Wednesday, February 22, 2017

කවියකට පෙම් බැඳ ❤️

රෑට රෑට හෙමින් හෙමින්
හිතට ඇදෙන ඒ කලුවර
නෙත් පියාන හීන දැක්ක
මගේ ලෝකෙට දුන්න කඳුල..

අහංකාර ඔය ඇස් පිය
ප්‍රති රූ ඇඳි හිත් පතුලක
ආඩම්බර පරලු හිතක..
පාදම නුඹ වෙච්ච අරුම..

දුර යන්නට වාරු ගන්න
අත්වාරුව ලැබුණු දාක..
මටත් හොරෙන් මගේම ඇස්
අතරමංව රැඳුණු සවස..

තවම ගැහෙන මේ හදවත
කොඳුරන ඒ බස් නොදන්න..
දන්නවාද මටත් හොරෙන්..
ලෝකය නුඹ වෙලා මෙන්න..

පෑන්තුඩට පෙම් බඳින්න
වදන් වලට හාදු දෙන්න
දැනන් උන්නු කවිහිත යට
ප්‍රේමයේ මල් පිපිලා අන්න.. ☺️

#ආදරයට_ආදරෙන් ❤️

#මානි

Tuesday, February 14, 2017

මේ හිස් අහස යට..

"බොහො දේ වටකරන් හිනැහෙන
බොරුව වටවූ දිවිය මැද්දෙ...
දිනූ අහසක් නොලැබි තරුවක්
අහස පරදා හද රිදුම් දේ... ☺️ "

#මානි ☺️

Sunday, February 12, 2017

පන්හිඳක සිතුවිල්ල

2017/02/10

'වෙලාවකට ජිවිතෙත් හරි අමුතු දෙයක්.. වෙලාවකට මුදුනටම අරන් ගිහින් ආයෙම බිමටම ඇදල දානවා වගේම.. එක් පාරට උස්සලා පොලවේ ගහන්නත් ජීවිතේට පුලුවන්... වෙලාවකට ඒ බය අපිව මරනවා.. ඒත් ඒ බයටම තමයි අපිව ජීවත් කරන්නත් පුලුවන්.. "

#මානි

Tuesday, February 7, 2017

වටහා ගත නොහැකි වූ... ඔබ.. 👒🎩

මගේ සුසුමන් හැඟුම් හැරවුනු
ජීවිතේ එක් මංසලක් මැද
මිතුරු බැල්මෙන් ...
ජීවිතය හා බැඳි නුඹ...
සවන් යොමුවෙමි මම
නුඹේ දෑත් හා බැඳි.. 👫
නැවතුමක් විය සොඳුරු ඇසුරක්
දැනුනු ඒ ඇසිල්ල..
සරන්නෙක් වෙමි මම👣👣
දිවියෙ බොහෝ මංසල් වල..
නමුත් වටහා නොගත හැක
ඔබ මටද.. මට ඔබද..
නුඹ මවෙත ගෙන ආ මාවත.. 👢

නුඹට එකඟ විය හැකි
මට එසේ නොමවන..
ජීවිතය විය මෙය
වටහා ගත නොහැකි..
ඔබ මටද.. මට ඔබද..
ඒ තීරණය ඔබ ගත්..
මේ අහස පොලව හා බැඳි..
සෙවනැල්ල වීමි ඒ හිරු එලියට..
හැරවීමී ඒ යතාර්ථය ඔබ පැවසූ.. 🎭🎭

අවසන..
කාලයයි මාගේ නික්මනට... 🚗👞
නැවතුමක් ඇත හිමි වූ මට..
නුඹටද යා හැකිය නික්මී
නුඹේ මාවත හා බැඳී..
වටහා ගත නොහැකි..
ඔබ මටද...මට ඔබද...👢


#මානි 👒

https://youtu.be/ZXy5aFphZgo

Monday, February 6, 2017

උන්මාද වූ... 🌹🌹

උන්මාද නින්නාද
හිත ගත්ත හැන්දෑව..
සංසාර පින්සාර
හීනයකි හිතගාව..
කවී කීව..නුඹ ලීව
මගේ නොවී මන් ගාව...
සන්තාන පෙම් හීන..
නොකියාම නුඹ පෑව.. 👒👒

