Tuesday, October 8, 2019

නුඹ නැතුව නුඹ එක්ක.. 💜

අහස් ගැබ වෙලාගෙන මේඝයක ලකුණු
මගේ සිත වෙලාගෙන මතකයක් මැකුණු
තුරු පෙලක තීරයෙන් එහා හිඳ නැගුණු
පුන් සඳට දුර වීය අප අතර බැඳුණු....
ජීවිතය අරුමයකි තෙලිතුඩක මැවුණු
කාලයක් පැන ගිහින් මට හොරා ගෙවුණු
නුඹ ඒ ද නොම වේ ද සිත සිතා තැවුණු
අඳුර අද දුර ගිහින් මා ද හැර දැවුණු....
අබලන්ව වැතිරෙන්න තුරු හිසක් සොයලා
වියළි කතරක පවස වැසි දියට පුදලා
ගිනි ගහන කතර දිය මතම යළි දැවිලා
නුඹ නැතුව නුඹ එක්ක ගව් සියක් ගෙවිලා....
කතර නම් නිම වී ය ගිනි වැල්ලෙ දැවිලා
තුරු හිසක් නැත අතැර විෂඝෝර රැඳිලා
මේ කතර මම තනිව නුඹ නැතුව ඇදිලා
එනවිටත් නැවතුමේ නුඹ නැහැනෙ රැඳිලා....
ගෙවුණු ගිරි දුරු කතර වෙහෙස නම් නොවුණු
වැටුණු ලුණු දිය කඳුළ වැහි දියට පෙඟුණු
නුඹට ලියු කවි සේම තෙලි තුඩින් දෙවුණු
මා ගිහින් නුඹ දුරක ආලයෙන් මිදුණු....!


- මානි - 
   



Wednesday, May 22, 2019

සමුගනිමි!!!

ඉතින් හිතවත මම නවතිමි
තවත් නම් මම නොලියමි..
අඳුරු අහසක කුණාටුව නැත
මමත් සන්සුන් සුලඟකි..
කළු ගැසුණු නිල් අහසක්
හඬන්නට බර කළුවක්
බේරෙමින් වැටි වැස්සක්
සේදුවා දුක් මතක කන්දක්..
ඇවිලෙමින් නිවි යන්නට..
නිවී සැනසුම් ගන්නට..
අලුත් සුසුමක පහසක..
දැවටෙන්න මට අකැපද...
නුඹෙන් ඇරඹුනු කවියක
පද ලියන මම කොනක..
ඉසිඹුවක ඉනු පෙමක
මතක මිස අන් කුමන සැපද..
නිහඬ මුත් බස් නොබැන
බොහෝ දේ ඇත දැනෙන..
කාලයම නුඹ නොවෙද..
සැනසුමම මේ රිදුම් සඟවන..
නිහඬවම ඉමි මතක..
නික්මීම එන දිනෙක..
නුඹ නොඑන බව දැනම..
මතක කන්දම තබා යන්න..
- මානි -



Monday, March 18, 2019

ඒ මගේ කවිය!!

"හුණුවෙමින් යන ලේ නහර වුව
ඉකිබිඳුම් හා සිරවෙනා කල..

පැහී පැහී විත් රිදී රිදී යන
හැඟුම් කඳුළින් පිට පනින සඳ..

ලොවට රහසින් උණු කඳුළු විත්
ඉකියකින් සිත හිරවෙනා දින..

තෙලිතුඩින් ඉහිරන්න  විරහව..
අන්න එවිටයි කවිය ලස්සන..!! "

-මානි-





Wednesday, March 13, 2019

නික්මීම.. ❤️

"අනන්තය හා වූ කෙලවරම විශ්වයක..
නුඹ එතැයි මඟබලා දෑස් හැර ඉඳිමී..
යලි යලිත් කවි ගොතා නොකී බස් අරුත් ගැන
කියවමින් හඬන්නට ඉතින් මම නොයමී..

නොකියාම ගොලුව ගිය හිත් පතුල කෙලවරේ
නුඹ නමින් ඉකි ගැසූ අතීතය මකමී..
හෙමි හෙමින් අප අපෙන් දුර ඈත බොහෝ දුර
නිහඬවම වෙන් වෙමින් ඇදෙනයුරු බලමී..

හඬ නිහඬ ගීයක්ව අප වටා ඇදි සුලඟ
පෙර සේම නිහඬවම හමන හැටි බලමී..
ආව ගිය මග දෙපස නුඹ ඇඳුනු සිතුවමක්
කාටවත් නොකියාම හදවතින් අඳීමි..

බලා ඉන්නද නොදැන පලා යන්නට නොහැකි
මේ දැඩිම බැඳුම් වූ විරහවක ගිලෙමී..
සිනාවක් ලොව දකින හදවතක් ඉකි බිඳින
නොනිමි කවියක පදය මම තවම ලියමී...

