තැනට ඇවිත්..සතුටෙන් ඉන්නවා කියපුවා ..

ඒක අතීතයක්.. ගහක් ගලක් වගේ හිත ගල් කරන් එලි බැස්ස තැනත් එක්ක හිතේ තිබ්බ කේන්තිය සිය ගුණයකින් බුර බුරා නැගෙද්දී ලුණු රහට කැවුණු කඳුලු කම්මුල් හෝදා ගෙන ගියා.. ඔව් ඔව්...ඔය ගෑවෙන්නෙ වංසෙ කබලටම.. 😏අහංකාර උද්දච්ච වෙරලක හැප්පිච්ච තවත් එක රැල්ලක්.. හැබැයි මේක හොයං ආවා නෙවෙයි..බලෙන් එවපු රැල්ලක්.. වෙරල නම්බුකාරයි.හැඩයි.රැළි එක සීරුවට.. දැන් වෙරලට මතකත් නෑ වැදිලා බිඳුනු රැලි වල නම්...

"අපි යං මැඩම්"
"මැඩම්ට අව්වෙ ඉන්න හොඳ නෑ නේද..ආයෙම ඔෆිස් එකටද යන්නෙ"

"හ්ම්ම් "

දෙන්න වදන් නෑ. ඒ අහිංසක,කරුණාවන්ත මනුස්සයා ගෙ තිබිච්ච සෙනෙහෙවන්තකමවත් නැති බලෙන් පැටලුව සල්ලාල වෙරල ගැන හිතද්දී ඇගෙ තුන් හිතම ඉරිතැලුව..💔

"කොහේ හිටියත් සතුටෙන් ඉන්න.. මන් නැතුවට එයා ඔයාව සතුටෙන් තියාවි"

පිටත් වෙන්න හදද්දී ගල් බංකුව කිව්වා..නෑ..නෑ එදා ඔහු එහෙම කිව්ව.දැන් ගොඩක් කල්.. ඊට පස්සෙ ඔහු ඉගිලුනා.හොයගන්න බැරි තරම් දුර..
ඈට යන්න බැරුව නෙමෙයි..දැනුත්.. ඒත් එහෙම යන්න බැරුව ඈව හිරවෙලා..බැඳීම්..ආන් ඒකෙන්..මේ ලෝකේ තියෙන සුන්දරවම පේන අසුන්දරම දේ.. බැඳීම්.. එක්ක වගකීමකුත්..

හීනි පහරක්.. දෙයියනේ!! ඇය හෙල්ලුම් කෑවා.. ඔව් ..ඔව්.. ඒ පිරුණු පින්වන්ත කුස ඇතුලින්.. ❤️️වංසක්කාර විවාහයේ ආදරේ කෙසේ වෙතත් බලාපොරොත්තුවක් එක්ක මෙන්න ආත්මයක් ගැහෙනව.. ඈ ඇතුලෙන්..

"මන් නම් ගිනි අව්වෙ ඔහොම යවන්නෑ.. " ආයෙමත්..

"නගින්න මැඩම්.. " රියදුරුතුමෝ දොර ඇරන්..

හිතනම් කැඩිලා.එතකොට ආත්මේ.. ඒක ගැන අපි කතා නොකර ඉමු..

"ඔව් හැබැයි.. මොක වුනත් උන්දැත් මාව අව්වෙ නම් යවන්නෑ..ඔයා හරි.."
ඇය ඔලොක්කුවට හිනා වුනා..යටි හිතින්..

"ඒත් ඉතින් හඳේ සිසිලසක තියෙන සනීපේ ඉරේ රැස් ගාව නෑ.. උන්දැ මාව ඒ රස්නෙන් අගේට පුච්චනවා.. වැඩේ කියන්නේ ඒක මේ වායුසමීකරණ සීතලෙන් මරන්න බැරි එක.. " ඇය ආයෙම ඔහුට කියනවා..

ආන්න එතකොට හිතට අස්සෙන් ඉරේ රැස් වල සැර අඩු කරන්න ආව වලාකුලක් ඇගේ කුස ඇතුලින් හිමීට හිනා වෙනවා.. ☺️

දෙයියනේ.. ඔව්මයි.. බලාපොරොත්තුවක්!! ☺️

_මානි_ ✒️☕️