මට මාව නොතියාම
නුඹ දුරක ගිය අරුම..
සංසාර පෙම් හීන..
මන්දාරමෙන් ඈත
සිහිනයක් කඳු ගාව
නිම්නයේ දලු ලෑව..
උන්මාද නින්නාද
පෙම් කතා අපි ලීව.. ✒️✒️

ගිම්හාන මදහාස..
කන්කලුය ගී රාව..
කවිකාර හැන්දෑව..
ඉසිඹුලන ඉර පාන.. 🌞
එකිනෙකට බැඳි තාම..
වෙන්ව ගිය ඔය දෑත..
තව ගැහෙන හදරාව..
නුඹ තවම මං ගාව.. 😉

#මානි

Sunday, February 5, 2017

ෆැන්ටැස්ටික් ෆැන්‍ටසියේ ෆැන්ටාසයිස් හීන 🎬👒👣🎩

"ජීවිතේ ෆිල්ම් එකක් නෙමෙයි බන්"  🎥🎬

තර්ක විතර්ක වාද විවාද දහසකුත් එකක් මතවාද අවසානේ ඔය කිව්වේ අන්තිමට... චිත්‍රපට ජීවිතෙ කරගත් තවත් එක් පිස්සියක් එවගේම පිස්සියෙක්ට ඔන්න ඔහොම කියනවා..

ඇත්ත..

ජීවිතේ කියන්නේ යාශ් චොප්රාගේ ආදරණීය සිනමා සිත්තමක ප්ලොට් එකක් වගේ නෙමේ.. ජීවිතේ යාශ් චොප්රාගෙ ෆිල්ම් එකක් වගේ වෙනවනම් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සින්දුවක් කියාගෙන පරම, පිවිතුරු නිර්මල ආදරේක අයිතිකාරයෙක් විදියට මුලු ජීවිතේම අපේ වචනෙන් කියනවා නම් "ආතල් එකේ" ජීවත් වෙන්න තිබ්බා.. ඒ ෆිල්ම් ... මේ රියලිටිය 👒🎩👠👞

මිනිස්සු ආසයි ෆැන්ටසියට...🎩 රියලිටියෙ ජීවත් වෙලා වෙලා හති දාගෙන වෙහෙසට පත් වෙච්ච ජීවිතවලට ෆැන්ටසිය නිකම් කාන්තාරෙට වැටෙන වැහි පොදක් වගේ .☄..ෆැන්ටසිය කියන්නේ හීන ලෝකයකට... සැබෑ ජිවිතේ අයිති කරගන්න බැරි බොහෝ දේවල් තමන්ගේ කරගෙන විඳින්න පුලුවන් අරුම පුදුම තැනක් තමා "ෆැන්ටසිය" 😊

ෆැන්ටසියේ ආදරකතාත් වෙලාවකට ඒ වගේ... අයිති කරගන්නවද.. ජීවත් වෙනවද .. කැමතිවෙයිද ... නැත්ද.. දුක් විඳිනවද ඒ වගේ දේවල් ප්‍රශ්න වෙන්නෙ රියැලිටිය ඇතුලේ බොක්කෙන් නැත්තම් ආමාශෙන් ලව් කරන්න ගියාම.. හැබැයි ෆැන්ටසියට ඕක වෙනස්.. හරියට ෆිල්ම් එකක් වගේ..😉😉

කාට හරි ආදරයක් ඇතිවෙනව කියමුකෝ..සාමාන්‍යෙන් ඔය ආදරේ ඇතිවෙනවා කියන එකත් එක එක විදියයි.. සාමාන්‍ය සමාජේ වෙන දේවල් අහලා, දැකල කියනවා මිසක් ඔන්න ඊලඟට මේක කියවලා දුවගෙන දුවගෙන ඉන්බොක්ස් ඇවිත් අහන්නෙපා "ලව් ගැන PHD එකක් හම්බෙලාද අර කියවන්නෙ කියල 😉😉"