ලෝකයක් ඉපිදෙමින් ලෝකයක් මියෙනතුරු
දිනපුරා එලිය දෙන හිරුකිරණ දකිමී..
දැවී දැවී ඇවිලෙමින් නුඹ නමින් බැඳි පෙමක
අග්නි දාහයක් මැද ඉතින් මම මියෙමී.. "


#මානි ✒️



Thursday, February 21, 2019

නුඹට.. 💜️

ඉතින් මට අවැසි ඉපදෙන්න
නුඹ මා මිය ඇදෙන්නට සැලැස්වූ තැනම..
සිහිනයක් හා සබැඳි
අතීතයේ දුවිලි වලා මත....

කිමිදෙමින් සොයන්නෙමි
අත් හැරුණු රැහැන් පට..
මා මගෙන් වෙන් කළ
ඒ තියුණු වූ මුවත..
නුඹම නම් දුන් නුඹේ "ආදරය" ..

ඈත අතීතය දෙස බලා
නොවැළපෙමි කිසි විට....
ඒත් රහසින් උපදින,
මේ කඳුලු කුමකට....
මම ද මිය ගිය වග
මට පසක් කළ "කඳුළැලි"

අනාගතය නොදනිමි
ඉතින්
තවමත්....
එහෙත්
වර්තමානය පුරා සොයනෙමි....
මට මා ද නැති කර,
මගෙන් බොහෝ දුර ගිය....
මම ඔබට දුන්
මගේ "ප්‍රේමය "..

හිතවත,
හැකි ද
කියාදෙන්න මට....
මකා දමනා අයුරු!
අතින්වත් අත නොඅල්ලා බැඳි
ඒ අරුමයෙන් යුත්,
"අපේ ප්‍රේමය " 🙂❤️

- මානි -


Tuesday, February 19, 2019

ඉතින් මා විඩාබරය . 💔

ඉතින් මා විඩාබරය..

ගව් සියක් දුර තනිවම ඇවිද
ඉතින් මට බොහො විඩා ය..
චන්ඩ හිරු රැසින් පිරි වීදි පුරාවට
සැනසුමේ දිය බිඳක් සොයා ගොස්..
දාහයෙන් හෙම්බත් සිරුරට..
විඩා නිවන දිය පොදක් සොයා
ඉතින් මා විඩාබරය ..

හිතවත..
නුඹට නික්මෙන්න යැයි අයැදූ
වෙහෙසකර දෑසින්ම අවට බලන්නෙමි..
ඉතින් මේ විඩාව බෙහෙවින් දරුණුය ..
නිවෙන්නට නොහැකි වූ..
හඬන්නට ද කඳුලු ද නොවූ..
හිස් අවකාශයක සැරිසරාම
ඉතින් මට බොහෝ විඩාය..

වසන්තයේ..
තුරු මුදුන් අතරින් එබෙන සතුටේ
හිරු කිරණ මට අකැපය..
සැනසුමේ ස්නේහයෙන් පොබයන
වලාකුළු මට අකැපය..
දාහයෙන් තෙත් වූ,විඩාවෙන් අවතැන් වූ
කාන්තාරමය විදීයක සිට ලියමි..
අස්වැසිල්ල නම් ප්‍රේමයද විමසමි..

විඩාවට දිය පොදක් නැති..
වසින්නට වැහි වලාකුලු නැති..
චණ්ඩ වූ අහසට බියපත්ව හිඳිමි..
මේ කටෝරය අවසන මට වැස්සක් අවැසිය..
තවත් දුර යා නොහැක...
මම දුබලය..
සෙනෙහසේ සා පිපාසාවෙන්ම
ඔත්පලය..
ඉතින් ...
මා බොහෝ විඩාබරය ..!!

- මානි -



Saturday, February 16, 2019

නොපැයූ සඳට.. 🌜️🌜️

"ඉතින් සඳ මම නුඹට කියනෙමි
ටිකක් ඇවිදින් යන්න අහසට..
දුර ඈත හිඳ තරු ලඳුන් ලියු
කවි කතා විමසා බලන්නට...

නීල අහසින් පාට අරගෙන..
බැස  ගියත් හිරු කළු වලාවට..
අඳුර මැද්දෙන් සිනා අරගෙන
අනේ සඳ නුඹ එන්න අහසට..

කල්ප ගණනක් වලා ඉපැදුනු
කතන්දර හා බැඳුනු පොලොවට..
හීන් හඬ ඉකිබිඳුම් හැඬුවේ
කවි කිව්වෙ හඳ නුඹ බලාගෙන..

කිරි සුවඳ  පිරි සිඟිති දෙතොලක
සිහින පිරි හසරැල්ලේ සුවඳට..
මව්වත් ව ඈ නුඹට ඇමතූ..
කවි පේලි ගැයුවාලු එදවස..

මදු සඳෙන් රන් කැලුම් විසිරෙන..
පෙම්වතුන් ගැයු මිහිරි පදයක..
විරහවෙන් පිරි කඳුලු දෑසුත්..
හඬා වැටුනේ නුඹ පතාගෙන..

