Wednesday, May 2, 2018

අහඹුව

හිස්ම හිස් හිස්ම හිස් හිස්ම හිස්  තැන්වල
තනිකමට පාලුවට ගී ගැයෙන හිත්වල
මදහාස මල් සිහින ඇහැරෙනා නෙත් වල
පවතින්න පණ ගැහෙන හැඟුමක්ය ආදරය..

රහසින්ම හැඟුමන් ද දලුලනා තැන්වල
හිතක් ලඟ පෙම් හීන පොපියනා දිනවල
නොසිතාම නොකියාම හසරැල්ම කැන්දන
සිතුවිලිත් පොබයනා හැඟුමක්ය ආදරය..

රෑ සිහින නෙත් ගාව ඉඟිපාන බැලුම් ලඟ
හදපාන සෙනෙහසින් පිරි යැයි හැඟෙන තැන..
අන්ධකාරය පුරා සුබ සිහින පොබකරන..
සුලං රැල්ලක පවා දැවටේවි ආදරය...

කදු මුදුන් රුක් මුදුන් තුරු සිහින යා කරන..
සුදු පැහැති සඳ එලිය පවා හිත ඇහැරවන..
වලා බැමි තරු සිහින එපිට හිඳ සිනාසෙන..
සිහිනමය හැඟුමක් ද නොකියනා ආදරය..

බිදුනු සුදුමුදු හිතක ගැල්වෙනා ඔසු සේම..
නෙත් වියලි කඳුලකට සමුදෙනා නෙත් සේම..
ඉරිතැලුනු කතරකට ඉසින දිය පොද සේම ..
වැටෙන  මහ වැස්සක්‍ ය ආදරය පෙර සේම..

කටුක හිම  අවසාන හමුවනා වසන්තය
පෙරලෙනා සුලං කෝඩයක් වන ජීවිතය..
ඉසිඹුවක මුනගැසි සිනාදෙන දසන්තය..
සේම විය අහඹුවක මුන ගැහෙන ආදරය.. 

- මානි -✒️



Sunday, April 29, 2018

වෙසක් සඳ

කිසිම හැලහොල්මනක් නැතුව ගෙවෙන පෝදා හැන්දෑවල් වලට මන් හරි කැමතියි. පාර අයිනේ ගෙදරක ඉඳන් , වෙලාවකට වාහන යන්නෙ පාරෙද ,නැත්තං අපේ ගෙදර වහලෙ උඩින්ද කියල හිතාගන්න බැරි හැන්දෑවල් වලට වඩා පෝයකට ලබන හැන්දෑව ටිකක් වෙනස්. අදත් එහෙම දවසක්..

ඔව් වෙසක් පෝය තමයි..!!

ඒත් අද වාහන අඩු දවසක්.උපන්දා ඉඳන් කනට හුරු උනු සද්දෙක අඩු පාඩු ගතියක් අද තියෙනවා.. නිවී සැනසිල්ලේ හඳ බලන්න නම් බැහැ.. හඳ වැහිලා ගිහින්.. කලු වලාකුලු තොමෝ උඩ ඉඳන් අහසත් අපිත් අතර පාරාවළල්ලක් බැඳලා.. ඒත් පරිසරය නිස්කලංකයි.. ඉතින් මේ අහස යට නිවාඩුපාඩුව කල්පනා ලෝකයක් ගොඩනගා ගන්න බැරිම නෑ..
වැහි දෙයියන්ට බයවෙලා හතර වටේ හුඟක් ගෙවල් වල වෙනදා තියෙන වෙසක් අද නැහැ.. අපෙ ගෙදරත් මුකුත් ඇති නැති ගාන.. එහෙම දවසකට නිසංසල බවේ විවිධ පරාසයන් ඇතුලේ වෙනස් වෙන පාරක් අයිනේ නිසොල්මනේ ඉඳගෙන කල්පනා ගමන් යන එක වෙනම ආතල් එකක්.. ඔව් .. මේ සද්ද බද්ද අස්සෙත් මට පුලුවන් හීන දකින්න.. 💜

මේ වගේ පුර පසලොස්වක පෝය දවසකට අපේ වත්ත පිටිපස්සෙ තියෙන ගස් වකාරෙට එහායින් හඳ පායන හින්ද හුඟක් රෑ වෙනකන් අපට පැහැදිලි හඳක් පේන්නේ නැහැ.. හඳ හාමිගේ ඇත්තම ලස්සන දකින්න නම් රෑ 11ට 12ට හඳ මිදුලට මුදුන් වෙනකම්ම ඉන්න ඕනේ.. සඳ මිදුලට එන්නේ ඒ වෙලාවට.. 😊 සමහර දාට අපි තුන්දෙනා මුලු ගෙදරම ලයිට් නිවලා ඒ දිලිසෙන හඳ එලිය විඳිමින් මිදුලට වෙලා ඉන්නවා...

පෝය දා පුරහඳ හරියට මුලු ලෝකෙටම උඩින් පත්තු කරපු මනස්කාන්ත එලි විහිදුවන ලොකු විදුලි බුබුලක් වගේ.. ඒ තරම් එලියක්.. ඒ එලියට මතුවෙලා ගෙයි මිදුලේ සිත්තම් අඳින අපේ වත්තෙ උස පොල්ගස් වල හෙවනැලි මට හැමදාම දෙන්නෙ පුදුම අද්භූතජනක සතුටක්.. අන්න ඒ වෙලාවට ඒ පොල් ගස් මුදුනකට වෙලා හඳ එලිය ඇතිවෙනකන් නාන්න මට හිතෙනවා...

පුංචිම කාලේ දවස් වල හැන්දෑවල් වලට ගෙදර ලයිට් නිවල මාව ඔඩොක්කුවෙ තියාගෙන තාත්තා මට අහස පෙන්නනවා..ඒ කාලේ මම කලුවර ට බය කෙල්ලෙක්..එක දවසක් හුලඟට හෙලවුනු පින්න ගහක් දිහා කලුවරේ බලන් ඉඳල එතන අවතාර ඉන්නවා කියල අඬපු...ඒත් කලුවරට ආදරේ වෙන්න ගත්තට පස්සෙ ලැබෙන්නේ  ඒ අත්භූත සතුට අඳුරගත්තු කෙල්ලක්..

එහෙම ඉන්න වෙලාවට අත්තා ගැන,ගෙදරම්මා ගැන,කුප්පි ලාම්පුවෙන් එලියවුනු ඒ කාලේ ජීවිත ගැන තාත්තා මගෙත් එක්ක කියනවා.. ඉස්සර මිනිස්සු හඳ පානේ ගමන් ගිය හැටි ගැන,අත්තලා පාන්දර හඳ එලියෙන් පයින්ම මීගමු ගියපු ගමන් ගැන, පාර අයිනෙ ගෙයක් දෙකක් තිබුනු ඒ කාලේ කරත්තයක් දෙකක් ,ඊටත් පස්සෙ ඉඳහිට කොලඹ ඉඳන් ගිරිඋල්ලට යන බස් ගැන කතන්දරත් මට කියනවා.. හඳ එලියෙන් බැබලෙන මිදුලක හීනියට අඩි තිය තිය මමත් මගේ අක් මුල් ගිය තැන් ගැන කතන්දර අහනවා..

ඒ චිත්‍රය හරිම ලස්සනයි.. මම ඉන්නෙ තාත්තගෙ උකුලේ.. ඉස්කෝලෙ වැඩ ඉවර උනු හැන්දෑවලට අම්මත් අපි එක්ක.. ගෙයි ඉස්සරහ පඩියක ඉඳගෙන අපි රෑ වෙනකන් හඳ එලියේ කතන්දර කියනවා.. ඒ වෙලාවට මගේ ඔලුවට උඩින් රවුම් මූණක් තියාගෙන, තාත්තෙක් ගෙ කතන්දර අහන පුංචි කෙල්ලෙක් දිහා හඳ නිහඬවම බලාගෙන ඉන්නවා. මේ ලියන දැනුත් ඔහු එතන එහෙම්ම ඇති.හැබැයි වැහි වලාකුලකට වැහිලා.. 🌤

තාත්තගේ කතන්දර වලට හුමිටි තිය තිය මම හඳේ ඉන්න හාවගේ හැඩ හොයනවා.. ඒ හැම වෙලාවකම හඳ එලිය මකාගෙන මහ සද්දෙට අපේ පාරේ වාහන ලයිට් ගහගෙන යනවා.. වටපිටාව නිහඬ වීම මේ වගේ පලාතක සිහිනයක්..ඒත් අදත් ඒ හඳ එලිය යට ගෙවුනු කතන්දර හෝරාවන් මගේ හිත ඇතුලේ ඇති කරවන්නෙ මහා නිස්කලංක හැඟීමක් ..හරියට අපිත් හඳත් විතර ක් හිටියා වගේ..

තාත්තගෙ කතා අහන ගමන් හඳ දිහා බැලුවම මට පේන්නෙ හඳ මට හිනාවෙනවා කියල.. ඉඳහිට පුංචි වලාකුලකට වැහිලා ඉඟි බිඟි පාන හඳ මමත් එක්ක දුර ගමන් යන්න එනවා.. අපේ ජිවිත වල මොනතරම් දේ උඩට වෙලා ඉන්න හඳ දැකල ඇත්ද කියල ඒ වෙලාවට මම කල්පනා කරනවා..