කොහොමින් කොහොමින්හරි කාටහරි කවුරු හරි ගැන හිතක් පහල වෙනවා.. ඕක රියලිටි එකේ නම් ...ඒ කියන්නේ ඊලඟට පටන් ගන්නේ නොකා නොබි ක්ෂිතිජ ඉමේ ඉඳන් අහස පොලව ගැට ගහන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා කියන එකට..⛅️ ඒ අස්සෙ ඔලුව නිකම් ඒලෙවල් කෙමිස්ට්‍රි පේපර් එකක් ගානට වැටෙනවා.. හා කියයිද ,බැ කියයිද,ඔව් කියයිද ,එපා වෙයිද,යාලු වෙයිද,තරහා වෙයිද ඔහොම ඔහොම එක එක එවා..බහුවරණ පේපර් එකක්.උත්තර ඔක්කොම එක වගේ.. මන් මොකට කියනවද.. දන්නෝ දනිතිනේ ඉතින්..😉😃

ෆැන්ටසිය ඇතුලේ ඕක වෙනස්  .. හැන්දෑවේ පාරෙදි දැක්ක කෙල්ලව ගෙදර එන ටිකට යාලුවෙලා ,කසාදත් බැඳලා මැරෙනකම්ම එකට ලුනුයි බතුයි  කාලා ...අන්තිමටම රෝමියෝ ජුලියට් වගේ එකටම මැරෙන්න ෆැන්ටසියෙ ඇතුලේ පුලුවන්😍...ලබාගන්නම බැරි ඈත තියෙන වස්තූන් දුකක් නැතුව ලබාගන්න පුලුවන් එකම තැන ෆැන්ටසිය විතරයි...👫

ඊලඟට මේ ෆැන්ටැස්ටික් ෆැන්ටසි හීනේ ඇත්තක් කරගන්නම ඕනි කියලා රියලිටි එක් ඇතුලේ ෆයිට් කරන්න ලෑස්ති හීරෝස්ලා ගේ කතාව වෙනම එකක්..හැබැයි ෆැන්ටසිය රියලිටිය ඇතුලෙ මවාගන්න ගිහින් ඔය ලෝක දෙක එකට හැප්පුනාම ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය ගානට වැටෙන්නෙත් අපිම තමා...🙈
ඊට පස්සෙ පටන් ගන්නේ ඉතින් නොකා නොබී කඳුලු බීලා සත්‍ය ප්‍රේමෙ නාමෙන් නාහෙන් අඬන සෝචනීය කොටස... ඔන්න ඔතනදි යාශ් චොප් රා ගේ ෆිල්ම් වල නම් අර ග්‍රෑන්ඩ් ක්ලයිමැක්ස් එක් දෙනවා.. ෆිල්ම් වල නලුවන්ට දෙයියොත් උදව් කලාට  රියලිටියේ මේක් වෙනස්...⏳⏳

ආදරේ විතරක් නෙමේ..හුඟක් තැන් වල ඕක ඔහොමයි..එකාකාරී ජිවිතෙන් මිදිලා මවාගත්ත ලෝකෙක ජීවත් වෙලා සතුටක් ලබන්න මිනිස්සු කැමතියි.. මම නම් කියන්නේ එහෙම කරන්න ඕනි..ෆැන්ටසිය ඇතුලෙ මැවෙන සේරම නොවුනත් තමන්ට ලබා ගත හැකි මට්ටමේ අරමුණු වගේ එවා ගැන හිතලා ඒවා ලබා ගන්න උත්සහා කලාට කමක් නෑ . 👢👢 හැබැයි ජීවත් වෙන්න හදන්නෙපා.. බොහොමයක් කවි,කතන්දර ලියන කියන දේවල් මුලින්ම මැවෙන්නෙ මිනිස්සුන්ගෙ හිතේ කියනවනේ ... ඒත් ජිවිතේ රියලිටිය ගේන ප්‍රශ්න වලට ෆැන්ටසියෙන් උත්තර හොයනව කියන එක් ටිකක් "බය හිතෙන " ටයිප් එකේ වැඩක්..⏰

ඔය හිතෙන් මවාගන්න ෆැන්ටසිය මගෙත් එක් ලොකු කොටසක්.. හැබැයි ඒකේ ජීවත් වෙනවද නැද්ද කියන එකත් අපේම දෙයක්.. තීන්දු ,තීරණ ගන්නකොට පොලවෙ පය ගහලා ජීවත් වෙන්න කියලා සරලව කෙටියෙන් කියන්නෙත් මේකටම වෙන්න ඇති..මොකද ඒක අපේ  ෆැන්ටසිය උනත් ,ඒක අපේ රියලිටිය උනත් අන්තිමට අපි ඉස්සරහට එන කන්දක් උස ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් ඕනි අපිම හින්ද.. 🐤
  මොකද කරදර වලදි අපිට අපි මිසක් වෙලාවකට හැදූ වැඩු දෙමව්පියන්ටවත් අපට උදව්වක් කරන්න විදියක් නැති වෙන හින්දා...

