Sunday, April 29, 2018

වෙසක් සඳ

කිසිම හැලහොල්මනක් නැතුව ගෙවෙන පෝදා හැන්දෑවල් වලට මන් හරි කැමතියි. පාර අයිනේ ගෙදරක ඉඳන් , වෙලාවකට වාහන යන්නෙ පාරෙද ,නැත්තං අපේ ගෙදර වහලෙ උඩින්ද කියල හිතාගන්න බැරි හැන්දෑවල් වලට වඩා පෝයකට ලබන හැන්දෑව ටිකක් වෙනස්. අදත් එහෙම දවසක්..

ඔව් වෙසක් පෝය තමයි..!!

ඒත් අද වාහන අඩු දවසක්.උපන්දා ඉඳන් කනට හුරු උනු සද්දෙක අඩු පාඩු ගතියක් අද තියෙනවා.. නිවී සැනසිල්ලේ හඳ බලන්න නම් බැහැ.. හඳ වැහිලා ගිහින්.. කලු වලාකුලු තොමෝ උඩ ඉඳන් අහසත් අපිත් අතර පාරාවළල්ලක් බැඳලා.. ඒත් පරිසරය නිස්කලංකයි.. ඉතින් මේ අහස යට නිවාඩුපාඩුව කල්පනා ලෝකයක් ගොඩනගා ගන්න බැරිම නෑ..
වැහි දෙයියන්ට බයවෙලා හතර වටේ හුඟක් ගෙවල් වල වෙනදා තියෙන වෙසක් අද නැහැ.. අපෙ ගෙදරත් මුකුත් ඇති නැති ගාන.. එහෙම දවසකට නිසංසල බවේ විවිධ පරාසයන් ඇතුලේ වෙනස් වෙන පාරක් අයිනේ නිසොල්මනේ ඉඳගෙන කල්පනා ගමන් යන එක වෙනම ආතල් එකක්.. ඔව් .. මේ සද්ද බද්ද අස්සෙත් මට පුලුවන් හීන දකින්න.. 💜

මේ වගේ පුර පසලොස්වක පෝය දවසකට අපේ වත්ත පිටිපස්සෙ තියෙන ගස් වකාරෙට එහායින් හඳ පායන හින්ද හුඟක් රෑ වෙනකන් අපට පැහැදිලි හඳක් පේන්නේ නැහැ.. හඳ හාමිගේ ඇත්තම ලස්සන දකින්න නම් රෑ 11ට 12ට හඳ මිදුලට මුදුන් වෙනකම්ම ඉන්න ඕනේ.. සඳ මිදුලට එන්නේ ඒ වෙලාවට.. 😊 සමහර දාට අපි තුන්දෙනා මුලු ගෙදරම ලයිට් නිවලා ඒ දිලිසෙන හඳ එලිය විඳිමින් මිදුලට වෙලා ඉන්නවා...

පෝය දා පුරහඳ හරියට මුලු ලෝකෙටම උඩින් පත්තු කරපු මනස්කාන්ත එලි විහිදුවන ලොකු විදුලි බුබුලක් වගේ.. ඒ තරම් එලියක්.. ඒ එලියට මතුවෙලා ගෙයි මිදුලේ සිත්තම් අඳින අපේ වත්තෙ උස පොල්ගස් වල හෙවනැලි මට හැමදාම දෙන්නෙ පුදුම අද්භූතජනක සතුටක්.. අන්න ඒ වෙලාවට ඒ පොල් ගස් මුදුනකට වෙලා හඳ එලිය ඇතිවෙනකන් නාන්න මට හිතෙනවා...

පුංචිම කාලේ දවස් වල හැන්දෑවල් වලට ගෙදර ලයිට් නිවල මාව ඔඩොක්කුවෙ තියාගෙන තාත්තා මට අහස පෙන්නනවා..ඒ කාලේ මම කලුවර ට බය කෙල්ලෙක්..එක දවසක් හුලඟට හෙලවුනු පින්න ගහක් දිහා කලුවරේ බලන් ඉඳල එතන අවතාර ඉන්නවා කියල අඬපු...ඒත් කලුවරට ආදරේ වෙන්න ගත්තට පස්සෙ ලැබෙන්නේ  ඒ අත්භූත සතුට අඳුරගත්තු කෙල්ලක්..