තාත්තගේ කතන්දර වල ඉස්සර මිනිස්සු වැඩි හරියක් ගමන් ගියෙ පයින්..අනුරාධපුරය ,පොලොන්නරුවටත් පයින් ගිය මිනිස්සු ශ්‍රී පාදය වඳින්න යද්දි ඉඩකඩම් පවා ලියල තියල ගියාලු. අතුරු ආන්තරාවක් එහෙම උනොත් කාරිය කියල.. මේ හැම තැනකම හඳත්, තරුත් ඉන්න ඇති.. ඒ මිනිස්සුන්ගෙ ජීවිත වල හැම නැවතුමකම වගේ..
 
රෑට හුළුඅත්තක් පත්තු කරන් ගම පුරා හඳ එලියෙ කරක් ගහපු මිනිස්සු , අම්බලම් වල නැවතිලා හඳ එලියෙ උයාගෙන කාලා ගිමන් හරින මිනිස්සු.. ඒ මිනිස්සු ගිය ගිය හැම තැනකම හෙවනැල්ලක් වගේ හඳ ඉන්නම ඇති..

මේ ලෝකය බිහිවුනු හැටි.. මේ ලෝකයේ ආදරේ ඉපදුනු හැටි..දුක සතුට සොම්නසින් මේ ලෝකය පිරුනු හැටි, සියලු ශාස්තෲන්වහන්සේලාගෙ මග පෙන්විම් වලින් මිනිස්සු සැනසීමක් ලබපු හැටි හඳ දකින්න ඇති..

කාලයත් එක්ක මිනිස්සු වෙනස් වුනු හැටි, දුක් සුසුම් අඳෝනා වගේම ලෝකයක් හඬවපු ඛේදවාචක සිද්ද වෙච්ච හැටි ,නිහඬවම විනාසය වැලඳගනිමින් පරපුරෙන් පරපුර ගොඩ නැගෙන හැටි , මිනිස්සු දුසිරිතේ ගැලෙන හැටි.. එදා මෙදා සන්සන්දනය කර කර හඳ නිහඬවම විඳගන්නවා ඇති..

"අම්බිලි මාමේ ඔබ මොකද කරන්නෙ..
පුලුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ .."

 කියා කියා තමන්ට අඬ ගහමින් බහා තෝරපු පුංචි එවුන් ජීවිතේ පියවරෙන් පියවර වැඩෙන හැටි, මල් වාගෙ පිපිලා පරවෙන දවස වෙනකම්ම හඳ බලාගෙන ඉන්න ඇති..

 ඒ ඒ ජීවිත මංසන්ධි වල කාලෙක හඳ මාමත්, ආයෙම කාලෙක ප්‍රේමනීය හැඟුම් පොබ කරපු යොවුන් හඳත්, සුන්දරම ආදරනීය සැඳෑවන් වල නිහඬවම සතුට තිලින කරමිනුත් මදු සඳක් වගෙත් ඔහු ඉන්න ඇති.. හැම පින්බර පෝය හඳකම සිසිල සෙනෙහස අරන් තමන්ගෙ හෙවනේ ඉන්න දරුවො එක්ක ඔහු පන්සල් යන්න ඇති.. පින් රැස් කරගන්නත් ඇති..

අද වාගෙම අවුරුදු දහස් ගානක් බුදු හාමුදුරුවෝ හිටිය කාලෙත්,ඉන් පස්සෙත් හැම වෙසක් පෝයකමත් පින්බර සැඳෑවන් ගෙවෙන හැටි විඳගන්නත් ඇති...
ඒ දරුවෝ මිය ඇදෙද්දී ඔවුන් වෙනුවෙන් බිහිවුනු ඊලඟ පරපුර වෙනුවෙන් හඳ ඒ යුතුකම් ආයේ ආයෙම ඉටු කරන්නත් ඇති..

හරියට මගේ අත්තව මටත් වඩා දුටු ඒ හඳ , මම ඔහු ගැන විමසද්දි,අහද්දී එදා වාගෙම අදත් බලන් හිටියා වගේ..

මට ආසයි හඳක් වෙන්න.. ලෝකෙ මිනිස්සු වෙනස් වෙන හැටි උඩට වෙලා බලන් ඉන්න.. කිරි දරුවන්ගෙ සිහිනවල සුන්දර තැනක නවතින්න.. එක පැත්තකින් ඉර බැහැල අනික් පැත්තට ඉර පායද්දි කලබල අස්සෙ එහෙ මෙහෙ දුවන තමන්ගෙ ගමන් සගයා මත වෙසෙන මේ ජීවියො ටික දිහා පිටින් ඉඳන් බලන් ඉන්න.. ජීවිත වල දුක සතුට සම සිතින් විඳගෙන ජීවිතෙ පුදුමාකාර වෙනසකින් විඳින, දකින මිනිස්සු දැක ගන්න..

ඉරට මුවාවෙලා හිටියට රෑට මුලු අහසම අයිති කරගෙන තරු කුමරියො පිරිවරාගෙන මනමාලකම් කරනවා කියල රටේ ලෝකේ සුන්දරම හිත් තියෙන කවිකාර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න..
ජීවිතේ සුන්දරම ප්‍රථම ප්‍රේමය මුලින්ම මෝදු වෙන හිත් හඳ දිහා බලාගෙන දකින හීනවල කොනකට වෙලා සතුටෙන් හිනැහෙන්න..

විරහවෙන් ඉරි තැලුනු හදවත් තමන් දිහා බලාගෙන දුක කියන රාත්‍රින් වල ඔවුන්ගේ දුක ලඟම නවතින්න.. ඒ පාලුව තනිකමට ලඟින් ඉන්න..
ඇලදොල ,සතා සීපාව ට හොඳ ගමන් සගයෙක් වෙන්න..ඔවුන් බලාගන්න.. ඔවුන්ට පාර කියන්න..
කෙටියෙන්ම කිව්වොත් මේ ලෝකේ බිහිවුනු දා පටන් සිද්ද වුනු , සිද්ද වෙමින් තියෙන වාගේම ඉස්සරහටත් සිද්ද වෙන සෑම සියල්ලකම ඇසින් දුටු හොඳම සාක්ෂිකාරයා වෙන්න..
අපේ සමහරු වගේ තාරකාවන් එක්ක දකින සියලු දේ කිය කියා යන්න නම් නෙවෙ යි.. බොහෝ දේ විඳ දරාගෙන ලෝකයක් දිහා ශාන්තව බලා ඉන්න උපේක්ෂා සහගත ආත්මයක් වෙන්න...

නැවතීම කොතන දැයි නොදැන හැල්මේ දුවන ජීවිත කාලයත් එක්ක වෙනස් වෙන අරුමය විඳගන්න..
එදා මෙදා තුර සියලු දුක් දොම්නස් ඈත ඉඳන් දරාගන්න..

මිනිස්සුන්ට අමතක උනත් නිහඬවම නොවෙනස්ව ඔවුන් ලඟම රැඳෙන්න..
ලෝකය බිහි වූ දා පටන්ම සඳත් එක්ක සුන්දර ගනුදෙනු ඇති කවිකාර හිත් එක්ක තව තවත් සෙනෙහසින් බැඳෙන්න...

මටත් ආසයි හඳක් වෙන්න.. මේ සේරටම වඩා... තමන් තුල වෙන සියලු දේ විඳ දරාගෙන සෑම මොහොතකම සිනාසෙන්නට වෙර දරන මේ පොලෝ තලයට හොඳම හොඳ ගමන් සගයෙක් වෙන්න.. 💜

ජීවිතයේ සෑම සිදුවීමක්ම උපේක්ෂාවෙන් විඳදරාගෙන කෙදිනක හෝ අවසානය හමුවන තුරුම ගමන් කරන්න..

අත් නොහරින්න... ආදරය කරන්න.. දරා ගන්න...

#ක් වගේ වෙන්න.!! 💜


#මානි



Monday, April 16, 2018

නුඹ නැතුව නුඹ එක්ක..

  කොලොම්තොට කලබලයි.. මිනිස්සු එහේ මෙහෙ දුවන්නේ පිස්සුවෙන් වගේ.. නිහඬවම බස් එකේ ජනේලය අයිනක ඉඳගත්ත සමාධි වතුර බෝතලය හොයනවා.. මෙහා පස අසුනේ හොඳින් ඇඳ පැලඳගත්තු ගැහැණියක්.. ඇය සමාධි ට තිලිණ කරේ මදහසක් ..

අතින්  කටින් ,කරෙන් නොයෙක් දේ ඔසවාගෙන දඩි බිඩි ගාලා සමාධි බස් එකට නගින්නේ ඊලඟ නැවතුම ගැන හිත හිත.. අයියෝ..අද කෝච්චිය මිස් වෙයිද මන්දා... ඒත් සමාධි මේ ඉරිදා උදෑසන 138 ඩ්‍රැයිවර් මහත්තයා ගැන විශ්වාසේ තිබ්බා.. අර දවසක් වගෙ අදත් බස් එක ඉගිල්ලුනොත්.. 🤗

ඒ ඉගිල්ලීමට සමාධි හරි කැමතියි.බෝඩිමෙන් නිදහස් වෙන දවසට උදෙන්ම ගිහින් විගහට ගෙදර දුවන්න තියෙන මේ දවස් වලට ඈ කොහොමත් කැමතියි.. ඊයේ දවසම නුගේගොඩ කඩ සාප්පු වීදී ගානේ මිතුරියො එක්ක ඇවිදලා පලවෙනි ජොබ් එකෙන් අවුරුද්ද වෙනුවෙන් මුලු ගෙදරටම ඇති වෙන්න ෂොපින් කරන්න සමාධිට තිබ්බේ පුදුම පිස්සුවක්.. ඉතින් නිවාඩු සෙනසුරාදා ව ඒකට වැය කරලා.. අවුරුදු නිවාඩුවත් එක්ක සතියක්ම නිවාඩුත් දාලා සමාධි අද ගෙදර යන ගමන්..

