Sunday, April 29, 2018

වෙසක් සඳ

කිසිම හැලහොල්මනක් නැතුව ගෙවෙන පෝදා හැන්දෑවල් වලට මන් හරි කැමතියි. පාර අයිනේ ගෙදරක ඉඳන් , වෙලාවකට වාහන යන්නෙ පාරෙද ,නැත්තං අපේ ගෙදර වහලෙ උඩින්ද කියල හිතාගන්න බැරි හැන්දෑවල් වලට වඩා පෝයකට ලබන හැන්දෑව ටිකක් වෙනස්. අදත් එහෙම දවසක්..

ඔව් වෙසක් පෝය තමයි..!!

ඒත් අද වාහන අඩු දවසක්.උපන්දා ඉඳන් කනට හුරු උනු සද්දෙක අඩු පාඩු ගතියක් අද තියෙනවා.. නිවී සැනසිල්ලේ හඳ බලන්න නම් බැහැ.. හඳ වැහිලා ගිහින්.. කලු වලාකුලු තොමෝ උඩ ඉඳන් අහසත් අපිත් අතර පාරාවළල්ලක් බැඳලා.. ඒත් පරිසරය නිස්කලංකයි.. ඉතින් මේ අහස යට නිවාඩුපාඩුව කල්පනා ලෝකයක් ගොඩනගා ගන්න බැරිම නෑ..
වැහි දෙයියන්ට බයවෙලා හතර වටේ හුඟක් ගෙවල් වල වෙනදා තියෙන වෙසක් අද නැහැ.. අපෙ ගෙදරත් මුකුත් ඇති නැති ගාන.. එහෙම දවසකට නිසංසල බවේ විවිධ පරාසයන් ඇතුලේ වෙනස් වෙන පාරක් අයිනේ නිසොල්මනේ ඉඳගෙන කල්පනා ගමන් යන එක වෙනම ආතල් එකක්.. ඔව් .. මේ සද්ද බද්ද අස්සෙත් මට පුලුවන් හීන දකින්න.. 💜

මේ වගේ පුර පසලොස්වක පෝය දවසකට අපේ වත්ත පිටිපස්සෙ තියෙන ගස් වකාරෙට එහායින් හඳ පායන හින්ද හුඟක් රෑ වෙනකන් අපට පැහැදිලි හඳක් පේන්නේ නැහැ.. හඳ හාමිගේ ඇත්තම ලස්සන දකින්න නම් රෑ 11ට 12ට හඳ මිදුලට මුදුන් වෙනකම්ම ඉන්න ඕනේ.. සඳ මිදුලට එන්නේ ඒ වෙලාවට.. 😊 සමහර දාට අපි තුන්දෙනා මුලු ගෙදරම ලයිට් නිවලා ඒ දිලිසෙන හඳ එලිය විඳිමින් මිදුලට වෙලා ඉන්නවා...

පෝය දා පුරහඳ හරියට මුලු ලෝකෙටම උඩින් පත්තු කරපු මනස්කාන්ත එලි විහිදුවන ලොකු විදුලි බුබුලක් වගේ.. ඒ තරම් එලියක්.. ඒ එලියට මතුවෙලා ගෙයි මිදුලේ සිත්තම් අඳින අපේ වත්තෙ උස පොල්ගස් වල හෙවනැලි මට හැමදාම දෙන්නෙ පුදුම අද්භූතජනක සතුටක්.. අන්න ඒ වෙලාවට ඒ පොල් ගස් මුදුනකට වෙලා හඳ එලිය ඇතිවෙනකන් නාන්න මට හිතෙනවා...