එහෙම ඉන්න වෙලාවට අත්තා ගැන,ගෙදරම්මා ගැන,කුප්පි ලාම්පුවෙන් එලියවුනු ඒ කාලේ ජීවිත ගැන තාත්තා මගෙත් එක්ක කියනවා.. ඉස්සර මිනිස්සු හඳ පානේ ගමන් ගිය හැටි ගැන,අත්තලා පාන්දර හඳ එලියෙන් පයින්ම මීගමු ගියපු ගමන් ගැන, පාර අයිනෙ ගෙයක් දෙකක් තිබුනු ඒ කාලේ කරත්තයක් දෙකක් ,ඊටත් පස්සෙ ඉඳහිට කොලඹ ඉඳන් ගිරිඋල්ලට යන බස් ගැන කතන්දරත් මට කියනවා.. හඳ එලියෙන් බැබලෙන මිදුලක හීනියට අඩි තිය තිය මමත් මගේ අක් මුල් ගිය තැන් ගැන කතන්දර අහනවා..

ඒ චිත්‍රය හරිම ලස්සනයි.. මම ඉන්නෙ තාත්තගෙ උකුලේ.. ඉස්කෝලෙ වැඩ ඉවර උනු හැන්දෑවලට අම්මත් අපි එක්ක.. ගෙයි ඉස්සරහ පඩියක ඉඳගෙන අපි රෑ වෙනකන් හඳ එලියේ කතන්දර කියනවා.. ඒ වෙලාවට මගේ ඔලුවට උඩින් රවුම් මූණක් තියාගෙන, තාත්තෙක් ගෙ කතන්දර අහන පුංචි කෙල්ලෙක් දිහා හඳ නිහඬවම බලාගෙන ඉන්නවා. මේ ලියන දැනුත් ඔහු එතන එහෙම්ම ඇති.හැබැයි වැහි වලාකුලකට වැහිලා.. 🌤

තාත්තගේ කතන්දර වලට හුමිටි තිය තිය මම හඳේ ඉන්න හාවගේ හැඩ හොයනවා.. ඒ හැම වෙලාවකම හඳ එලිය මකාගෙන මහ සද්දෙට අපේ පාරේ වාහන ලයිට් ගහගෙන යනවා.. වටපිටාව නිහඬ වීම මේ වගේ පලාතක සිහිනයක්..ඒත් අදත් ඒ හඳ එලිය යට ගෙවුනු කතන්දර හෝරාවන් මගේ හිත ඇතුලේ ඇති කරවන්නෙ මහා නිස්කලංක හැඟීමක් ..හරියට අපිත් හඳත් විතර ක් හිටියා වගේ..

තාත්තගෙ කතා අහන ගමන් හඳ දිහා බැලුවම මට පේන්නෙ හඳ මට හිනාවෙනවා කියල.. ඉඳහිට පුංචි වලාකුලකට වැහිලා ඉඟි බිඟි පාන හඳ මමත් එක්ක දුර ගමන් යන්න එනවා.. අපේ ජිවිත වල මොනතරම් දේ උඩට වෙලා ඉන්න හඳ දැකල ඇත්ද කියල ඒ වෙලාවට මම කල්පනා කරනවා..

තාත්තගේ කතන්දර වල ඉස්සර මිනිස්සු වැඩි හරියක් ගමන් ගියෙ පයින්..අනුරාධපුරය ,පොලොන්නරුවටත් පයින් ගිය මිනිස්සු ශ්‍රී පාදය වඳින්න යද්දි ඉඩකඩම් පවා ලියල තියල ගියාලු. අතුරු ආන්තරාවක් එහෙම උනොත් කාරිය කියල.. මේ හැම තැනකම හඳත්, තරුත් ඉන්න ඇති.. ඒ මිනිස්සුන්ගෙ ජීවිත වල හැම නැවතුමකම වගේ..
 
රෑට හුළුඅත්තක් පත්තු කරන් ගම පුරා හඳ එලියෙ කරක් ගහපු මිනිස්සු , අම්බලම් වල නැවතිලා හඳ එලියෙ උයාගෙන කාලා ගිමන් හරින මිනිස්සු.. ඒ මිනිස්සු ගිය ගිය හැම තැනකම හෙවනැල්ලක් වගේ හඳ ඉන්නම ඇති..