තමන්ගෙ කලබලේ අවසන් කරපු සමාධි  නිහඬවම අසුනේ තැන්පත් උනේ මඳ හුස්මක් ගන්න.. ටිකක් නවතින්න.. ජනේලය පිස ගෙන නිහඬවම ඇදිලා එන්නේ හරිම සනීපදායක සුලඟක්..කොලඹ හුලඟ ..
කොලොම්තොට වුනත් සෞම්‍ය උදෑසනක සිසිලස එක්ක එකතුවෙලා මවන්නෙ අමුතුම මිහිරියාවක්.කොච්චර කලබල උනත් සමාධි කැමතිම කොලොම්තොට උදෑසනවල් වලට.. ඒක ඉරිදාවක් නං තවත් අපූරුයි.. ඉරිදා ගෙවෙන්නෙ හරි හිමීට..

ඒත් එදා නම් වෙනදා කලබලයෙන් පිරුනු කොලොම්තොට සමාධි ලඟ සතුටක් මැව්වෙ නැ.එක් පේලියට ඉරිදා සන්සුන්කම පොඩ්ඩක් හරි අරන් ඇඳෙන වාහන ඈට අපූරු බවක් දුන්නෙත් නෑ.. කොටින්ම සමාධි හිටියෙ හොඳින් නෙවෙයි.. ලෝකය වෙනදා වාගෙම ලස්සන උනත් අද සමාධි ගෙ හිත වෙනදා තරම් ලස්සන වුනේ නැහැ..

ආයෙමත්.. ඔහු.. මේ සිව් වසරකට පස්සෙ..

හරසර හිමිහිට  තමන් ලඟින් හිටගන්නවා බස් නැවතුමේ හිටපු සමාධි දැක්කෙ නැහැ. ඇය හිටියෙ තමන්ගෙ අවුරුදු ෂොපිං විස්තරය මිතුරිය හා බෙදාගන්නා ගමන්. ඒ අතරෙම පිටකොටුව බලා යන බස් එකක් බලමින්..තොරතෝංචියක් නැතුව ෆොන් එක ටයිප් කරමින් ඉන්න ඇයට ඔහු ලඟ වග එදා මෙන්  වටහාගන්න නොහැකි උනු අයුරු සමාධි ට දුන්නේ පුදුමයක්.. ඉස්සර නම් රෙදි මදිනකොට හරසරට වැදුනු පුංචි විදුලි සැරය ත් ඇති..ඔහුට කරදරයක් යන හැඟීම  ඇයට ගේන්නට.. ☺️ ඒත් දැන්... කාලය නුඹ මොනතරම් නම් අමුතුද...

හරසර සමාධිව දුටුවෙ අවන්තිගෙ අතකින් අල්ලගෙන ඈව දුම්රියට ඇරලවන්න යන ගමනෙදි.. කාලෙත් එක්ක ජීවිතය ගෙවෙද්දි..හුඟක් කාලෙකින් පරණ පුරුද්දට දෙනෝ දාහක් යන එන මේ මගතොටේ ඇගේ රූපය හොයන්න හරසරට මතක් උනේ නැහැ.. ඒත් අද එක්වරම අහම්බයකින් ඔහු ඈව දකිනවා.. එක්වරම ඈව මුණගැහෙන්න,කතා කරන්න  හිතුනත් අනපේක්ෂිත මේ හමුවීම ඈව කොහොම කලඹයිද නොදන්නා නිසා ඔහු මඳ වෙලාවක් ගත්තා .. ඈ වෙනස් වෙලා.. ඔහු හිතනවා..

තමන් ඉදිරියෙන් අවහිරයක් සේ හිටගත්තෙ කවුද බලන්නයි සමාධි දුරකථනයෙන් හිස එසෙව්වෙ.. ඊලඟ තත්පර කිහිපය ගෙවුනු හැටි හරි සිහියක් ඈට දැන් නැහැ.. බය බිරාන්ත වුනා වගේ ඔහු දිහා ඔහුමද වටහා ගත නොහැකි උනු දෑසින් බැලූ තමන් කිසිත් නොකියාම එවෙලේ නැවතුමට ආ බසයට නැග ගත් හැටි සමාධිට  සිහි වුනා..

"මට ආයෙම ඔයාගේ හුලඟවත් ඕනි නැහැ '"

"මේ ලෝකෙ හරි පුංචි සමාධි.ආයෙ අපි මුණගැහේවි... "

  ඒ එදා..

මේ අද.. සිව් වසරකට පසු අද..

හෙමින් හෙමින් ඇදෙන බස් රථය අද ඉරිදා වුනත්  වාහන තදබදයක ඉඟියක් පලකරනවා. ඒ අතරේ කොහෙදෝ තැනකින් ආපු ඉකියක් උගුරෙ කෙලවර හිරවුනු ගතියක් සමාධි ට දැනුනා. හුරුපුරුදු කඳුලක්...ඒත් ඇයි??

ඒ ගෙවුනු සිව් වසර ඇතුලේ ඈ සිතින්,ගතින් වගේම මනසිනුත් බොහොම වෙනස් වුනා. ඉස්සර දවස්වල සිටි බොලඳ කෙල්ල වෙනුවට බොහොම හොඳ  අවබෝධයකින් ජීවිත ය දිහා බලන්නත් සමාධි ඉගෙනගත්තා..

හරසර ගැන ඈට බොහෝ දේ ආරංචි උනා.. සමහරු කිව්වෙ හරසර දැන් සෙල්ලක්කාරයෙක් ගෙ ගානට වැටිලා කියල.කෙල්ලන්ගෙන් අඩුවක් නැහැ කියල..ඔහු දැන් වෙනස් කියල.. සමාධි ඒ සේරම බාරගත්තෙ බොහොම  මද්‍යස්ත විදියට.ඔහුගේ ජිවිතේ.. ඈට එහෙම වෙන්න බැරි වුනාට ඒ ඔහුගෙ ජිවිතේ.. සමාධි තනිකම බාරගත්තා.. නිහඬවම.. නැවත කෙනෙක් වෙත ලංවෙන්න හැඟීමක් හෝ නොඉපදෙන හිතක් එක්ක සමාධි ඈ වටා අරමුණු වලින් පවුරක් බැඳ ගත්තා.. මෙලෝ සිහියක් නැතුව ඒ අරමුණු පස්සෙ දුවන සමාධි බිහි වුනේ ඊට පස්සේ..

බස් රිය කොටුව ස්ටේෂමෙ නැවතුමට එන්නෙ සමාධි මේ අතීත කාමය ඇතුලේ ගිලිලා ඉන්නකොට.. නිහඬවම බස් එකෙන් බැස්ස හරසර ඈ පසුපසින්ම ආවෙ නැහැ. තමන් දැකල නිහඬවම නික්මුනු සමාධි තමන් හා කතා කරන්නට අකමැති ඇතැයි ඔහු සිතුවා. එන අතරමගදි අවන්ති හා සියල්ල පැවසූ නිසා ඈ නම් කියන්නෙ කතා කරන්න කියල. අවන්ති නිදහස් යුවතියක්.මෙවන් දේ එතරම්ම ගණනකට නොගන්න..

කොටුව දුම්රිය පොල වෙනදා වාගෙම කලබලයි.අවන්තිව දුම්රිය ට ගොඩකරපු හරසර හැමතැනකම සිව් වසරකින් දුටු සමාධි ගේ රූපය හෙව්වා. ඈට කියන්න බොහෝ දේ ඔහු ලඟ තියෙනවාද ඔහු දන්නේ නැහැ.. ඒත්..

තුන්වෙනි වෙදිකාවෙ කෙලවර බංකුවක අරමුණකින් තොරව ඉන්න සමාධි ට ඈ දෙස දුර තියා බලන නන්නාඳුනන පිරිමි රුවක් ඇස ගැටුනා. ඈට ඔය දේවල් ඉතාම පුරුදුයි..කොල්ලෙක් හිටියත් නැතත් ඇඳුම මොන විදියට තිබ්බත් නැතත් බලන උන් බලනවා. ඒ කෑදර බැල්ම මග ඇරල ඉවත බලනවිටම තමන් වෙත ඇදෙන ඒ රුව ඈට පෙනුනා..

" සමාධි.. " :)
" හරසර .. " ☺️

----------------------------------------------------------------------------------------------------
නොනවත්වාම නාදවෙන දුරකථනයේ හඬ නිසාවෙන් ඔහු කාමරයට ආවා. ඇමතුම ඇගෙන්.
හිතට ආව අමුතුම සතුට මැද්දෙන් උනත් මේ ඇමතුම ගන්න ඔහු මඳ වෙලාවක් ගත්තා.කාර්‍යාල මිතුරිය .. දැනට..එහෙම..
ඔහු ඇමතුම ගන්නවා..
"අසංක"

"ඕ..ඕ.."

"ඇයි ආන්ස්වර් නැත්තෙ.."