පුංචිම කාලේ දවස් වල හැන්දෑවල් වලට ගෙදර ලයිට් නිවල මාව ඔඩොක්කුවෙ තියාගෙන තාත්තා මට අහස පෙන්නනවා..ඒ කාලේ මම කලුවර ට බය කෙල්ලෙක්..එක දවසක් හුලඟට හෙලවුනු පින්න ගහක් දිහා කලුවරේ බලන් ඉඳල එතන අවතාර ඉන්නවා කියල අඬපු...ඒත් කලුවරට ආදරේ වෙන්න ගත්තට පස්සෙ ලැබෙන්නේ  ඒ අත්භූත සතුට අඳුරගත්තු කෙල්ලක්..

එහෙම ඉන්න වෙලාවට අත්තා ගැන,ගෙදරම්මා ගැන,කුප්පි ලාම්පුවෙන් එලියවුනු ඒ කාලේ ජීවිත ගැන තාත්තා මගෙත් එක්ක කියනවා.. ඉස්සර මිනිස්සු හඳ පානේ ගමන් ගිය හැටි ගැන,අත්තලා පාන්දර හඳ එලියෙන් පයින්ම මීගමු ගියපු ගමන් ගැන, පාර අයිනෙ ගෙයක් දෙකක් තිබුනු ඒ කාලේ කරත්තයක් දෙකක් ,ඊටත් පස්සෙ ඉඳහිට කොලඹ ඉඳන් ගිරිඋල්ලට යන බස් ගැන කතන්දරත් මට කියනවා.. හඳ එලියෙන් බැබලෙන මිදුලක හීනියට අඩි තිය තිය මමත් මගේ අක් මුල් ගිය තැන් ගැන කතන්දර අහනවා..

ඒ චිත්‍රය හරිම ලස්සනයි.. මම ඉන්නෙ තාත්තගෙ උකුලේ.. ඉස්කෝලෙ වැඩ ඉවර උනු හැන්දෑවලට අම්මත් අපි එක්ක.. ගෙයි ඉස්සරහ පඩියක ඉඳගෙන අපි රෑ වෙනකන් හඳ එලියේ කතන්දර කියනවා.. ඒ වෙලාවට මගේ ඔලුවට උඩින් රවුම් මූණක් තියාගෙන, තාත්තෙක් ගෙ කතන්දර අහන පුංචි කෙල්ලෙක් දිහා හඳ නිහඬවම බලාගෙන ඉන්නවා. මේ ලියන දැනුත් ඔහු එතන එහෙම්ම ඇති.හැබැයි වැහි වලාකුලකට වැහිලා.. 🌤

තාත්තගේ කතන්දර වලට හුමිටි තිය තිය මම හඳේ ඉන්න හාවගේ හැඩ හොයනවා.. ඒ හැම වෙලාවකම හඳ එලිය මකාගෙන මහ සද්දෙට අපේ පාරේ වාහන ලයිට් ගහගෙන යනවා.. වටපිටාව නිහඬ වීම මේ වගේ පලාතක සිහිනයක්..ඒත් අදත් ඒ හඳ එලිය යට ගෙවුනු කතන්දර හෝරාවන් මගේ හිත ඇතුලේ ඇති කරවන්නෙ මහා නිස්කලංක හැඟීමක් ..හරියට අපිත් හඳත් විතර ක් හිටියා වගේ..

තාත්තගෙ කතා අහන ගමන් හඳ දිහා බැලුවම මට පේන්නෙ හඳ මට හිනාවෙනවා කියල.. ඉඳහිට පුංචි වලාකුලකට වැහිලා ඉඟි බිඟි පාන හඳ මමත් එක්ක දුර ගමන් යන්න එනවා.. අපේ ජිවිත වල මොනතරම් දේ උඩට වෙලා ඉන්න හඳ දැකල ඇත්ද කියල ඒ වෙලාවට මම කල්පනා කරනවා..