මේ ලෝකය බිහිවුනු හැටි.. මේ ලෝකයේ ආදරේ ඉපදුනු හැටි..දුක සතුට සොම්නසින් මේ ලෝකය පිරුනු හැටි, සියලු ශාස්තෲන්වහන්සේලාගෙ මග පෙන්විම් වලින් මිනිස්සු සැනසීමක් ලබපු හැටි හඳ දකින්න ඇති..

කාලයත් එක්ක මිනිස්සු වෙනස් වුනු හැටි, දුක් සුසුම් අඳෝනා වගේම ලෝකයක් හඬවපු ඛේදවාචක සිද්ද වෙච්ච හැටි ,නිහඬවම විනාසය වැලඳගනිමින් පරපුරෙන් පරපුර ගොඩ නැගෙන හැටි , මිනිස්සු දුසිරිතේ ගැලෙන හැටි.. එදා මෙදා සන්සන්දනය කර කර හඳ නිහඬවම විඳගන්නවා ඇති..

"අම්බිලි මාමේ ඔබ මොකද කරන්නෙ..
පුලුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ .."

 කියා කියා තමන්ට අඬ ගහමින් බහා තෝරපු පුංචි එවුන් ජීවිතේ පියවරෙන් පියවර වැඩෙන හැටි, මල් වාගෙ පිපිලා පරවෙන දවස වෙනකම්ම හඳ බලාගෙන ඉන්න ඇති..

 ඒ ඒ ජීවිත මංසන්ධි වල කාලෙක හඳ මාමත්, ආයෙම කාලෙක ප්‍රේමනීය හැඟුම් පොබ කරපු යොවුන් හඳත්, සුන්දරම ආදරනීය සැඳෑවන් වල නිහඬවම සතුට තිලින කරමිනුත් මදු සඳක් වගෙත් ඔහු ඉන්න ඇති.. හැම පින්බර පෝය හඳකම සිසිල සෙනෙහස අරන් තමන්ගෙ හෙවනේ ඉන්න දරුවො එක්ක ඔහු පන්සල් යන්න ඇති.. පින් රැස් කරගන්නත් ඇති..

අද වාගෙම අවුරුදු දහස් ගානක් බුදු හාමුදුරුවෝ හිටිය කාලෙත්,ඉන් පස්සෙත් හැම වෙසක් පෝයකමත් පින්බර සැඳෑවන් ගෙවෙන හැටි විඳගන්නත් ඇති...
ඒ දරුවෝ මිය ඇදෙද්දී ඔවුන් වෙනුවෙන් බිහිවුනු ඊලඟ පරපුර වෙනුවෙන් හඳ ඒ යුතුකම් ආයේ ආයෙම ඉටු කරන්නත් ඇති..

හරියට මගේ අත්තව මටත් වඩා දුටු ඒ හඳ , මම ඔහු ගැන විමසද්දි,අහද්දී එදා වාගෙම අදත් බලන් හිටියා වගේ..

මට ආසයි හඳක් වෙන්න.. ලෝකෙ මිනිස්සු වෙනස් වෙන හැටි උඩට වෙලා බලන් ඉන්න.. කිරි දරුවන්ගෙ සිහිනවල සුන්දර තැනක නවතින්න.. එක පැත්තකින් ඉර බැහැල අනික් පැත්තට ඉර පායද්දි කලබල අස්සෙ එහෙ මෙහෙ දුවන තමන්ගෙ ගමන් සගයා මත වෙසෙන මේ ජීවියො ටික දිහා පිටින් ඉඳන් බලන් ඉන්න.. ජීවිත වල දුක සතුට සම සිතින් විඳගෙන ජීවිතෙ පුදුමාකාර වෙනසකින් විඳින, දකින මිනිස්සු දැක ගන්න..

ඉරට මුවාවෙලා හිටියට රෑට මුලු අහසම අයිති කරගෙන තරු කුමරියො පිරිවරාගෙන මනමාලකම් කරනවා කියල රටේ ලෝකේ සුන්දරම හිත් තියෙන කවිකාර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න..
ජීවිතේ සුන්දරම ප්‍රථම ප්‍රේමය මුලින්ම මෝදු වෙන හිත් හඳ දිහා බලාගෙන දකින හීනවල කොනකට වෙලා සතුටෙන් හිනැහෙන්න..