"ම්ම් වැඩක හිටියෙ.. ආ..ආ.. අනික මං හිතුවෙ ඔයා මන් එක්ක තරහින් කියල "

යාලුකමට එහා ගිය අපූරු හැඟීමක වග , මිතුරන්ගේ බල කිරීමට ඈට කියන්නට ගිහින් කරගත්තු ගොන්කම හින්දා තමන්ට  මිතුරියත්, ආදරයත් දෙකම අහිමි වුනා යැයි බයක් අසංකට තිබ්බා. ඔහු සමාධි ගෙ මිතුරා..එහෙත් හදවතින් ඇයට පෙම් බඳින..

"නෑ.. එහෙම එකක් නැහැ.. "

නිහැඬියාවක් ...

" සමාධි කතා කලේ..?? "

"ංආ.. මේ .. "

"ම්.."

"මේ..මේ.. ඔයාට ඕනි නම් අවුරුදු නිවාඩුවට පස්සෙ ඇවිත් අම්මලා මුණ ගැහෙන්න පුලුවන් කියන්න.. " ☺️

"හා.. මන් .. ඈ.. මොකක් ??  " 😯

"ඔව්..දැන් මන් තියන්නම් .. ගෙදර ට ගිහින් ගන්නම්.. බායි " සමාධි ඇමතුම විසන්ධි කරා.
අසංකගේ  මුවගට නැගුනේ මදහසක්.. අවුරුදු තෑගි!! 😋

හරසරගෙ හමුවීම කෙලවර අතීතය වලදාන්න සමාධි තීරණය කරනවා.ඔහු සෑහෙන්න වෙනස් වෙලා.. ඒ අතීතය හිත ඇතුලේ මියැදිලා ගිහින් තිබුනු එක තමයි ඇත්ත. ඉඳහිට ඒ අතීතය තමන් ඇතුලෙන් ආයෙමත් ගැහෙන විත්තිය සමාධි දන්නවා.ඒත් ඒ අතීතය අල්ලන් හිටියට ඈට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඔහු හුඟක් දුර ගිහින් ..තමනුත් නොදැනුවත්වම බොහෝ දුර ආ වග ඈට අවබෝධ වුනේ අද.. ඈට එයින් මිදෙන්න බැහැ. ඒ හැඟීම් රිදවුමක් නොදෙන ලෙස දරාගෙන ජීවිතය ඉස්සරහට යන්න දැන් තමන්ට පුලුවන් වග ඈ  දන්නවා..☺️

දුම්රිය කවුලුවෙන් එබෙන වෙල් එලි පිසගෙන හමන සුවඳ හරි සනීපදායකයි.
සමාධි හිතනවා.

වසන්තය ඇවිත්...

ඇයට තිබුනේ හදවතේ දොරගුලු හැර දමන්න විතරයි ... !!

- මානි - ✒️

Thursday, April 12, 2018

බක් මහ අකුණු ⛈

"මිහිරි සිසිලැති සුවඳ අරගෙන..
සොම්නසේ සුබ නිමිති පිපිලා..
කලට නියඟෙට සමුදෙන්න කී
බක්මහේ වැහි සර  බලල්ලා..
නිහඬ නියඟෙට සෝ සුසුම් පෑ
වෙල් එලිත් මල් සිනා පාලා..
කිමද මෙතරම් වූ පමා මේඝය
මෙන්න බක්මහ වැහි ඇවිල්ලා..

කැවුම් සුවඳට මුසුවෙලා එන
සුලං සරයට ගී ගයාලා...
බැඳුම් තෙල් හා ගැයුණු කෝඳුරු
ගීතයක කෙම් නද අසාලා..
පහල ඇලදොල යසස් සිරි දෙන
ඔරු පදින්නට ගී වයාලා..
බලන් සකිසඳ එරබදුත් සාරෙට
තවම ගම්දෙණි පාට කරලා..

නගර ගම්බිම් සිරි අසිරි දී
නියං දුරගිය වග බලල්ලා...
මහා වරුසා ගර්ජනා දී
ඇදෙන සිරි සරු නෙත් විඳිල්ලා..
සාර සිරි පිරි සතුට රජකල
සෙනේ උතුරන කල් ඉඳිල්ලා..
අකුණු සැර පිරි වසත් සිරිගෙන
මේ සැරෙත් අවුරුදු ඇවිල්ලා.. "⛈⛈

- මානි -

Monday, April 9, 2018

මල් සිහින


" මමත් මල් දැරිවියක්
සිත ගාව ඉපදිච්ච...
දස අතින් මදහාස
මල් කැටිති විසිරිච්ච..
හීනෙනුත් ඔබ ගාව
සිත් පොකුරු පිබිදිච්ච..
මමත් මල් දැරිවියක්
නුඹ ගාව මියැදිච්ච.. 🍀

තටු සලන වස්සාන
සිහිනයේ ඇහැරිච්ච..
නොකියාම මහ දුරක්
අපි ආවා නොදැනිච්ච..
ඝන අඳුරු වනපෙතක
මල් සිහින පොඩිවෙච්ච..
මමත් මල් දැරිවියක්
නුඹ ගාව මියැදිච්ච... 🌼

අනන්තව තව පිපෙන
මල් පොකුරු ඇහිඳිච්ච..
ඒ රොනින් ඔය සිහින
රස මරා ඉපදිච්ච..
නපුරු බඹරෙක් ද නුඹ
නොකියාම නොදැනිච්ච ..
මමත් මල් දැරිවියක්
සිත නුඹට මියැදිච්ච ... !!! " 🎋

- මානි -

Thursday, April 5, 2018

අවසන් කවිය..


--------------------------------------------

මේ නිහඬ බව යට වරුවක්..
මට අවැසි තනිකමේ කවියක්..
නුඹ නොදන්නා බව දැනුනත්...
මේ තනිකමත් මට මහා සුවයක්..

ඉඳ හිටම ලියවෙන කවියක්..
හිත නිවන මල්පැන් වැස්සක්..
අර පායනා තරු දහසක්..
සේම නුඹ හරි  දුරම අහසක්..

මට අවැසි තනිකමේ සතුටක්..
කිසිදාක නොදැනෙන  සුවයක්..
සිත නොරිදෙනා එක මොහොතක්..
මහත් සැනසුම් සුසුම් දහසක්..

නුඹ නොමැති බැව් සිත දනිතත්..
ඉඳහිට  ලියවෙනා එක කවියත්..
නොදැන නුඹ වෙත ලීවත්..
මේ තනිය මට මහ පුදුම සුවයක්..

දුරු අමාවක සඳ අහසක්..
අතැර දුර ගිය බවත් රහසක්..
සිත නිහඬ  එක අහසක්..
මින් මතුව මම එහි නිහඬ සවසක් .. !! "😊

#මානි ✒️

Tuesday, April 3, 2018

සුදු පිරුවට

"කෙන්ද කන්ද කර ලන්ද ලන්ද ලඟ
හෙමිහිට මතුරපු ඒ කාලේ...
අනුන්ගේ දිවි ගැන තමන්ගේ වාගෙම
කියා ලියා ගිය මේ කාලේ..
අවුලන ගිනි ගැන ගම් කඩමණ්ඩිය
පුරසාරම් දෙඩු මහ රාලේ..
සාර සොබාවට බුදු බණ කිව්වට
සිල් පද නොරැකපු අඳ බාලේ.. 🙄

සුදු පිරුවට ඇඳ දොහොත් මුදුන් දී
තෙරුවන් සරණට පේ වෙච්චී...
උඩු වියනින් බැඳි නිල් අහසට සරි
හැම දහමක මුල් තැන වෙච්චී...
පෙනුමට රූපෙට රිසි රිසි ආරෙට
හිත්වල යහපත නැති වෙච්චී...
පිටින් ඔපේ ඇති හිතින් එසේ නැති
අමුතුම මිනිසුන් බිහි වෙච්චී...🤔

ඇන්දට පිරුවට හිත්වල කහටය
අන් සැපතට සෙත් නොදෙන හැටී..
ඇසූවත්  බණ පද නොදන්න අරුතට
මෙවන් දීප ලොව තවත් නැතී...
යහපත් හදකට මිනිසත් විලසට
රැඳෙන්නවත් ඉඩ නොදෙන සකී..
රාලේ ඔය ලෙස කොයි ලොව යන්නද..
මරණය දොරකඩ බලා සිටී... "😊

#මානි

Monday, March 26, 2018

නොකී කව !!!

"හිත රිදෙන පෑරෙන තැන්වල
ලඟ ඉන්න ඕනෙම සැනසුම..
මම නුඹෙන් ඉල්ලුවෙම..
ඒ සැනසුම ගෙනෙන "තනිකම"..

මං පෙම් බැන්ද ඒ තනිකම..
මේ රළු පරළු මහ පොලොවෙම..
නුඹ නික්මුනේ හරි නිහඬව..
අලගු තියල ද මගෙ උරුමෙට..

මං ගලක් සේ නොසැලෙන වග..
පෙන්නලා මහ ලොකුවට..
හිටි කලුවරම මහ රෑකට..
තනිකමත්  ඉකි බින්දේ මං ලඟ..

රෑ අඳුර පරදන සඳකට..
මම කියමි සුවයකි තනිකම..
නමුදු රිදෙනා හදකට..
අවැසි රිදුමන් නොමැති ප්‍රේමය..