ඒ හින්දා ඉතින්....
ෆැන්ටසිය විඳින්න.. රියලිටිය අත් නොහැර.. මොකද කවදහරි ජීවත් වෙන්න වෙන්නේ මේ ගෙන්දගම් පොලව උඩ කටු කොහොලින් පිරුනු ජිවීතයේ  තිත්ත ඇත්ත නොහොත් #රියලිටියේ නිසා.... 😊👍

#මානි

#ෆැන්ටසියට ආදරෙන් ‍❤️‍

කිරිල්ලී 🐦🐦🐦

යන්න තිබුනා නම් බොහෝ දුර
නිමක් නොදැනෙන මාවතක් මැද..
නොනැවතී එක හුස්මකට තද..
අතුරුදන් වී යලි නොඑන්නට..

මාත් පැටලුනු මේ මකුලු දැල..
තදින් ගැට ගැහිලාද තව තව..
මිදෙන්නට මට මඟක් නැති සඳ..
හිරවී හිරවී බෙල්ල මුලටම..

පාර පාරා තවම රිද්දන..
නුඹෙන් ඇඳි ඒ රූ සිතුම් පෙල..
තවත් නොදවන නමුත් මා සිත..
අතරමං වී මේ අහස යට..

ජිවිතය.. ගෙවි ගෙවීලා යන..
විසඳුමක් නෙත් මානයේ නොම..
ඉමක් නැති මේ දිවි කතර මැද..
මංමුලා වූ කිරිල්ලිය මම... 🐦🐦🐦🐦

#මානි

කඳුල නුඹ...

"ආරාධනා නම්
කලේ නෑ මන්..
කොයිවෙලෙත් පහලට
වැටෙන්නට..

තවම දන්නෑ ..
කොහොම එනවද ..
නොනැවතී මේ ඇස් වලට
නුඹ ...

ඔහොම ඉනුවට
හිතේ දුකකට..
කෙලවරක් නැති..
ගඟක් විලසට...

ලැජ්ජා නැතිකම..
හයිය හිත් බිඳ..
සිනාසෙන්නට..
වගක් නැති ලෙස..

පාලු දුක්බර
කවියෙ පදයට..
අරුත්බර වූ "කඳුල"
නුඹ මට..

සමුදෙන්න දැන්...
යලි නොඑන්නට..
බිඳින්නට බෑ..
ගලක් අද මම..."

#මානි

Saturday, February 4, 2017

"දුවන දිවිල්ලක් හැබෑට.. 👢👢👢👢"

පාලුවට ගිය බ්ලොග් පිටුව.. 📝📝
නිවාඩු ගිය තනි රූල් කොල..📑📑
මේසෙ කොනක ඉඳන් හූල්ලන පාට පාට පෑන් ගොඩ...

එව්වා පැත්තක.. දෙයියනේ මට වැඩ තියෙනවා.. 😒😒
කවියක් ලියන්න .. ආසාවට ඇස් පියාන හීනයක් බලන්න.. මනෝ පාරක් ගහල තනියම හිනාවෙන්න..

නෑ නෑ අපට කොහෙද ඕවට වෙලාවක්.. දුවන්න තියෙනවනෙ..  රේස් එකක්.. 👞👞
සුසන්තිකා තරම් ප්‍රැක්ටිස් කරල ගෝල්ඩ් මෙඩ්ල් එකකට නොදිව්වට කොහොමහරි දඟලලා දඟලලා ගොඩ යන්න අපටත් අහින්සක හීන තියෙනවා..