විරහවෙන් ඉරි තැලුනු හදවත් තමන් දිහා බලාගෙන දුක කියන රාත්‍රින් වල ඔවුන්ගේ දුක ලඟම නවතින්න.. ඒ පාලුව තනිකමට ලඟින් ඉන්න..
ඇලදොල ,සතා සීපාව ට හොඳ ගමන් සගයෙක් වෙන්න..ඔවුන් බලාගන්න.. ඔවුන්ට පාර කියන්න..
කෙටියෙන්ම කිව්වොත් මේ ලෝකේ බිහිවුනු දා පටන් සිද්ද වුනු , සිද්ද වෙමින් තියෙන වාගේම ඉස්සරහටත් සිද්ද වෙන සෑම සියල්ලකම ඇසින් දුටු හොඳම සාක්ෂිකාරයා වෙන්න..
අපේ සමහරු වගේ තාරකාවන් එක්ක දකින සියලු දේ කිය කියා යන්න නම් නෙවෙ යි.. බොහෝ දේ විඳ දරාගෙන ලෝකයක් දිහා ශාන්තව බලා ඉන්න උපේක්ෂා සහගත ආත්මයක් වෙන්න...

නැවතීම කොතන දැයි නොදැන හැල්මේ දුවන ජීවිත කාලයත් එක්ක වෙනස් වෙන අරුමය විඳගන්න..
එදා මෙදා තුර සියලු දුක් දොම්නස් ඈත ඉඳන් දරාගන්න..

මිනිස්සුන්ට අමතක උනත් නිහඬවම නොවෙනස්ව ඔවුන් ලඟම රැඳෙන්න..
ලෝකය බිහි වූ දා පටන්ම සඳත් එක්ක සුන්දර ගනුදෙනු ඇති කවිකාර හිත් එක්ක තව තවත් සෙනෙහසින් බැඳෙන්න...

මටත් ආසයි හඳක් වෙන්න.. මේ සේරටම වඩා... තමන් තුල වෙන සියලු දේ විඳ දරාගෙන සෑම මොහොතකම සිනාසෙන්නට වෙර දරන මේ පොලෝ තලයට හොඳම හොඳ ගමන් සගයෙක් වෙන්න.. 💜

ජීවිතයේ සෑම සිදුවීමක්ම උපේක්ෂාවෙන් විඳදරාගෙන කෙදිනක හෝ අවසානය හමුවන තුරුම ගමන් කරන්න..

අත් නොහරින්න... ආදරය කරන්න.. දරා ගන්න...

#ක් වගේ වෙන්න.!! 💜


#මානි



Monday, April 16, 2018

නුඹ නැතුව නුඹ එක්ක..

  කොලොම්තොට කලබලයි.. මිනිස්සු එහේ මෙහෙ දුවන්නේ පිස්සුවෙන් වගේ.. නිහඬවම බස් එකේ ජනේලය අයිනක ඉඳගත්ත සමාධි වතුර බෝතලය හොයනවා.. මෙහා පස අසුනේ හොඳින් ඇඳ පැලඳගත්තු ගැහැණියක්.. ඇය සමාධි ට තිලිණ කරේ මදහසක් ..

අතින්  කටින් ,කරෙන් නොයෙක් දේ ඔසවාගෙන දඩි බිඩි ගාලා සමාධි බස් එකට නගින්නේ ඊලඟ නැවතුම ගැන හිත හිත.. අයියෝ..අද කෝච්චිය මිස් වෙයිද මන්දා... ඒත් සමාධි මේ ඉරිදා උදෑසන 138 ඩ්‍රැයිවර් මහත්තයා ගැන විශ්වාසේ තිබ්බා.. අර දවසක් වගෙ අදත් බස් එක ඉගිල්ලුනොත්.. 🤗

ඒ ඉගිල්ලීමට සමාධි හරි කැමතියි.බෝඩිමෙන් නිදහස් වෙන දවසට උදෙන්ම ගිහින් විගහට ගෙදර දුවන්න තියෙන මේ දවස් වලට ඈ කොහොමත් කැමතියි.. ඊයේ දවසම නුගේගොඩ කඩ සාප්පු වීදී ගානේ මිතුරියො එක්ක ඇවිදලා පලවෙනි ජොබ් එකෙන් අවුරුද්ද වෙනුවෙන් මුලු ගෙදරටම ඇති වෙන්න ෂොපින් කරන්න සමාධිට තිබ්බේ පුදුම පිස්සුවක්.. ඉතින් නිවාඩු සෙනසුරාදා ව ඒකට වැය කරලා.. අවුරුදු නිවාඩුවත් එක්ක සතියක්ම නිවාඩුත් දාලා සමාධි අද ගෙදර යන ගමන්..