මට ඕනේ අලුතෙන් හුස්මක්..
මේ තනිකම ලඟම සුවයක්..
නුඹ ආවොතින්  එක සැරයක්..
ගෙන යන්න දෙමි මේ මතක කන්දත්..!! "😊

#මානි ✒️

Thursday, March 22, 2018

මල් උයන්..🌸

මට ඕනී මල් පිපුනු උයන් කොන 
ඇවිදින්න..
තනියෙන්ම හරි හැඩට පිපුනු මල්
විඳගන්න..
උදෑසන හිරු කිරණ හා පෙමින්
මියැදෙන්න..
නෙත ගාව පිණි කඳුලු මල්පැණින්
දෝවන්න..

හෙමි හෙමින් සවන් බැඳි බිගු ගීත
මුමුණන්න..
පාලුවට ගිය හිතට යලි හැඟුම්
පුබුදන්න..
ඉඩෝරය අවසාන  වැහි සිහින
ඇහැරෙන්න..
මට ඔනී මේ උයනේ  ඉරක් සේ
හිනැහෙන්න..

වැහි දියට පෙමින් බැඳි පොලෝගැබ
සේ වෙන්න..
ඉඩෝරෙන් ඉරි තැලු  ඔවුන්  හා
පිබිදෙන්න..
මට ඔනී මල් පිපුනු උයන් කොන
නවතින්න..
ආයෙමත් හීන වල සත් පාට
තවරන්න... ❤️

ඔව්...
මට ඔනී හීනවල සත්පාට
තවරන්න..😊❤️

#මානි ✒️

Wednesday, February 21, 2018

සෙනෙහසේ නිම්නය 🌳🍀


ඈත නිල්වන් අහස් ගැබ මැද

වලාකුලු ඇති සඳක් වටකර

මෑත කොන තනි මේ අහස යට

මමත් සිටියා  පැතුම් ගුලි කර..


එක්ම එක් පෙර ඈත දවසක..

සිහින් ස්වරයක පැටලිලා හෙම..

නොකියාම ආ නුඹේ ඇරයුම..

මඳ සුලඟකට පා කලා මම..


තවම ඉඳහිට මතක පොත් මැද..

සුලං පහරක පෙරලි පිටුවක

මටත් නොකියාම තීන්ත පහරක..

ඇඳි කතාවක් ලියවිලා ඇත..


දසන්තේ පාවෙනා මල් කෙම..

අතර මැද හිඳ සිනාසුනු නුඹ..

ඔහේ පාවී පාවෙලා ගිය..

සිහිනයක් වී මැකෙන අරුමය..


සිහින තොටුපොල දෙස බලා හිඳ..

මංමුලා වෙන  ජීවිතය  ලඟ ..

සිනාවට මං පෙත් ලියා  දෙන..

සුරඟනන් සිටියාලු නොදැනම..


නිම්නයේ ඇති හුදකලාවට

පෙම් බඳින්නට උගත්තෙමි මම..

ලාම ලා පැහැ දම් සිහින ලඟ

නොපිපි සොම්නස පිපෙනවා අද ..


බිඳුනු සමනල තටු මතක ඇති..

වේදනා  කටු  රිදුම්  තව ඇති..

තනිය තනිකම තව ලඟම ඇති..

එහෙත් මදහස් මල් පිපී ඇති..


ඈත කඳු ඉම වලා පෙල හැර..

පායනා සුහුඹුල්  ඉරක් වෙද.

අඳුර දුරු  ඒ නිල් අහස යට..

මේ නිම්නයේ සොම්නසින් තනි මම..😊

#මානි ✒️🌳

Monday, January 29, 2018

බෝල මුරුක්කු

    "අනේ සුදු මැණිකේ.. තව එක කටක් කන්නකෝ.. "

අමාලි හිටියේ සාරිය අඳින ගමන්.ලේසියට ඔෆිස් එකට ස්මාර්ට් කැෂුවල් ඇඳන් යන්න පුරුදු වෙච්ච ජීවිතේකට හදිසියකට අඳින සාරිය කියන්නෙ වෙලාවකට මල වදයක්.එහෙම කියලා කෙල්ල ඉස්සරවෙලාම ඉස්කෝලේ යන දවසේ අම්මාට සාරියක් අඳින්නැතුව ඉන්න බෑනේ.. 😊

"මට ඇතීඊඊඊ..." ටිකක් සද්දෙට සැරට.
 අමාලි කාමරෙන් එලියට ඔලුව දාලා බැලුවා.

සවින්දි මූණ පුම්බාගෙන.කෙල්ල එහෙම කම්මුල් පුම්බන්නේ කන්න බෑ කියලා කියන්න.අදත් ආත්තම්මයි දෝණි පටන් අරන් රණ්ඩුව.

"ඔහොම කාලා ගිහින් ඉස්සරවෙලාම දවසේ ඉස්කෝලෙදි ක්ලන්තයක්වත් දැම්මොත් තේරෙයි.." රමණි බොරු තරහක් මවාගෙන කියනවා.😒

"ආච්චී අම්මට කන්න බෑලු ද අම්මෙ" 😘

"කිරිබත් කටවල් පහක් කවාගත්තා .. ඒකත් බලේට"

අලුත්ම අලුත් රැලි රැලි සුදු ගවුමට අලුත් සපත්තු දෙකත් දාගෙන කොණ්ඩෙ පැත්තට පීරලා පුටුව උඩට වෙලා කකුල් පද්ද පද්ද ඉන්න සවින්දි, අමාලිව අමාලිගේ අතීතෙට අරන් යනවා..

සවින්දි ගෙවල් ගාව ඉස්කෝලෙට දාමු කියන යෝජනාව අමන්ද ගේ.ඒත් අමාලිට ඕනෙ උනේ කෙල්ලව කොහොමහරි හොඳ ගර්ස්කූල් එකකට දාගන්න..එතකොට බයක් නෑ.අතරමැද්දෙන් එහෙ මෙහේ දාන්න කරදරේකුත් නෑ.අනික එතකොට  කොයි වෙලෙත් තමන්ගෙ දුවගෙ ඉස්කෝල වරුණාව කියවන මිසිස්.ආරියරත්නගෙ කටත් වැහෙයි..කොහෙද ඉතින්... 😏
       ඒත් අමන්දටයි,අමාලිගේ අම්මටයි ,තාත්තටයි ඕනෑ වුනේම කෙල්ලව ගේ ගාව ඉස්කෝලෙට දාන්න.අමාලිගේ මුල්ම පාසල.නිකන් බොරුවට මේ පොඩි කෙල්ලව මහන්සි නොකර ඉන්න කියලයි අම්මා අමාලිට කිව්වෙ.අනික ඉතින් සවින්දිව ඉස්කෝලෙ එක්කන් එන යන ඒවා සේරම කරන්න ආච්චිලා සීයලා පැනලම බාරගත්තු නිසා අන්තිමට අමාලිත් ඒ අදහසට එකඟ වුනා.

අද මුලින්ම සවින්දි ඉස්කෝලෙ යන දවස.  

"ආ ... මේ ඉන්නෙ මගේ ආච්චි අම්මා ශෝයී එකට.. " ඒ හඬ අමන්ද ගෙ. වයසට වඩා පැහුණු කතා කියන සවින්දිට අමන්ද කියන්නෙ ආච්චි අම්මා කියල. 😂

තුන් දෙනත් එක්ක ලක ලෑස්ති වෙලා වාහානේම ඉස්කෝලෙ ගාවට ආවා.අලුතෙන්ම ළමයි බාරදෙන්න ආපු අම්මලා තාත්තලා, චූටි චූටි සිඟිති පැටව් අලුත් සපත්තු,අලුත් ගවුම් ඇඳලා ඉස්සර වෙලාම ඉස්කෝලේ ඇවිත්.හැමෝගෙම අත්වල මල්පොකුරු.
    සවින්දි හිටියෙම තාත්තා ගෙ අතේ එල්ලිලා.එහෙම තමයි ඒ දෙන්නා.තාත්තායි දුවයි.. කෙල්ලට අම්මාව වගේ වගක් නෑ තාත්තා ඉන්නවනම්.☺️

     ඉස්කෝලේ සෑහෙන්න වෙනස් වෙලා.අවුරුදු විසි පහකටත් එහා කියන්නෙ සෑහෙන කාලයක් ඉතින්...තමන් මුලින්ම මේ අඹ ගස් හෙවණට ආපු හැටි අමාලිට අද වාගේ මතකයි.. හැමදාම උදේට මුරුක්කු සීයාගේ කඩේ ගාවට වෙලා චූටි අයියා අමාලි එනකම් බලන් ඉන්නවා.ඒ අමාලිව පන්තියට ඇරලවන්න.තාත්තා අමාලිව ඉස්කෝලෙ ඉස්සරහින් බස්සලා වැඩට යනවා. ⌚️

හැමදාම උදේට තාත්තා ගියාම අමාලි කරන්නෙ අයියාගෙ අතින් අදින එක.ඒ මුරුක්කු සීයාගෙන් මුරුක්කු ඉල්ලලා.එතකොට අයියා කියන්නෙ නම්
 "සුදූ හවසට" කියල. ⛅️

   හවසට අරන් දෙන්නම් කිව්වට අමාලිට මුරුක්කු අරන් දෙන්න අයියාට එන්න වෙන්නෙ නෑ.අයියලාගෙ පන්ති ඇරෙන්නෙ අමාලිට ගොඩක් පස්සෙ. ඉතින් ඉස්කෝලෙට ගිය දවසෙ ඉඳන් කොච්චර ආසා වුනත් අමාලිට මුරුක්කු අත්තගේ මුරුක්කු කන්න ලැබුනෙ නෑ.

