Wednesday, February 21, 2018

සෙනෙහසේ නිම්නය 🌳🍀


ඈත නිල්වන් අහස් ගැබ මැද

වලාකුලු ඇති සඳක් වටකර

මෑත කොන තනි මේ අහස යට

මමත් සිටියා  පැතුම් ගුලි කර..


එක්ම එක් පෙර ඈත දවසක..

සිහින් ස්වරයක පැටලිලා හෙම..

නොකියාම ආ නුඹේ ඇරයුම..

මඳ සුලඟකට පා කලා මම..


තවම ඉඳහිට මතක පොත් මැද..

සුලං පහරක පෙරලි පිටුවක

මටත් නොකියාම තීන්ත පහරක..

ඇඳි කතාවක් ලියවිලා ඇත..


දසන්තේ පාවෙනා මල් කෙම..

අතර මැද හිඳ සිනාසුනු නුඹ..

ඔහේ පාවී පාවෙලා ගිය..

සිහිනයක් වී මැකෙන අරුමය..


සිහින තොටුපොල දෙස බලා හිඳ..

මංමුලා වෙන  ජීවිතය  ලඟ ..

සිනාවට මං පෙත් ලියා  දෙන..

සුරඟනන් සිටියාලු නොදැනම..


නිම්නයේ ඇති හුදකලාවට

පෙම් බඳින්නට උගත්තෙමි මම..

ලාම ලා පැහැ දම් සිහින ලඟ

නොපිපි සොම්නස පිපෙනවා අද ..


බිඳුනු සමනල තටු මතක ඇති..

වේදනා  කටු  රිදුම්  තව ඇති..

තනිය තනිකම තව ලඟම ඇති..

එහෙත් මදහස් මල් පිපී ඇති..


ඈත කඳු ඉම වලා පෙල හැර..

පායනා සුහුඹුල්  ඉරක් වෙද.

අඳුර දුරු  ඒ නිල් අහස යට..

මේ නිම්නයේ සොම්නසින් තනි මම..😊

#මානි ✒️🌳