තමන්ගෙ කලබලේ අවසන් කරපු සමාධි  නිහඬවම අසුනේ තැන්පත් උනේ මඳ හුස්මක් ගන්න.. ටිකක් නවතින්න.. ජනේලය පිස ගෙන නිහඬවම ඇදිලා එන්නේ හරිම සනීපදායක සුලඟක්..කොලඹ හුලඟ ..
කොලොම්තොට වුනත් සෞම්‍ය උදෑසනක සිසිලස එක්ක එකතුවෙලා මවන්නෙ අමුතුම මිහිරියාවක්.කොච්චර කලබල උනත් සමාධි කැමතිම කොලොම්තොට උදෑසනවල් වලට.. ඒක ඉරිදාවක් නං තවත් අපූරුයි.. ඉරිදා ගෙවෙන්නෙ හරි හිමීට..

ඒත් එදා නම් වෙනදා කලබලයෙන් පිරුනු කොලොම්තොට සමාධි ලඟ සතුටක් මැව්වෙ නැ.එක් පේලියට ඉරිදා සන්සුන්කම පොඩ්ඩක් හරි අරන් ඇඳෙන වාහන ඈට අපූරු බවක් දුන්නෙත් නෑ.. කොටින්ම සමාධි හිටියෙ හොඳින් නෙවෙයි.. ලෝකය වෙනදා වාගෙම ලස්සන උනත් අද සමාධි ගෙ හිත වෙනදා තරම් ලස්සන වුනේ නැහැ..

ආයෙමත්.. ඔහු.. මේ සිව් වසරකට පස්සෙ..

හරසර හිමිහිට  තමන් ලඟින් හිටගන්නවා බස් නැවතුමේ හිටපු සමාධි දැක්කෙ නැහැ. ඇය හිටියෙ තමන්ගෙ අවුරුදු ෂොපිං විස්තරය මිතුරිය හා බෙදාගන්නා ගමන්. ඒ අතරෙම පිටකොටුව බලා යන බස් එකක් බලමින්..තොරතෝංචියක් නැතුව ෆොන් එක ටයිප් කරමින් ඉන්න ඇයට ඔහු ලඟ වග එදා මෙන්  වටහාගන්න නොහැකි උනු අයුරු සමාධි ට දුන්නේ පුදුමයක්.. ඉස්සර නම් රෙදි මදිනකොට හරසරට වැදුනු පුංචි විදුලි සැරය ත් ඇති..ඔහුට කරදරයක් යන හැඟීම  ඇයට ගේන්නට.. ☺️ ඒත් දැන්... කාලය නුඹ මොනතරම් නම් අමුතුද...

හරසර සමාධිව දුටුවෙ අවන්තිගෙ අතකින් අල්ලගෙන ඈව දුම්රියට ඇරලවන්න යන ගමනෙදි.. කාලෙත් එක්ක ජීවිතය ගෙවෙද්දි..හුඟක් කාලෙකින් පරණ පුරුද්දට දෙනෝ දාහක් යන එන මේ මගතොටේ ඇගේ රූපය හොයන්න හරසරට මතක් උනේ නැහැ.. ඒත් අද එක්වරම අහම්බයකින් ඔහු ඈව දකිනවා.. එක්වරම ඈව මුණගැහෙන්න,කතා කරන්න  හිතුනත් අනපේක්ෂිත මේ හමුවීම ඈව කොහොම කලඹයිද නොදන්නා නිසා ඔහු මඳ වෙලාවක් ගත්තා .. ඈ වෙනස් වෙලා.. ඔහු හිතනවා..

තමන් ඉදිරියෙන් අවහිරයක් සේ හිටගත්තෙ කවුද බලන්නයි සමාධි දුරකථනයෙන් හිස එසෙව්වෙ.. ඊලඟ තත්පර කිහිපය ගෙවුනු හැටි හරි සිහියක් ඈට දැන් නැහැ.. බය බිරාන්ත වුනා වගේ ඔහු දිහා ඔහුමද වටහා ගත නොහැකි උනු දෑසින් බැලූ තමන් කිසිත් නොකියාම එවෙලේ නැවතුමට ආ බසයට නැග ගත් හැටි සමාධිට  සිහි වුනා..

"මට ආයෙම ඔයාගේ හුලඟවත් ඕනි නැහැ '"

"මේ ලෝකෙ හරි පුංචි සමාධි.ආයෙ අපි මුණගැහේවි... "

  ඒ එදා..