මුරුක්කු අත්තා ,නැත්තන් ළමයි කිව්වෙ මුරුක්කු සීයා හිටියේ ඉස්කෝලේ ඉස්සරහා පොඩි මඩුවක.ඒක වටේට කොට මැටි බිත්ති වලින් බැඳලා පොල් අතු හෙවිලි කරලා තිබ්බ පොඩි මඩුවක්.මුරුක්කු අත්තා ගාව රසම රස මුරුක්කු තිබ්බා.බෝල මුරුක්කු!! 🍡

ජීවිතේට මුරුක්කු කියල දෙයක් කාලා නොතිබ්බ අමාලිට ඉන්ටවල් එකටයි,ඉස්කෝලේ ඇරෙන වෙලාවටයි ළමයි පොරකකා ගිහින් උලක් තියෙන කඩදාසියක් ඇතුලෙ තියන් කන ඒ කෑම මොකද්ද බලන්න තිබ්බෙ ලොකු උනන්දුවක්.😌

   රුපියල් 5ක් දුන්නම ඒ කාලේ බටිති පත්තරේ වගේ සයිස් කොලේකින් හදපු ගොට්ටකට තමයි මුරුක්කු අත්තා මුරුක්කු දෙන්නෙ.එහෙම හදලා පිලිවෙලට තියපු ගොටු ගොඩාක් ඉන්ටවල් එක වෙද්දි මුරුක්කු අත්තගේ කඩේ තියල තියෙනවා.ඒත් ඒ ගොටු ටිකට කරන්න පුලුවන් දෙයක් නෑ.ඒ සේරම සුටුස් කියද්දි ඉවරයි.ඉතින් යටින් ඇදල ගත්තු ලොකු ඉටි කවරෙකින් මුරුක්කු අරගෙන ගොටුවලට පුරවලා සීයා ඉස්කෝලේ ළමයින්ට මුරුක්කු විකුණනවා.😊

  මුරුක්කු අත්තා ගාව මුරුක්කු විතරක් නෙවෙයි.සුදු පාට බෝතල් වල දාපු ටොපි, සීනී බෝල , කිසස් , විස්කිරිඤ්ඤා පවා තිබ්බා.ඒත් ළමයි වැඩියෙන් ආසා කලේ මුරුක්කු වලට.

  අමාලිට අදත් මුරුක්කු සීයාව අපහැදිලි ඡායාරූපයක් වගේ හිතේ කොනක ඇඳිලා තියෙනවා.ඉරි ඉරි සරමකට සුදු පාට වගේ දියවෙච්ච කමිසයක් ඇඳලා මදක් කුදු ගැහුණු සීයගෙ කොන්ඩෙ සුදුම සුදුයි.අව්වට වැස්සට ඔට්ටුවෙලාම කලු ගැහිලා නහර පෑදුණු අත පය තමා සීයට තිබ්බෙ.කටේ ඉස්සරහ දත් දෙක තුනක් ඉතුරු උනු සීයගේ මූනේ සතුටින් හිනාවෙනකොට අමුතුම සිරියාවන්ත ගතියක් තිබ්බා.සීයගෙ අත් කලුයි.ඉතින් මුරුක්කු ඉල්ලලා නාහෙන් අඬන හැම දවසකම අමාලිගෙ තාත්තා අමාලිට කියන්නෙ මෙහෙම..

" දැක්කා නේද ඒ මනුස්සයගෙ අත්.ඒවාගෙ පාට.??ඒ අත්වල කුණු පිරිලා.කන්නෙ එහෙම නෑ එතනින් කඩචෝරු යාලුවො දුන්නත්.බඩේ අමාරු එහෙම හදාගන්න " 😒

        ඔය කියන තරම් ඒ අත්වල කුණු තියෙන්න නැතුව ඇති.😏ආදරෙන් පොඩි උන්ට කඩචෝරු විකුණපු සීයා අද මතක් කරද්දි අමාලිට එහෙම හිතුනා.

    අන්තිමට සියලු බාධක බිඳ දාලා සීයාගෙන් මුරුක්කු කන්න විදියක් අමාලිට පෑදුනා.ඒ කාලේ ගමෙන්ම ටෙලිෆොන් තිබ්බෙ ගෙවල් දෙක තුනක විතරයි.ඒකෙන් ප්‍රයෝජන ගත්තු අමාලිගේ තාත්තා ගෙදරින් පිට අයට දුරකථන ඇමතුම් ගන්න වෙන දුරකථනයක් ගෙනාවා.ඒකෙන් හම්බෙන සල්ලි දාපු පෙට්ටියෙන් දවස ගානේ රුපියල් පහ පහ අඩුවෙන වග තාත්තා දැනන් හිටියෙ නෑ.. 😆
     කාලේ ගෙවිලා ගියා.වෙරළු අච්චාරු,අන්නාසි අච්චාරු,අඹ වාරෙට අඹ අච්චාරුත් ඉඩ ලැබෙන විදියට සීයගේ පොඩි කඩේ ඇතුලෙ විකිණුනා.අයියා නිවාඩුවට හදල දීපු සෙල්ලම් ගෙදරත් මුරුක්කු අත්තාගෙ කඩේ වගේ හින්දා අමාලිත් ඒ සෙල්ලම් ගෙදර කඩයක් කරගෙන මුරුක්කු විකුණන සෙල්ලම කලා.

     එක දවසක් හදිසියේම ගෙදර ආපු අමාලිගෙ අම්මා කිව්වෙ අමාලිට අලුත් ඉස්කෝලෙකට යන්න ලෑස්ති වෙන්න කියලා.තුන වසරෙන්ම අමාරුවෙන් ටවුමෙ ඉස්කෝලෙකට යන්න අමාලිට අවස්ථාව ලැබුනා.පරණ ඉස්කෝලෙ,ආදරණීය ගුරුතුමී,යාලුවො වගේම මුරුක්කු අත්තාගෙ මුරුක්කු දාලා යන්න බැරුව අමාලි බිම හැපි හැපි ඇඬුවත් ඒවා අහන්න කවුරුත් හිටියෙ නෑ.අන්තිමට අමාලිට ඉස්කෝලෙන් යන්න උනා.ඒ තමයි අමාලි මුරුක්කු අත්තා දැකපු අන්තිම පාර..

"ඔයා මොනවද මෙතන කරන්නෙ?? " ඒ අමන්ද

අවුරුදු විස්සකටත් එහා අතීතෙ හිටපු අමාලි වර්තමානෙට ආවේ ඒ හඬින්.

"දුවව පන්තියට දාන්න යන්.. ඔයාගේ ටීචර් බලාගෙන ඇති " අමන්ද හිනා වුනා.😌

   පත්වීම් අරන් ආපු දා ඉඳන් ගමේ ඉස්කෝලෙටම සින්න වුනු මාලතී මිස් විශ්‍රාම යන්නෙත් ඒ ඉස්කෝලෙමද කොහෙද..ඒ පැත්තෙ බාගෙට බාගයක් හිටියෙ මිස්ගෙන් අ යන්න ,ආ යන්න කියවන්න ඉගෙනගත්තු මිස්ගෙ ගෝලයො.අද බාරදෙන පරම්පරාවේ අම්මලා තාත්තලටත් අ යන්න කියන්න ඉගැන්නුවෙ මාලතී මිස්.
   සවින්දි ව පන්තියෙ තියලා කෙල්ල අඬන්නෑ කියලා ෂුවර් කරගත්තට පස්සෙ අමාලි එලියට ආවා.
     අන්තිම පාරට මිස්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා අඬාගෙන ඉස්කෝලෙන් එලියට බැහැපු හැටි අමාලිට මතකයි.ඒ එනගමන් අන්තිම පාරට මුරුක්කු අත්තාගෙන් පහේ මුරුක්කු ගොට්ටක් ගන්නකොට ආයේ මේ මුරුක්කු කන්න නොලැබෙන වග හිතිලා ඒ කාලේ අමාලි ඒකටත් ඇඬුවා.😢
    කඳුලු පෙරන පොඩි කෙල්ලගෙ අතට මුරුක්කු ගොට්ට දීලා දත් නැති කටෙන් හිනාවෙලා හොඳට ඉගෙනගන්න කියල කියපු මුරුක්කු අත්තාට තමන්ගේ එක යාව ජීව පාරිබෝගිකයෙක් අහිමි වුනේ එහෙම..
     ඊට ටික කාලෙකට පස්සෙ මුරුක්කු අත්තාගෙ බයිසිකලේ ඉස්කෝලේ ඉස්සරහදිම කාර් එකකින් හප්පන් ගියා කියලා රාවයක් ගියා.අමාලිගෙ මතකේ හරි නම් ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඒ අහිංසක හිනාවත් අරන් මුරුක්කු විකුණන්න සීයා ආපහු ඇවිල්ලා තිබ්බෙ නෑ.. සීයාට අසනීප ඇති පුතේ කියල විතරමයි අහපු හැම වෙලාවෙම තාත්තා අමාලිට කිව්වෙ.

"අමාලි.." ඒ හඬට අමාලි හැරිල බැලුවා.