තාත්තගේ කතන්දර වල ඉස්සර මිනිස්සු වැඩි හරියක් ගමන් ගියෙ පයින්..අනුරාධපුරය ,පොලොන්නරුවටත් පයින් ගිය මිනිස්සු ශ්‍රී පාදය වඳින්න යද්දි ඉඩකඩම් පවා ලියල තියල ගියාලු. අතුරු ආන්තරාවක් එහෙම උනොත් කාරිය කියල.. මේ හැම තැනකම හඳත්, තරුත් ඉන්න ඇති.. ඒ මිනිස්සුන්ගෙ ජීවිත වල හැම නැවතුමකම වගේ..
 
රෑට හුළුඅත්තක් පත්තු කරන් ගම පුරා හඳ එලියෙ කරක් ගහපු මිනිස්සු , අම්බලම් වල නැවතිලා හඳ එලියෙ උයාගෙන කාලා ගිමන් හරින මිනිස්සු.. ඒ මිනිස්සු ගිය ගිය හැම තැනකම හෙවනැල්ලක් වගේ හඳ ඉන්නම ඇති..

මේ ලෝකය බිහිවුනු හැටි.. මේ ලෝකයේ ආදරේ ඉපදුනු හැටි..දුක සතුට සොම්නසින් මේ ලෝකය පිරුනු හැටි, සියලු ශාස්තෲන්වහන්සේලාගෙ මග පෙන්විම් වලින් මිනිස්සු සැනසීමක් ලබපු හැටි හඳ දකින්න ඇති..

කාලයත් එක්ක මිනිස්සු වෙනස් වුනු හැටි, දුක් සුසුම් අඳෝනා වගේම ලෝකයක් හඬවපු ඛේදවාචක සිද්ද වෙච්ච හැටි ,නිහඬවම විනාසය වැලඳගනිමින් පරපුරෙන් පරපුර ගොඩ නැගෙන හැටි , මිනිස්සු දුසිරිතේ ගැලෙන හැටි.. එදා මෙදා සන්සන්දනය කර කර හඳ නිහඬවම විඳගන්නවා ඇති..

"අම්බිලි මාමේ ඔබ මොකද කරන්නෙ..
පුලුන් වලා යටින් ඉඳන් එබිලා බලන්නේ .."

 කියා කියා තමන්ට අඬ ගහමින් බහා තෝරපු පුංචි එවුන් ජීවිතේ පියවරෙන් පියවර වැඩෙන හැටි, මල් වාගෙ පිපිලා පරවෙන දවස වෙනකම්ම හඳ බලාගෙන ඉන්න ඇති..

 ඒ ඒ ජීවිත මංසන්ධි වල කාලෙක හඳ මාමත්, ආයෙම කාලෙක ප්‍රේමනීය හැඟුම් පොබ කරපු යොවුන් හඳත්, සුන්දරම ආදරනීය සැඳෑවන් වල නිහඬවම සතුට තිලින කරමිනුත් මදු සඳක් වගෙත් ඔහු ඉන්න ඇති.. හැම පින්බර පෝය හඳකම සිසිල සෙනෙහස අරන් තමන්ගෙ හෙවනේ ඉන්න දරුවො එක්ක ඔහු පන්සල් යන්න ඇති.. පින් රැස් කරගන්නත් ඇති..

අද වාගෙම අවුරුදු දහස් ගානක් බුදු හාමුදුරුවෝ හිටිය කාලෙත්,ඉන් පස්සෙත් හැම වෙසක් පෝයකමත් පින්බර සැඳෑවන් ගෙවෙන හැටි විඳගන්නත් ඇති...
ඒ දරුවෝ මිය ඇදෙද්දී ඔවුන් වෙනුවෙන් බිහිවුනු ඊලඟ පරපුර වෙනුවෙන් හඳ ඒ යුතුකම් ආයේ ආයෙම ඉටු කරන්නත් ඇති..

හරියට මගේ අත්තව මටත් වඩා දුටු ඒ හඳ , මම ඔහු ගැන විමසද්දි,අහද්දී එදා වාගෙම අදත් බලන් හිටියා වගේ..