මේ අද.. සිව් වසරකට පසු අද..

හෙමින් හෙමින් ඇදෙන බස් රථය අද ඉරිදා වුනත්  වාහන තදබදයක ඉඟියක් පලකරනවා. ඒ අතරේ කොහෙදෝ තැනකින් ආපු ඉකියක් උගුරෙ කෙලවර හිරවුනු ගතියක් සමාධි ට දැනුනා. හුරුපුරුදු කඳුලක්...ඒත් ඇයි??

ඒ ගෙවුනු සිව් වසර ඇතුලේ ඈ සිතින්,ගතින් වගේම මනසිනුත් බොහොම වෙනස් වුනා. ඉස්සර දවස්වල සිටි බොලඳ කෙල්ල වෙනුවට බොහොම හොඳ  අවබෝධයකින් ජීවිත ය දිහා බලන්නත් සමාධි ඉගෙනගත්තා..

හරසර ගැන ඈට බොහෝ දේ ආරංචි උනා.. සමහරු කිව්වෙ හරසර දැන් සෙල්ලක්කාරයෙක් ගෙ ගානට වැටිලා කියල.කෙල්ලන්ගෙන් අඩුවක් නැහැ කියල..ඔහු දැන් වෙනස් කියල.. සමාධි ඒ සේරම බාරගත්තෙ බොහොම  මද්‍යස්ත විදියට.ඔහුගේ ජිවිතේ.. ඈට එහෙම වෙන්න බැරි වුනාට ඒ ඔහුගෙ ජිවිතේ.. සමාධි තනිකම බාරගත්තා.. නිහඬවම.. නැවත කෙනෙක් වෙත ලංවෙන්න හැඟීමක් හෝ නොඉපදෙන හිතක් එක්ක සමාධි ඈ වටා අරමුණු වලින් පවුරක් බැඳ ගත්තා.. මෙලෝ සිහියක් නැතුව ඒ අරමුණු පස්සෙ දුවන සමාධි බිහි වුනේ ඊට පස්සේ..

බස් රිය කොටුව ස්ටේෂමෙ නැවතුමට එන්නෙ සමාධි මේ අතීත කාමය ඇතුලේ ගිලිලා ඉන්නකොට.. නිහඬවම බස් එකෙන් බැස්ස හරසර ඈ පසුපසින්ම ආවෙ නැහැ. තමන් දැකල නිහඬවම නික්මුනු සමාධි තමන් හා කතා කරන්නට අකමැති ඇතැයි ඔහු සිතුවා. එන අතරමගදි අවන්ති හා සියල්ල පැවසූ නිසා ඈ නම් කියන්නෙ කතා කරන්න කියල. අවන්ති නිදහස් යුවතියක්.මෙවන් දේ එතරම්ම ගණනකට නොගන්න..

කොටුව දුම්රිය පොල වෙනදා වාගෙම කලබලයි.අවන්තිව දුම්රිය ට ගොඩකරපු හරසර හැමතැනකම සිව් වසරකින් දුටු සමාධි ගේ රූපය හෙව්වා. ඈට කියන්න බොහෝ දේ ඔහු ලඟ තියෙනවාද ඔහු දන්නේ නැහැ.. ඒත්..

තුන්වෙනි වෙදිකාවෙ කෙලවර බංකුවක අරමුණකින් තොරව ඉන්න සමාධි ට ඈ දෙස දුර තියා බලන නන්නාඳුනන පිරිමි රුවක් ඇස ගැටුනා. ඈට ඔය දේවල් ඉතාම පුරුදුයි..කොල්ලෙක් හිටියත් නැතත් ඇඳුම මොන විදියට තිබ්බත් නැතත් බලන උන් බලනවා. ඒ කෑදර බැල්ම මග ඇරල ඉවත බලනවිටම තමන් වෙත ඇදෙන ඒ රුව ඈට පෙනුනා..

" සමාධි.. " :)
" හරසර .. " ☺️

----------------------------------------------------------------------------------------------------
නොනවත්වාම නාදවෙන දුරකථනයේ හඬ නිසාවෙන් ඔහු කාමරයට ආවා. ඇමතුම ඇගෙන්.
හිතට ආව අමුතුම සතුට මැද්දෙන් උනත් මේ ඇමතුම ගන්න ඔහු මඳ වෙලාවක් ගත්තා.කාර්‍යාල මිතුරිය .. දැනට..එහෙම..
ඔහු ඇමතුම ගන්නවා..
"අසංක"

"ඕ..ඕ.."

