Sunday, October 29, 2017

ගොලු දවස

    ඉරිදා දිනවල වැසි ඇද වැටීම යනු කම්මැලිම දවස් තවත් කම්මැලි කරන්න අර ඇදීමකි.කොහොමත් උදෑසනින්ම ඇහැරෙනවා කියා එකක් මාස 3කින් මෙහා අත් නොවිඳිනා බැවින් ඉරිදා කියාද මහා වෙනසක් අත් වන්නේ නැත.කෙසේ හෝ මධ්‍යම රාත්‍රිය පසු වන තුරුත්   ලැප් එකට ඔලුව ගසාගෙන කුමක් හෝ ටිවී සිරීස් එකක් අවසන් කිරීමේ පරම චේතනාවෙන් ජීවත් වන අප වැනි ඇත්තන්ට සති අන්තයේ උදෑසනක් යනු ටිකක් විතර වැඩියෙන් නින්ද යන දවස් ය.එහෙව් දින වල කරන්නට එහෙමට කියා වැඩත් නොමැති නම් ,වැස්සත් වැටෙනවා නම් තව තව නිදා ගැනීමක් ගැන හැර අන් කිසිවක් මෙලෝ බරක් පතලක් නැති (මේ දවස්වල) අපේ ජීවිත වලට තිබෙන්නේ නැත. කම්මැලිම ඉරිදාවල් වල වහින වැස්ස ආශීර්වාදයක් වන්නේ ඒකය.
            ආදරය කියන මාතෘකාවක් නොදන්නා කාලයේ ඉඳලාම මම අසීමාන්තිකව වැස්සට පෙම්  බැන්දෙමි.හේතු ගණනාවකි.ඉපදුනු දවසේ පටන් වැස්ස මට තහනම් මාතෘකාවක් විය.අනෙක් පොඩි වුන් මෙන් වැස්සට පැන නටන්නට මට අවස්තාව තිබ්බේ නැත.උපතින්ම පුදුමාකාර සෙමක් උරුම කරගෙන ඉපදුනු නිසා මම කුඩා කාලයේ කොයි වෙලේ බැලුවත් ලෙඩ් වෙන ඉස්පිරිතාලයක් බඳු කුඩා කෙල්ලෙක් වී සිටි නිසා ය.වැහි බිඳු දෙක තුනක් ඔලුවට වැටුනද ලෙඩ වෙනවා කියාද සීතල වතුර පරම සතුරෙක් ලෙසද සිතාගෙන සිටි මම ගිනි මද්දහනේ උෂ්ණත්වය අධික දිනවල පවා තාත්තා ගේ නියමයෙන් උණු වතුරෙන් නෑමට පවා පුරුදු වී සිටි කාලයක් තිබුණේ ය.
         ඒ කාලයේ අසල පුටුවේ හිඳගෙන සිටි යාලුවා අද කැස්සා නම් හෙට මට උණ ය."අලුත් වයිරස් උණක් බෝ වෙනව.. පුතේ පරිස්සමෙන් " කියා තාත්තාට හුස්මක් ගන්නට දවසක් නොලැබෙන්නේ ය.පහුවදා හරිය.ප්‍රාථමික පන්තිවල සිටි කාලයේ ඉස්කෝලේ ගියාට වඩා දින ගණනාවක් මම හිඳ ඇත්තේ ගෙදරම ය.එහෙයින් දැන් කෙසේ වුවද ඒ කාලයේ කැස්සක් හැදුනු විට රෑ එලි වෙනකම් ඉවරයක් නැතුව කහින,ඒ කරලාම හෙම්බත් වෙන,බස් එකක් දැක්කාද වමනෙ යන,සීතල සුලඟද,පොද වැස්සද,කෙටියෙන්ම කියනවා නම් සියලු සීතල දේ ඇලජික් වූ බේත් බෝතල් ගණන් සෙමට බිවූ හොටු කෙල්ලෙකු වී සිටියෙමි.
       පොඩි කාලේ එහෙම වෙනවා යනු අනිවාර්යයෙන් මල වදයක් ය.විශේෂයෙන් ඒක "අයිස් ක්‍රීම් " වෙත ආ කල පුදුමාකාර දුකක් ය.අනෙක් පොඩි වුන් මෙන් අප කුඩා කාලයේ තිබු අර අයිස් පැකට් මම කෑවේ අතේ ඇඟිලි ගානට අඩුවෙන් යැයි මම නුඹට කියමි.කොටින්ම ඕනිවට වඩා පරෙස්සමද මම එලෙස අසනීප කලා යැයි අතිශය පසුකාලීන හිතුවක්කාර රාත්‍රී නෑම් ද,සාමාන්‍යයෙන් හෙම්බිරිස්සාව හොඳ වුනු පසු නෑම වැනි පරීක්ෂණ වලින් මමම ඉගෙන ගත්තෙමි.