ඒ හිටියෙ මදූෂා.අමාලිගෙ ක්ලාස්මේට්.
"දුවව ඉස්කෝලෙට බාර දෙන්න ආවද?? "

"ඔව් අනේ.. එක වසරට.අපේ පන්තියෙමයි." අමාලි හිනාවෙලා කිව්ව.
"ඉතින් මෙතන.. ?? " 😕
"අමන්ද එනකම්.. "
"ආ.." 😊
"මේ මධූ... ඔයාට මතකද මුරුක්කු අත්තා..එයාට මොකද වුනේ..?? මන් ඉස්කෝලෙන් ගියාට පස්සෙ එයා ඇක්සිඩන්ට් උනා කියල ආරංචි උනා.. දැන් නම් නැතුවත් ඇති නේද.." 😕 තවමත් අමාලි ඉන්නෙ ඒ සිහියෙන්..

"ආ... ඒ දවස්වලමයි ඒ සීයා නැති උනෙ.අපි ගොඩක් පොඩිනෙ.. එයා හිටියෙ අපෙ නැන්දලගෙ ගෙවල් පැත්තෙ.පව් ... අසරණ මනුස්සයා.. එතනමලු" 😒

"එතනමලු කිව්වෙ ?? "

"උදේ ඉස්කෝලෙට එන්න ආපු සීයාව හප්පලා තිබ්බෙ අර අතන.. මුරුක්කු අත්තා එතනම මැරිලා.ඉස්කෝලෙ දිහා බලන්මද කොහෙද පණ ගිහින් තිබ්බෙ "😕 වගක් නැතිවම කියවන මධුෂා දිහා ගල් ගැහිලා වගෙ අමාලි බලන් හිටියා.

ටවුන් ඉස්කෝලෙන් පස්සෙ ශිෂ්‍යත්වෙ පාස්වෙලා දුර බැහැර ගර්ල්ස්කූල් එකකට යද්දිත් දැකපු අව්වට වැස්සට ටික ටික ගරා වැටී වැටී හේදී හේදී ගිය මුරුක්කු අත්තගේ පුංචි කඩේ අන්තිමට තිබ්බ හැටි ගැන රූපයක් අමාලිගෙ හිතේ ඇඳුනා. 😢

   පස්සෙ කාලෙක  මුරුක්කු අත්තාගෙ ගරා වැටුනු කඩේ අයින් කරලා දැන් එතන තමා ඉස්කෝලේ ගේට්ටුව හදලා තියෙන්නෙ...දැන් ඉන්න කවුරුත්ම මුරුක්කු අත්තා ගැන දන්නෑ.මතකත් නෑ.. ඒත් හරි ආදරෙන් පොඩි එවුන්ට අච්චාරු විකුණලා කාත් කවුරුත් නැති ජීවිතේ ගෙවාගන්න කීයක් හරි හොයා ගත්තු මුරුක්කු අත්තාගේ ආත්මේ මේ අහල පහලක තාම ඇති කියල වගේ වගේ විකාර සිතිවිල්ලක් අමාලිට ඒ වෙලාවේ ආවා.ඒත් එක්කම දත් නැති මන්දහාසයක් දෙන අව්වට වැස්සට වියපත් වුනු ඒ සුන්දර දෑස වැහිදාක බොඳ වුනු සිත්තමක් වගේ අමාලිගේ දෑස් ඉස්සරහ ඇඳීලා මැකිලා ගියා. ☺️

_මානි _ ✒️

Thursday, January 25, 2018

"හතර කේන්දර" 📝✒️

"සර්ලට මොනවද ගේන්නෙ?? "

දීර්ඝ නිහැඩියාවක් බිඳපු වේටර් ගේ හඩින් පියවි සිහියට ආපු දෙනුවන් මෙච්චර වෙලා මහ පාරේ යන වාහාන ගණන් කරපු ඇස් දෙක කරකවලා වේටර් දිහා බැලුවා.
 
"ම්..මොකද්ද..?? "

"සර්ලට මොනවද  ගේන්නේ..?? "

"ආ.. ම්ම්.. ඔරේන්ජ් ජූස්?? " ප්‍රශ්නාර්ථ දෑසෙන් කමක් නැති දැයි  විමසා  හෙලපු  දෙනුවන්ගෙ බැල්මට ඇය මුකුත් නොකියම ඔලුව වැනුවා.

"ඔරේන්ජ් ජූස් දෙකක් මල්ලී "

තමන්ගෙ පිලිතුර සටහනක් දමාගෙන ඈතට ඇදෙන වේටර් දිහා හිස් බැල්මක් යොමාගෙන හිටපු දෙනුවන් අන්තිමට  මේ නිහැඬියාව බිඳලා දාන්න  හිත හදාගත්තා..

"ඉතින්..??"

ආපු වෙලාවේ ඉඳලම මොනවත් නොකියා හිස් බැල්මක් වීදුරුවට එපිට ඈතින් පේන නුගේගොඩ අහසට හෙලාගෙන හිටපු සඳසි අන්තිමට දෙනුවන් දිහා බලලා මද සිනාවක් පෑවා.

"ඉන්නව ඉතින්.." 🙂

"අම්මලා හොඳින්ද?? " ඔහු ආයෙමත්..

"විශේෂ හොඳක් කියලා නෑ.. එයාලත් ඉන්නව ඉතින්.." සඳසි  පිලිතුරු දෙනවා..

"හ්ම්ම්.. මට සමාවෙන්න.. " 😕

අන්න එතකොට නම් මෙච්චර වෙලා තිබ්බ හිස් බැල්ම පැත්තකින් තියලා සඳසි ඇහි බැමි දෙක ඉස්සුවා..

"ඒ මොකටද?? " ප්‍රශ්නාර්ථයක්!! 😕

"ෆියුනරල් එකට එන්න බැරි උනාට.. 😒 මට ළහිරුගෙ මෙසේජ් එක් ආවෙ හුඟක් ලේට් වෙලා.. ඒ දවස් ටිකේම අපි ටවුන් එකෙන් හුඟක් ඈත හිටියෙ.. එ හරියට සිග්නල් අවුල්.. අනික් ඔයා දන්නවනේ සඳසි.. මං ට්‍රැවල් කරන්න ගියාම...

"ෆෝන් චෙක් කරන්නෑ.. මෙසෙජ් බලන්නෑ .. අඩුම ගානේ ඔන්ලයින්වත් නෑ.. ඔව් මන් දන්නවා.." දෙනුවන්ගේ කොටස සඳසි සම්පූර්ණ කලා. 😊

"හ්ම්ම්ම්... අයැම් සො සොරි " එහෙම කියලා ඔහු යටි තොල හපාගෙන ඇස් දෙක හීනි කරලා සඳසිට බැල්මක් හෙලුවා.ඒකෙ තිබ්බෙ පසුතැවීමක්.සඳසි හිනා වුනා.

"නෑ..ඒකට කමක් නෑ දෙනුවන්.අනික ඔයා ආවා කියලා මට සහන්ව ආයේ ලැබෙන්නේ නෑනේ.ඒකට කමක් නෑ ඉතින්.."ආයෙමත් අර හිනාව.. 🙂

දෙනුවන් ට ඒක පුරුදු යි.සඳසිගේ ඒ හිනාව කියවන්න පුලුවන් අය මේ ලෝකේ හුඟක් අඩුයි..ඒ හිනාව හරියට ඇතුලෙන් පෑරිලා තියෙන තුවාලෙක උඩින් හැදුනු කබොලක් වගේ..වේදනාව වහගෙන හිනාවෙන..

"හ්ම්ම්.."

"හ්ම්ම්.." දිග හුස්මක් එක්ක සඳසි ඉවත බලාගත්තා.
 
බොහොම දරුණු විදියට ඉර රැස් කෝපාන්විත බැලුම් හෙලන මද්‍දහනට ඔන්න මෙන්න කියලා හෙමින් හෙමින් නුගේගොඩ පසුකරන් ඇදෙන රථ වාහාන පේලි දිහා ආයෙමත් දෙනුවන් බැලුවා.කලර් ලයිට් එක් ලඟ තදබදය.. එහෙට මෙහෙට ඇදෙන මිනිස්සු..වාහාන..ඊටම හරියන්න රවන ගොරවන චන්ඩ හිරු රැස්..!! 🌞සමහර වෙලාවට ජීවිතේ තියෙන කාෂ්ටක ගතිය ඉඳහිට වැටෙන වැහි වලට යවන්න බෑ..

"ඔයා කවදද ආපහු යන්නෙ?? " සඳසි අහනවා..

"තව සති දෙකකින් විතර.." 😊
"ආයෙමත් ෆ්‍රාන්ස් ද?? "

"ම්හ්.. නෑ මේ පාර යුරොප්.. එහෙ ඉතුරු උනු වැඩ වගයක් තියෙනවා.. ඒකෙන් පස්සෙ ආයෙම UK එනවා.." 😊

"ම්ම්ම් එතකොට තරිනි?? "🙂

"තරිනිට ඉන්න වෙනවා ටික කාලයක්.. ඔයා දන්නවනේ.. බබාත් එක්ක එයාට තවම එහේ මෙහේ යන්න බෑනේ.." දෙනුවන් කිව්වා.

"ම්ම්ම්..ඔව්නේ නේද..??" සඳසි ආයෙම හිනාවුනා.. ඒක තමන් එපා කියල පයින් ගහපු ජීවිතය.. පයින් ගැහුවමත් නෙවෙයි.. අපි කියමුකො කරගන්න දෙයක් නැති කමට පයින් ගහපු එකක් කියලා..
    