"ඇයි ආන්ස්වර් නැත්තෙ.."

"ම්ම් වැඩක හිටියෙ.. ආ..ආ.. අනික මං හිතුවෙ ඔයා මන් එක්ක තරහින් කියල "

යාලුකමට එහා ගිය අපූරු හැඟීමක වග , මිතුරන්ගේ බල කිරීමට ඈට කියන්නට ගිහින් කරගත්තු ගොන්කම හින්දා තමන්ට  මිතුරියත්, ආදරයත් දෙකම අහිමි වුනා යැයි බයක් අසංකට තිබ්බා. ඔහු සමාධි ගෙ මිතුරා..එහෙත් හදවතින් ඇයට පෙම් බඳින..

"නෑ.. එහෙම එකක් නැහැ.. "

නිහැඬියාවක් ...

" සමාධි කතා කලේ..?? "

"ංආ.. මේ .. "

"ම්.."

"මේ..මේ.. ඔයාට ඕනි නම් අවුරුදු නිවාඩුවට පස්සෙ ඇවිත් අම්මලා මුණ ගැහෙන්න පුලුවන් කියන්න.. " ☺️

"හා.. මන් .. ඈ.. මොකක් ??  " 😯

"ඔව්..දැන් මන් තියන්නම් .. ගෙදර ට ගිහින් ගන්නම්.. බායි " සමාධි ඇමතුම විසන්ධි කරා.
අසංකගේ  මුවගට නැගුනේ මදහසක්.. අවුරුදු තෑගි!! 😋

හරසරගෙ හමුවීම කෙලවර අතීතය වලදාන්න සමාධි තීරණය කරනවා.ඔහු සෑහෙන්න වෙනස් වෙලා.. ඒ අතීතය හිත ඇතුලේ මියැදිලා ගිහින් තිබුනු එක තමයි ඇත්ත. ඉඳහිට ඒ අතීතය තමන් ඇතුලෙන් ආයෙමත් ගැහෙන විත්තිය සමාධි දන්නවා.ඒත් ඒ අතීතය අල්ලන් හිටියට ඈට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඔහු හුඟක් දුර ගිහින් ..තමනුත් නොදැනුවත්වම බොහෝ දුර ආ වග ඈට අවබෝධ වුනේ අද.. ඈට එයින් මිදෙන්න බැහැ. ඒ හැඟීම් රිදවුමක් නොදෙන ලෙස දරාගෙන ජීවිතය ඉස්සරහට යන්න දැන් තමන්ට පුලුවන් වග ඈ  දන්නවා..☺️

දුම්රිය කවුලුවෙන් එබෙන වෙල් එලි පිසගෙන හමන සුවඳ හරි සනීපදායකයි.
සමාධි හිතනවා.

වසන්තය ඇවිත්...

ඇයට තිබුනේ හදවතේ දොරගුලු හැර දමන්න විතරයි ... !!

- මානි - ✒️

Thursday, April 12, 2018

බක් මහ අකුණු ⛈

"මිහිරි සිසිලැති සුවඳ අරගෙන..
සොම්නසේ සුබ නිමිති පිපිලා..
කලට නියඟෙට සමුදෙන්න කී
බක්මහේ වැහි සර  බලල්ලා..
නිහඬ නියඟෙට සෝ සුසුම් පෑ
වෙල් එලිත් මල් සිනා පාලා..
කිමද මෙතරම් වූ පමා මේඝය
මෙන්න බක්මහ වැහි ඇවිල්ලා..

කැවුම් සුවඳට මුසුවෙලා එන
සුලං සරයට ගී ගයාලා...
බැඳුම් තෙල් හා ගැයුණු කෝඳුරු
ගීතයක කෙම් නද අසාලා..
පහල ඇලදොල යසස් සිරි දෙන
ඔරු පදින්නට ගී වයාලා..
බලන් සකිසඳ එරබදුත් සාරෙට
තවම ගම්දෙණි පාට කරලා..