     කෙසේ හෝ වේවා ඒ කාලයේ මගේ ප්‍රියතම කෑම අයිස්ක්‍රීම් ය.(දැන් කියාත් වෙනසක් නැත.😁)  ඒ නිසා  වැඩියෙන්ම වාරණ ද වැටුනේ අයිස්ක්‍රීම් වලට ය.අපේ අම්මාට මම අයිස්ක්‍රීම් කනවා ඒ කාලයේ දුටුවිට දැනෙන්නේ වසරේ ඇයට නියමිත මගේ ලෙඩ නිසාම අරන් ඉතිරි වූ නිවාඩු ටිකත් නැති වන වගද,හෙට උදේට මාව රැගෙන යා යුත්තේ කොයි වෛද්‍යවරයා වෙත ද ,තව දවස් කීයක් කෙල්ල පාසල් නොයයිද,විභාගය අසමත් වේද යන ඒවා සියල්ලම හෝ කිහිපයක්  විය හැක.ඒ තරම් ඇය මම හා අයිස්ක්‍රීම් අතර ඇති මේ සුන්දර ආදරයට අප්‍රමාණ බියක් දැක් වූවාය.💔
        මේ අයිස්ක්‍රීම් වාරණය මට දරන්නට නොහැකි තරම් වුවද ,ඉඳ හිට ඈ මට අයිස්ක්‍රීම් කන්නට ඉඩ දෙන්නට කාරුණික වූවා ය.ඒකත් මාස ගණනාවකට උණක් හෙම්බිරිස්සාවක් නොසෑදීමෙන් පසු හා සති ගණනාවක කාලගුණ වාර්තා පරීක්ෂා කිරීමෙන් පසුව ය.ඒ තරම් මගේ අහිංසක අයිස්ක්‍රීම් පෙමට බාධා ය.
      කාලය ගෙවී ගියේ ය.එක්තරා වැසි දිනෙක මගේ අම්මාගෙ සොයුරා නොහොත් මගෙ මාමාද,නැන්දාද ,අක්කා සමඟින් එකවරම අපේ ගෙදර ආවේ විශාල අයිස්ක්‍රීම් එකක් සමඟිනි.සාමාන්‍යයෙන් වෙන්නේම නැති දෙයක් වුවද එදින අප සියලු දෙනාටම කෑමෙන් පසුද ඉතිරිවන සුලු වු එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් එකක් වු එය දුටු විට මාගේ දෑස් තනිකරම ආලයෙන් අන්ධම වී ගොස් තිබුණි.අම්මා මට රවා "චූටි දුව.. එකයි" යැයි කීවා ය.මමා "හා" කියා ඔලුව වැනුවෙමි.කෙසේ හෝ සියල්ලෝම  දහවල් කෑමෙන් පසු එලියේ සතුටු සාමීචීයේ යෙදෙමින් සිටිද්දී ගෙට පැන ගත් මම මට එපා වෙන තුරුම අර විශාල අයිස් ක්‍රීම් එක අනුභව කොට මහත් තෘප්තිමත් මනසින් නින්දට ගියෙමි.
     සවස් කාලයේ නින්දෙන් අවදි වූවා මතකය.ඔලුව පුපුරමින් තිබුණි.ඇඟ ගිනියම් ය.අහෝ දෙවියනි!!! අයිස් ක්‍රීම් වැඩ කරලා ය.මට සහලෝලා උණය.දැනගත් වහාම අම්මා අයිස්ක්‍රීම් බඳුන බැලුවාද යන්න වගක් නැතත් ඇය තාත්තා සමඟ මා ඔසවාගෙන වෛද්‍යවරයකු වෙත ගියාය.
   කෙසේ හො මේ කියන දවසේ අපේ සුපුරුදු වෛද්‍යවරයා සිටියේ නැත.ඉපදුනු දා පටන් මගේ සියලු ලෙඩ දුක් දන්නා නිසා ඇය මිස මට වෙන කෙනෙක් හරි යන්නේද නැත.කෙසේ හෝ ඇය නොමැති නිසාම නිවස ආසන්නයේ සිටි එක් වෛද්‍යවරියක වෙත තාත්තා ගෙන ගියේ ඔහු ඇය හඳුනන නිසා ය.මේ වනවිට මට අවුරුදු 7ක් විතර ය.
"බේත් නම් වන්ෂොට්.. කමක් නෑ දැන් කරන්න දෙයක් නෑනේ.. යන්"
   ඇය මා බලා ලෙඩේ අසා මට බෙහෙත් දුන්නා ය.ගෙදර ආ විගස අම්මා මට පේන්නටම අයිස්ක්‍රීම් එක අල්ලා වීසී කර මට බෙහෙත් දී නිදාගන්නට සැලැස් වූ වාය.
   තද  උනෙන් පෙලෙමින්  වෙව්ලමින් සිටි මට බෙහෙත් නිසාම නින්ද ආවේ ය.
  පසුදාට එලිවිය.උණ බැස ගොස් ය.ඒ වනවිට මට ඇත්තටම අයිස්ක්‍රීම් එපා වී තිබුණේ ය.ආයේ නම් කන්නෑ කියා සිතෙන තරමට අයිස්ක්‍රීම් එපා වීලාය.වන්ෂොට් බේත් වැඩ කර තිබුණි.උණ බැස ගොස්‍ ය. ප්‍රශ්නයක් නැත.එහෙත්...