 දෙනුවන්ව සඳසිට මුණ ගැහෙන්නේ මීට අවුරුදු ගානකට කලින් තිබුනු ඡායාරූපකරණය ගැන වැඩමුලුවකදි.ලංකාවේ හතර අතේ විහිදුනු සුන්දර දසුන් හොයාගෙන ගියපු ෆොටොග්‍රැෆි කෑම්ප් එකක දී..බොහොම උද්‍යෝගිමත් විදියට ලෝකේ වටේම සුන්දර තැන් තමන්ගේ කාචයට අසු කරගන්න හීන දැකපු අනාගත ඡායාරූප ශිල්පියො දෙන්නෙක් උනු සඳසිත්,දෙනුවනුත් ඒ  කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයො දෙන්නෙක් විතරයි..

  කාලයාගේ ඇවෑමෙන් දෙන්නට දෙන්නා නැතුව බැරි වෙනකොට මේ දේවල් ගැන ගෙවල් වලට කියන්නයි මේ දෙන්නට ඕනෑ වුනේ.. අන්න එතනදී...

"සර් බිල් එක.. " ආයේමත් වේටර් මලයා.. 📝

උගුරෙන් උගුර හිමීට උඩට ඇදෙන බීම එක් දිහා බලන් කල්පනාවේ ගාල් වුනු සඳසි  මේ ලෝකෙට ආවා. දෙනුවන්ගෙ ඇස් තවමත් ඇය ගාව..

"ඔයතරමට කල්පනා කරන්න එපා ළමයෝ.. ජීවිතේ හැටි ඔහොම තමයි.. අපි ඒකට මුණ දෙන්න ඕනී.. ඔයාට අපි ඉන්නවනෙ.. " දෙනුවන් කිව්වෙ සඳසිගෙ නිහඬ කල්පනාව බලන් ඉන්න බැරුව..
ආව වෙලාවෙ ඉඳලා දෙන්නත් එක්ක කතා කරනවට වඩා කලේ කල්පනා කරපු එක කියලයි දෙනුවන්ට නම් දැනුනේ..

"පහුගිය අවුරුදු ගානටම මට කියල එහෙමට කවුරුත් හිටියෙ නෑ දෙනුවන්.. ගෙදර උනත්.. පවුල උනත් .. එයාලට ඕනි උනේ මාව කාට හරි දීලා නිදහස් වෙන්න.. අන්තිමට මන් වෙනුවෙන් ඉන්නව කිව්ව කෙනත් ගියා.. දැන් ඉතින් කවුද?? " බීම බටය  වීදුරුව ඇතුලේ කරකවමින් සඳසි කියනවා.. 🙂

"සහන් ඔයාට ආදරේ කලා සඳසි ..."
"ඒක මන් දන්නවා.. නැත්තං අතීතයක් ඔලුව උඩ තියාගෙන ජීවත් වෙච්ච මං එක්ක එච්චර ඉවසන්නෙ කවුද.. ප්‍රපොසල් එකක් උනත්.. සහන් හොඳ කෙනෙක්.." සඳසිගෙ ඇස් වල කඳුලු..

දෙනුවන් බිම බලා ගත්තා.. ඒ සඳසි අඬනවා බලන්න බැරුව නෙමෙයි. සඳසි අඬනවා දෙනුවන් ඕනි තරම් දැකලා තියෙනවා.දෙනුවන්ගෙ අම්මා සඳසි ට අකමැති උනු වෙලාවේ.. අම්මා සඳසිට කිව්වෙ මට මගෙ කොල්ලා මරාගන්න බෑ කියලා..ඒ හින්දා සම්බන්ධකම නවත්තන්න කියලා..
  ඇයි ඉතින් සේරටම කලින් කේන්දරේ ඔලුවේ තියාගත්තු දෙනුවන්ගෙ අම්මලා සඳසිගෙ සැමියාගෙ අකල් මරණයක් ගැන කියවුනු අනාවැකිය මහ ඉහලින් පිලිඅරගෙන තිබුණෙ.
   අන්තිමට දෙනුවන්ගෙ හොඳට කියල සඳසි දෙනුවන්ව තමන්ගෙන් ඈත් කලාම කලකිරුණු දෙනුවන් ලංකාවෙන් යන්න ගියා.. සඳසි දෙනුවන්ගෙ මතක එක්ක එයාගේ ජීවිතේ තනි උනා..

  ඊටත් පස්සෙ අවුරුදු ගානකින් දෙනුවන් සඳසිව හොයාගන්නකොට සඳසි විවාහ වෙලා.ඒ සහන් එක්ක..අන්තිමට දෙමව්පියන්ගෙ තීරණයට හිස නමලා තරිනි එක්ක විවාහ වුනු සහන් දැන් එක පුංචි පුතෙක්ගේ ආදරණීය තාත්තා කෙනෙක්..

සඳසිට දරුවෝ හිටියෙ නෑ.. දෙනුවන්ගෙ අහිමිවීම එක්ක ලොකු මානසික ඝට්ටනයක හිටපු සඳසිට සහන් කැමති වුනේ සඳසි ලස්සන අහිංසක කෙනෙක් නිසා.. ඔය කේන්දර ගැන වැඩිය නොබලපු සහන්ලා පවුලේම හිතවත්තු නිසා අන්තිමට සඳසිත් ඒ යෝජනාවට කැමති වෙලා තිබුනා.. කාලේ හිමීට ගෙවිලා ගියා..අන්තිමට සහන් රිය අනතුරක් නිසා සඳසිගෙන් වෙන්වුනා.

"දෙනුවන්..ඇයි ඔයා ...ඇයි මට එන්න කියල කිව්වෙ..??"

"නිකම්.. ඔයාව බලන්න ඕනී වුනු නිසා.."

ඒ කතාවට සඳසිගෙ මුහුනෙ ඇඳුනෙ හදිසි හිනාවක්.

"ඇයි..?? "

"මෙච්චර කාලෙකට පස්සෙ .. ?? " ඒ හඬ සමච්චලයක් !!

"මට ගෙදරට එන්න තිබුනා.. ඒත් ආයෙම හිතුනා මෙහෙම හම්බෙනවා කියලා.. තරිනිත් එක්ක මන් ගෙදර ඇවිත් යන්න එන්නම් " දෙනුවන් සිනාවක් පෑවා..
"ම්ම්.. "

"ඔයා මොනවද කරන්න හිතන් ඉන්නෙ දැන්.. ??"

"මොකුත් නෑ.. සහන්ලගේ අම්මලාත් අපේ ගෙදරට ගෙන්නා ගත්තා.. මං ඒ දෙගොල්ලොම බලන් ඉන්නවා ඉතින්.. මැරෙනකම්"

ඒ කටහඬේ තිබ්බෙ දුකක් එක්ක කැටි උනු තරහක්.එක් දෙනුවන් අඳුරනවා.
"එච්චරද.. ?? "
"ඔව් එච්චරයි .. මට සහන් වෙනුවෙන් කරන්න පුලුවන් දේ.. මං ඒක කරනවා.. "

"හ්ම්ම්.." 🙂
"ඔයා ඔය නැගිට්ටෙ යන්නද?? " දෙනුවන් විමතියෙන් බැලුවා.

"ඔව්... අම්මට බේත් වගයක් ගන්න තියෙනවා .. ඒක අරන් මන් ගෙදර යන්න ඕනේ.. අම්මලා බලන් ඇති.."

"ම්ම් එහෙමද ...හරි එහෙනම්.." දෙනුවන් නැගිට්ටා..
  
ආදරේ කරන්නත් බැරි මිතුරන් වෙන්නත් බැරි ඒ අමුත්ත හිත් වල එබිකම් කරද්දී දෙනුවන් සඳසිට සිය අත දිගු කලා.හරියටම මීට අවුරුදු ගානකට කලින්... මෙතනදිම මේ වගේම..

සඳසිට ඒක මතකයි.. එදා දෙනුවන්ගෙ ඇස්වල තිබ්බෙ දුකක් නං අද තිබ්බෙ අනුකම්පාවක්.. සඳසි හිටියෙ එදා වගේම හිස් බැල්මෙන්..

"සී යූ දෙන්.. ටේක් කෙයා " දෙනුවන් කිව්වා..

සඳසි ඒ අත අල්ලා ගත්තේ නෑ.. බෑග් එකත් අරගෙන ඔහු ලඟට ආපු සඳසි දෙනුවන්ගේ ඇස් දෙකට එක ගැඹුරු බැල්මක් හෙලුවා .. ඊට පස්සේ ආයෙමත් අර කියවාගන්න බැරි හිනාව...

"කේන්දරේ මගේ ගැන කිව්ව කතාව හරි අයියේ.. සහන් මැරුණා.. ඒ ඔයා නොවුනු එක ගැන මට සතුටුයි.. යන්නම් " 🙂

ආයෙමත් අර දහසකුත් එකක් දේ කියවුනු ගැඹුරු බැල්ම... 

ඊලඟට හිනාව...🙂

මොකද්දෝ අමුත්තක් හිත් පතුලේ කොහෙදෝ තැනක් හෙමිහිට හෙමිහිට කොනිත්තද්දී අවන්හලෙන් ඇසී නැසී මැකී යන සඳසිගේ රූපය දිහා දෙනුවන් හිස් බැල්මකින් බලාගෙන හිටියා.

#මානි ✒️