නගර ගම්බිම් සිරි අසිරි දී
නියං දුරගිය වග බලල්ලා...
මහා වරුසා ගර්ජනා දී
ඇදෙන සිරි සරු නෙත් විඳිල්ලා..
සාර සිරි පිරි සතුට රජකල
සෙනේ උතුරන කල් ඉඳිල්ලා..
අකුණු සැර පිරි වසත් සිරිගෙන
මේ සැරෙත් අවුරුදු ඇවිල්ලා.. "⛈⛈

- මානි -

Monday, April 9, 2018

මල් සිහින


" මමත් මල් දැරිවියක්
සිත ගාව ඉපදිච්ච...
දස අතින් මදහාස
මල් කැටිති විසිරිච්ච..
හීනෙනුත් ඔබ ගාව
සිත් පොකුරු පිබිදිච්ච..
මමත් මල් දැරිවියක්
නුඹ ගාව මියැදිච්ච.. 🍀

තටු සලන වස්සාන
සිහිනයේ ඇහැරිච්ච..
නොකියාම මහ දුරක්
අපි ආවා නොදැනිච්ච..
ඝන අඳුරු වනපෙතක
මල් සිහින පොඩිවෙච්ච..
මමත් මල් දැරිවියක්
නුඹ ගාව මියැදිච්ච... 🌼

අනන්තව තව පිපෙන
මල් පොකුරු ඇහිඳිච්ච..
ඒ රොනින් ඔය සිහින
රස මරා ඉපදිච්ච..
නපුරු බඹරෙක් ද නුඹ
නොකියාම නොදැනිච්ච ..
මමත් මල් දැරිවියක්
සිත නුඹට මියැදිච්ච ... !!! " 🎋

- මානි -

Thursday, April 5, 2018

අවසන් කවිය..


--------------------------------------------

මේ නිහඬ බව යට වරුවක්..
මට අවැසි තනිකමේ කවියක්..
නුඹ නොදන්නා බව දැනුනත්...
මේ තනිකමත් මට මහා සුවයක්..

ඉඳ හිටම ලියවෙන කවියක්..
හිත නිවන මල්පැන් වැස්සක්..
අර පායනා තරු දහසක්..
සේම නුඹ හරි  දුරම අහසක්..

මට අවැසි තනිකමේ සතුටක්..
කිසිදාක නොදැනෙන  සුවයක්..
සිත නොරිදෙනා එක මොහොතක්..
මහත් සැනසුම් සුසුම් දහසක්..

නුඹ නොමැති බැව් සිත දනිතත්..
ඉඳහිට  ලියවෙනා එක කවියත්..
නොදැන නුඹ වෙත ලීවත්..
මේ තනිය මට මහ පුදුම සුවයක්..

දුරු අමාවක සඳ අහසක්..
අතැර දුර ගිය බවත් රහසක්..
සිත නිහඬ  එක අහසක්..
මින් මතුව මම එහි නිහඬ සවසක් .. !! "😊

#මානි ✒️

Tuesday, April 3, 2018

සුදු පිරුවට

"කෙන්ද කන්ද කර ලන්ද ලන්ද ලඟ
හෙමිහිට මතුරපු ඒ කාලේ...
අනුන්ගේ දිවි ගැන තමන්ගේ වාගෙම
කියා ලියා ගිය මේ කාලේ..
අවුලන ගිනි ගැන ගම් කඩමණ්ඩිය
පුරසාරම් දෙඩු මහ රාලේ..
සාර සොබාවට බුදු බණ කිව්වට
සිල් පද නොරැකපු අඳ බාලේ.. 🙄

සුදු පිරුවට ඇඳ දොහොත් මුදුන් දී
තෙරුවන් සරණට පේ වෙච්චී...
උඩු වියනින් බැඳි නිල් අහසට සරි
හැම දහමක මුල් තැන වෙච්චී...
පෙනුමට රූපෙට රිසි රිසි ආරෙට
හිත්වල යහපත නැති වෙච්චී...
පිටින් ඔපේ ඇති හිතින් එසේ නැති
අමුතුම මිනිසුන් බිහි වෙච්චී...🤔

ඇන්දට පිරුවට හිත්වල කහටය
අන් සැපතට සෙත් නොදෙන හැටී..
ඇසූවත්  බණ පද නොදන්න අරුතට
මෙවන් දීප ලොව තවත් නැතී...
යහපත් හදකට මිනිසත් විලසට
රැඳෙන්නවත් ඉඩ නොදෙන සකී..
රාලේ ඔය ලෙස කොයි ලොව යන්නද..
මරණය දොරකඩ බලා සිටී... "😊

#මානි