     දෙවියනි...මගෙ කට හඬ.😱

           ඒක නැත.කොහෙදෝ ගිහින් ය.කොහොමහරි කටහඬ නැත.මගෙ රන් ස්වරය පිට වන්නේ නැත.😓         
     දැන් ගෙදර ආයෙම ගිනි ගෙන ය.මට රහස් කිව හැකිව තිබිණි.එහෙත් කටහඬ එලියට ආවේම නැත.කොතරම් උත්සහ කලද කෙඳිරීමකට එහා දෙයක් එලියට ආවේම නැත.(කරුනාකර දැන් ඉතින් ඔබගේ හුරේ දමන කමෙන්ට් දැමීමෙන් වලකින්න ). 😏
            මාගේ කටහඬ නැති වීමේ පුවත ඇසූ අයියලාද,මහප්පාද වහා වහා ගෙදර ආවේ ය.අයියලාට මාරම සතුටු ය.කනක් ඇහිලා ඉඳීමේ සතුට නිසාද,මට කිසිවක් කියාගත නොහැකි නිසාද වටේට හිඳගෙන මට උසුලු විසුලු කරමින් උපන්දා සිට වැහුනේ නැති මගේ කට වැසීමේ ප්‍රීතීය ඔවුන් සමරමින් සිටිති. 😒
   කෙසේ හෝ උණ නිසා ලබා ගත් වන් ෂොට් බෙහෙත් වල ආනුභාවයෙන් මට එසේ වන්නට ඇතැයි තාත්තා නිගමනය කලේ ය.පසුදාම සුපුරුදු වෙදදුරුතුමියගෙන් බෙහෙත් ගත් පසු මට මාගේ කටහඬ ආපසු ලැබිණි.එදායින් පසු වැසි දිනවල තබා හිරු පායන දිනක වුවද එක වරකට වඩා අයිස්ක්‍රීම් කෑමේ පුරුද්ද මම අත් හැර දැමූවෙමි.ඒ දරුණු හිසේ කැක්කුම මතක් වෙද්දී අදද මට අයිස්ක්‍රීම් එකකට වඩා කන්නට සිතක් එන්නේ නැත .
    ඕනෑම දෙයක් ඔනෑවට වඩා ඔනෑම නැතැයි කියන්නේ ඒකය.ඔය ලෙසින් ලෙඩ වෙනකම්ම එකම කෑම කාලා පසුව එපා වී ගොස් යලි කටේ නොතියන්නට තීරණ ය වූ කෑම ලැයිස්තුවක් මට ඇත.මගේ කොයි වැඩෙත් ඔය කෑම වාගේ යැයි කියන අපේ අම්මා ඇත්ත කියනා වග වැටහෙන්නේ ජීවිතේ කාල ගෙවෙන විට ය.පිටතින් පෙනෙනා තරම්ම නැති කොයි මොහොතක හෝ නරකක් විය හැකි ඔබ ප්‍රිය කරන දේවල් මේ ලොව කොතෙකුත් තිබිය හැක.සීමාව දැනගෙන ජීවත් වීම වටින්නේ ඒක ය.එය අයිස්ක්‍රීම් වල සිට මේ මිහිපිට ඕනෑම දෙයකට වලංගුය .ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැතැයි කියා හිසේ තබාගෙන ජීවත් වීම වටින වග වැටහුනේ අයිස්ක්‍රීම් නිසා කටහඬ අහිමි වූ දා සිට ඉන්පසු උදා වූ බොහෝ අවස්තාවන් වල සිට ය.
     කෙසේ හෝ මම දවසකට ගොලු වීමී.වචන පිට වුවත් සද්දය ආවේ නැත.කොඳුරමින් කතා කිරීමේ කරදරය දැනෙන්නට කොයිවෙලෙත් ඇති කටහඬ නැති වෙලාම බලන්න ඕනෑ ය. මට තවමත් ඒක මතකය.එසේ නොවුනා නම් සති ගානක් පුරා අයිස්ක්‍රීම් එකක් අර ලෙසට ගෙදර ශීතකරණයේ දැනුත් සෝ සුසුම් හෙලමින් බලා සිටින්නේ නැත. 😎අදද එවැනිම වැහි දවසක් වුවත්,නිකන් ලැබුනු අයිස්ක්‍රීම් එක ගැන නොසිතා හිත හදාගන්නට අවසානයේ මම ඉගෙන ගත්තේ එහෙමය.
  