ඉතින් සඳ මම නුඹට කියනෙමි..
යලිත් ඇවිදින් යන්න අහසට..
කළුවලා මැද දසන් දක්වා..
සතුට දෙන්නට බිඳුනු පොලොවට.. " 🌜️🌝

- මානි - 🖋️❤️


Friday, February 15, 2019

ආදරනීය වැලන්ටයින් ❤️

ආදරේ වෙනුවෙන් ආදරේ වපුරන්න..
ආදරේ නාමයෙන් මිනිසුන්ව භාවිතා කරන්න නෙවෙයි.. හිත්වලට අවංකව ලංවෙන්න..

බොහෝ දෙනා වැලන්ටයින් අර්ථ දක්වන හාස්‍යෝත්පාදක ගණයේ නොවන අපූරූම ආදරයක් ලබන්න..

ඔබත් ; ඒ වගේ ආදරේ කරන්න..
වාසි ප්‍රයෝජන, නම්බු නාම, කිසිවක් නොමැති

නිදහසේ... අහේතුකව..
කොන්දේසි විරහිතව ආදරේ කරන්න..

හිත් වලට ගින්දර දෙන්න නෙවෙයි..
කෙනෙක්ගේ හිතක ඇවිලෙන ගින්දර නිවන්න ආදරේ කරන්න ...

විශ්වාසය අවභාවිතා කරන්න නෙවෙයි...
ඒ විශ්වාසය මුළු ජිවිත කාලෙම සිහිපත් කරන විට පවා සැනසීමක් දැනෙන්න ආදරේ කරන්න...

අයිතියම නෙවෙයි... අයිති නොවුනත්..
සිහිපත් වෙන සිතුවිල්ලක පවා නිවී සැනහෙන විදියට ආදරේ කරන්න..

ඉතින්...
වාණිජ ලෝකයක විකිණෙන ආදරවන්තයන් අතරේ..

හදවතට දැනෙන්න ඇත්තටම ආදරයම විතරක් විඳින්න...😊❤️

එන්න..
අපි අලුත් විදියට ආදරය කියවමු !!

ඔබ සැමට සුබ ආදරවන්තයන්ගේ දවසක්!! ❤️

- මානි -


Thursday, February 14, 2019

සය මසකට පසු නැවත උපන්නෙමි.

අහස වැහි බරය.. නින්දත් නොනින්දත් අතර දැඩි උණුසුම නිසාවෙන් මා අරගල කරමින් හිඳිමි.එන වගට දිවුරා ශබ්ද පූජා පවත්වා දින කිහිපයක් මග හැරි වැහි වලාවන් හා කෝප ගන්නට මට අවැසිය.. එහෙත්.. පළාතම දෙදුරුම් කවන අකුණු හඬකින් පිබිදෙමි.. ඉඩෝරයේ අවසන් උණුසුම බෙර හඬින් ඇද වැටෙන ඉඩෝරයේ ප්රථම වැහි බිඳු මත සුවඳ විහිදවමින් මියැදෙන අයුරු විඳිනෙමි..
හැරෙන්නට ඉඩ නැති තත්පර කිහිපයකට පසු මෙතෙක් ඉඩෝරයේ කෲරත්වයෙන් දුක් විඳි පොලොව මේ දැයි අහස මා හට අමතක කරවමින් ගියේය.. සියලු බොර පැහැ වතුර හා සේදෙමින් ගිය දුහුවිල්ලකට පසුව ප්රහර්ෂයේ සිසිලසද,සැනසිල්ලද ගෙන වර්ෂාව ඇද හැලෙන්නට විය.. මහා මේඝයන්ගෙන් හාත්පස වැසෙන විට... ඉඩෝරය අවසන් වරට නික්මෙන විට... වස්සානය සියලු අණසක පතුරවා සිසිලසත්,බලාපොරොත්තුවේ සතුටත් ගෙන සිනාසලන විට... ජීවිතයේ සියලු දුක් කම්කටොලුත් මේ වැස්ස සේම නික්මී යනවානම් කියා රහසින් ප්රාර්ථනා කරමි.. ❤️
ඉතින් හිතවත...
මේ මේඝ වලාවන් පැමිණිය යුතුය...
විදුලියේ එළියන්ද ,
ඒ ගර්ජනාවන් ද පැමිණිය යුතුය...
සියලු දුක් දෝමනස්සයන් සෝදා හරින්නට... වස්සානය එන වග දන්වා සිටින්නට..
ඔවුහු පලමුව පැමිණිය යුතුය..
සැනසුම් සුවයක් සමඟ වස්සානය පැමිනි විට..
නියඟයේ කටුකත්වයෙන් උපන් සියලු වේදනාවන් හට සේදී යන්නට ඉඩ දෙන්න..
අලුත් බලාපොරොත්තුවේ ප්රහර්ෂය වැළඳගන්න..
අලුත් වැසි දියට සේදෙන දුහුවිල්ලේ අවසන් හුස්මෙහි සුවඳ මෙන් ඔබත් කටුක බවේ මතකයෙන් සැනසී සිසිලැසැති වස්සානය හා පිබිදෙන්න...
ජීවිතය අලුතින් හිතන්න ... හැම වස්සානයකම අලුතින් පටන් ගන්න..
විඳවන්නට නොවේ... විඳින්නට ජීවත් වන්න..
- මානි - 


❤️