මට ආසයි හඳක් වෙන්න.. ලෝකෙ මිනිස්සු වෙනස් වෙන හැටි උඩට වෙලා බලන් ඉන්න.. කිරි දරුවන්ගෙ සිහිනවල සුන්දර තැනක නවතින්න.. එක පැත්තකින් ඉර බැහැල අනික් පැත්තට ඉර පායද්දි කලබල අස්සෙ එහෙ මෙහෙ දුවන තමන්ගෙ ගමන් සගයා මත වෙසෙන මේ ජීවියො ටික දිහා පිටින් ඉඳන් බලන් ඉන්න.. ජීවිත වල දුක සතුට සම සිතින් විඳගෙන ජීවිතෙ පුදුමාකාර වෙනසකින් විඳින, දකින මිනිස්සු දැක ගන්න..

ඉරට මුවාවෙලා හිටියට රෑට මුලු අහසම අයිති කරගෙන තරු කුමරියො පිරිවරාගෙන මනමාලකම් කරනවා කියල රටේ ලෝකේ සුන්දරම හිත් තියෙන කවිකාර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න..
ජීවිතේ සුන්දරම ප්‍රථම ප්‍රේමය මුලින්ම මෝදු වෙන හිත් හඳ දිහා බලාගෙන දකින හීනවල කොනකට වෙලා සතුටෙන් හිනැහෙන්න..

විරහවෙන් ඉරි තැලුනු හදවත් තමන් දිහා බලාගෙන දුක කියන රාත්‍රින් වල ඔවුන්ගේ දුක ලඟම නවතින්න.. ඒ පාලුව තනිකමට ලඟින් ඉන්න..
ඇලදොල ,සතා සීපාව ට හොඳ ගමන් සගයෙක් වෙන්න..ඔවුන් බලාගන්න.. ඔවුන්ට පාර කියන්න..
කෙටියෙන්ම කිව්වොත් මේ ලෝකේ බිහිවුනු දා පටන් සිද්ද වුනු , සිද්ද වෙමින් තියෙන වාගේම ඉස්සරහටත් සිද්ද වෙන සෑම සියල්ලකම ඇසින් දුටු හොඳම සාක්ෂිකාරයා වෙන්න..
අපේ සමහරු වගේ තාරකාවන් එක්ක දකින සියලු දේ කිය කියා යන්න නම් නෙවෙ යි.. බොහෝ දේ විඳ දරාගෙන ලෝකයක් දිහා ශාන්තව බලා ඉන්න උපේක්ෂා සහගත ආත්මයක් වෙන්න...

නැවතීම කොතන දැයි නොදැන හැල්මේ දුවන ජීවිත කාලයත් එක්ක වෙනස් වෙන අරුමය විඳගන්න..
එදා මෙදා තුර සියලු දුක් දොම්නස් ඈත ඉඳන් දරාගන්න..

මිනිස්සුන්ට අමතක උනත් නිහඬවම නොවෙනස්ව ඔවුන් ලඟම රැඳෙන්න..
ලෝකය බිහි වූ දා පටන්ම සඳත් එක්ක සුන්දර ගනුදෙනු ඇති කවිකාර හිත් එක්ක තව තවත් සෙනෙහසින් බැඳෙන්න...

මටත් ආසයි හඳක් වෙන්න.. මේ සේරටම වඩා... තමන් තුල වෙන සියලු දේ විඳ දරාගෙන සෑම මොහොතකම සිනාසෙන්නට වෙර දරන මේ පොලෝ තලයට හොඳම හොඳ ගමන් සගයෙක් වෙන්න.. 💜

ජීවිතයේ සෑම සිදුවීමක්ම උපේක්ෂාවෙන් විඳදරාගෙන කෙදිනක හෝ අවසානය හමුවන තුරුම ගමන් කරන්න..

අත් නොහරින්න... ආදරය කරන්න.. දරා ගන්න...

#ක් වගේ වෙන්න.!! 💜


#මානි



No comments:

Post a Comment