    
මානි...✒️

Wednesday, October 25, 2017

අප්පච්චී

අත් බැඳෙන අත් හැරෙන රිදෙන සීරෙන තැනක..
වත්ත කටු වැට ගාව ලේ පෙරන් වැටි    දාක
එකක් මත එකක් පිට ප්ලාස්ටර් ගෑ   දවස
හිතුවාද මේ සිතත් ප්ලාස්ටර් පැතු    සවස..

හිනැහිලා නුඹ ගාව මන් කෝල බස් පෑව
ලඟ හිඳන් කතන්දර පඬි කතා කී  සවස
නිහඬ ඇයි දෝණියේ  නුඹ නාසනා දවස
ඒතරම්    අපි   දුරස්  වරද  කාලය අතද..

කිසිදාක  නොසිතාම  රැවුම්  ගෙරවුම්  පෑව
නොබිඳෙන්න හිත් පතුල ඔවදනක් නුඹ දුන්න
ආයෙමත් දොර දෙපස හිඳ කඳුලු වැල් බිව්ව
ඔය පපුව පෑ සෙනෙහෙ කොහෙන් මන් අහුලම්ද..

රලු පරලු ලෙස පෑරී නෙත් කඳුලු දුටු දාක
අඳුරුබර හවස් ඉම  මා වටා රැඳි     දෑත..
හරි තදින් සෙනෙහසින් ඉහිරි කෙහෙරැලි හදන..
අප්පච්චී නුඹ තරම් සෙනෙහසක්  වෙන කොහිද...

_මානි_ ✒️



Friday, October 20, 2017

සරුංගල්

ඈත ගුවනත සරන සැරිසර
සිහින් සුලඟට පාව නැලවෙන
සරුංගල් මද සුලඟේ නැටවෙන
සිහින් රැහැනින් බැඳී පොලොවට...

කුණාටුව සේ හමන   සුලඟට
එහෙත්  දැඩිවම රැදුණු  අතකට
පොර බදා හති වැටුණු විගසට
නූල   බිඳුණා   සුලං සරයට...

කැරකී කැරකී කුණාටුව තුල
සරුංගල් ඇදුනාද අහසට
ඉහල නිහඬම වලා ගැබ් මැද
සැනසුමෙන් පිරි තලාවක් ඇත..

රැහැනකින් බැඳි  සිහින්  රිදුමට
බිඳී  ගිය    සර සුලං පහරට
අයාලේ  යන  සරුංගල්  වුව..
නිහඬ  සැනසුම් සුව විඳිනු ඇත.. "

_මානි_



Saturday, October 14, 2017

කවිකාර වැස්සකට!! ⛈

එකම එක වස්සාන සමයක
නිහඬ නිසලව ගෙවුණු සවසක
මගෙන් මා ගෙන දුර අතීතෙක
ඇදුණු නුඹ අද කොහේ කොතනද...

ආයේ ආයෙම වැටෙන වැස්සක
තුරල් වුනු නිල් අහස් පතුලක
සැඟව නිහඬව ගැලුව කඳුලක
වෙනස කිම වැහි කඳුලු බිඳාකද..

විටෙක මතකද විටෙක සුසුමක
තෙතම බරිතව ආ වලාවක
පහස විඳගෙන හඬන පොලොවද
දරනු බැරි පෙම් කලා වැස්සට..

වැස්ස නුඹ වුනු එක් කලාවක
බරිත විය පෙම් රස ගුලාවක
නිහඬ වැස්සක ගෙවෙන සවසක
බොඳ වුනා තුරු අකල් වැස්සක.. !!! 

_මානි_ ✒️