"අපේ ලමයා ගෙදර ඉන්නවද ... මන් දැන් හුඟ දවසකින් හරියට මූණ දැක්කෙවත් නැ "

" බලාගන්න තරම් වෙලාවක් එයා ගෙදර ඉන්නවද අපේ මහත්තයා"

ඔන්න.. එ පාර ගෙදරටත් අපිව අමතක වෙලා.. මුනු පොතත් වහල බ්ලොග් එකත් පැත්තක විසී කොරල හරියට නිකන් ඉඩෝරෙට අහුවෙච්ච මොකද්ද පැලයක් වගෙ 🌾🌾 වේලී වේලී.. හැල්මෙ හති දාගෙන දුවන මේ ජිවිතෙ මොකද්ද කිය්ල හිතන්නවත් වෙලාවක් තියෙනවද කියල හිතන්නවත් දැන් වෙලාවක් නැතුව ගිහින්..

අපි දුවනවා..නිකම් නෙමෙ හැල්මෙ දුවනවා..👡👡👡 හිතේ ආසාවට ලියන්න ගත්තු කවි කතාවල චරිත ඊලඟට කොහෙ යන්නද කාව හම්බෙන්නද.. මොකක් කරන්නද කියල දන්නැතුව ඩෙස්ක්ටොප් එකට වෙලා අතරමං වෙලා බලන් ඉන්නව..  👀👀
එවා දිහාට ඇහැක්වත් යවන්නැතුව අපි ඩේටා බේස් බදාගෙන දඟලනවා...👻

පොත් පැන්සල් ලස්සන ලොකු හීන එක්ක ඉස්කොලේ ගිය එ කාලෙ කොච්චර සුන්දරද කියල හිතෙනවා.. දැනුත් පොත් පෑන් පැන්සල් නැතුව නෙමෙ..මෙ තියෙන්නෙ බැබලී 👀....එ අතරින් තව තව ජාතිත් ජිවිතෙට එන්න අරන්..ආදරේ ,බිඳුනු හිත්,බලාපොරොත්තු ,අසාර්ථක වෙන්න බය වගෙ දෙවල් එක්ක වෙන විකාර වලට කාලෙ යවන්න බයෙ ආසාවල් පැත්තක  දාල අපි ආයෙත් දුවනවා..👟👟

මෙහෙම දුවගෙන දුවගෙන යද්දී... පුංචි මහන්සියකට එක් තත්පර 1/1000 කට වගෙ නැවතිල්ලක ඉද්දී.. මට මෙහෙම හිතෙනවා...
දුවලා දුවලා දුවලා ඉවරවෙලා හති වැටිලා හුස්මක් ගන්නම බැරුව ගිහින් නතරවෙලා කවදහරි ආපහු හැරෙද්දී.... අපි හුඟක් දේ පහු කරන් හුඟක් දුර ගිහින් තියෙද්දී... එදාටත්...
අතෑරලා දාල ආව දුඹුරු පාට ගැහිච්ච කොල මිටි ටිකයි, තීන්ත ගල් වෙලා වේලුනු පෑන් ටිකයි... ඔද්දල් වෙච්ච මනස ඇතුලෙ තිබ්බ ලස්සන හීනයි ඉතුරු වෙලා තියෙවිද කියල... 😕😕

එහෙම තිබ්බොත් නම්... සමහරවිට ආයෙමත් ඒ හීනවලට පණදෙන්න අපට පුලුවන් වෙයි...
මොකද ජීවිතෙ ගෙවුනත් හැමදාම එක් වගෙ සුවඳ විඳින්න පුලුවන් එකම දේ " #හීන " විතරක්ම හින්දා ....👢👢 😊😊

නෙත් පියවෙන එක කලුවර අහසක..
සඳ තරු තනිවම බහක් දොඩනවා...
එ අහසම යට දෙතැනක තනිවුනු
තනිකඩ හිත විරහවක් විඳිනවා....

නිදිබර නෙත් යුග දහසක් වැඩ මැද
පෙම්බර සිත් තව දොඩමලු වෙනවා...
සැන්දෑ අහසට ඉඩදී මළ හිරු..
වලා ගැබේ සැඟවිලා නිදනවා..

ඊයක වේගෙන් කාටත් හොරැහින්
කාලය ඈතින් ඈත ඇදෙනවා..
කැරකෙන ජීවිත නොනිමි සිහින හා
ලොබ බැඳ මරණය තෙක්ම දුවනවා... "

#මානි 😊

#ෆැන්ටසියට ආදරෙන්.... 👀👀