Thursday, October 29, 2020

නොස්ටැල්ජියා 🍀



මේවා මහා වර්ගයේ නොස්ටැල්ජියාවන් ය.. පොකට් මනි එකතු කිරීම්ද.. එකල අවුරුද්දට අත මිට මෙලවූ රුපියල් දෙසීය තුන්සීය වලින් කල එකම හපන්කම නම් මේවාය.. කාලයක් අන් සියලුම පොත් ගැනීම් නවතා හෝම්ස් පමණක් එකක් නෑර ගත්තෙමි.. චන්දන මෙන්ඩිස්ගේ අලුත් පොත් වලින්ද මුල් කාලයේ සැලකිය යුතු කොටසක් මා සතුය.. ඒ මුල් කාලයේ කතා වල ඇත්තෙන්ම යම් ෂර්ලොක්මය බවක් තිබූ අතර මුල් පිටුවෙන්ම අපරාධකරු ගෙස් කරන්නට අපට හැකි වූයේ නැත.. 

   උදේ පාන්දර ඇස් අරින්නටත් ප්‍රථම හෝම්ස් සිහිපත් කල රෝසාට පින් සිදු වන්නට රාක්කයේ මේ කෙලවර බිමට ගතිමි.. මා එය ගොඩ බාන්නෙ නැත්තේ අන් කිසි හේතුවක් නිසා නොව හිතේ අමාරුව හදා ගත යුතු නැති හෙයිනි.. මන්ද හෝම්ස් යනු මගේ හොඳ හිත දෙපිටින් ගිය අයුරු මට පෙන්වන තවත් දරුණු වර්ගයේ උදාහරණයක් නිසාය.. 

  කෙසේ හෝ මේ පොත් වල මා ආදරණීය පරණ මතක බොහො රැඳී ඇත.. ඉස්සර පොත් ගත්ත විට ඒවා ගිය පිලිවෙලක් විය.. මගෙන් නිර්මානියාටද.. කලානි.. අචිනි.. රවින්දි.. කේශාලි.. (ඒ කාලේ 💜️)  ඔය වාගේ එක පිලිවෙලකට ඒවා ගොස් නැවත මට එන්නෙ බොහෝ කල් ගෙවීලා ය..අලුත් පොතක් ගත් විට තරම් බටර් මට එකෙක් හෝ පාසල් යන කාලයේ අන් එක වැඩකට හෝ ගාලා ඇතැයි ද මන් නොසිතමි.. 😂😂😂 

   ඒත් මේ මතක මිහිරිය. පොත් කවර ඒ මතක තරම්ම පරණය.. ලොකු අකුරින් නම ලියා අයිතිය තහවුරු කෙරූ කාලයේ සිට හත,අට,නමය, සාමාන්‍යපෙල, උසස්පෙලටත්, ඉන්පසු NIBM සහ NSBM සමයේ පවා මම මා ඒ කාලයේ කරන්නේ කුමක්දැයි පිලිවෙලට ලියා ඇත්තෙමි.. දිනය දැමීම කුඩා කල නොකරපු හෙයින්දෝ පන්තියෙන් අවුරුද්ද සොයා ගත හැකිය.. තවත් තැන් වල අනුග්‍රාහකත්වය වෙනුවෙන් පුංචි සටහන් ය.. උපන්දින.. අවුරුදු උත්සව.. පන්තියේ හොද ලකුනු ගත්තාට ආදි ලෙස .. රටේ නැති හේතු කියා පොත්ම ගත්තා මිස බලෙන් ඇඟේ ගැහුවොත් මිසක අදද ඇඳුමක් පැලඳුමක් දෙස ඇහැක් ඇරලා නොබලන මම නැමැති දරුණු පොත් කාවා හැදුනේ මෙහෙමය.. අදත් මගේ ගන්නට ඇති පොත් ලයිස්තුව කියවා ඇති එකට වඩා වැඩිය..එය අප කාටත් එහෙමය.. අප යනු ලේසියෙන් සෑහිමකට පත් නොවන ජීවීන් විශේෂයකි.සරසවිය ගෙදර ගෙනත් බෑවා වුවද අපට මදිය.දැන් මේ හිඩැස් පුරවන්නටද ඕනෑය.. ගෙන ගිය ගෙනත් නුදුන් අය වෙනුවෙන් අහිතක් නැතත්.. දරුවන් වාගේ ලඟ සිටි උන් එකා දෙන්නා නැති වග පෙනෙනවිට චුට්ටක් වේදනා ය.. ඒ ඇර වෙන අවුලක් නැත.. මිසින් ඒවා එකතු කල හැක.. 

  ඉඳහිට දිනෙක මාගේ රාක්කයට එබී පොතක් අරගෙන කියවන අපේ අම්මා මාගේ දසපනත් නීතියට එකඟව දැන් පොත් කියවයි.. එනම් නවන්න බැරිය.. කොල පොඩිවන්නට හරවා තැබිය නොහැකිය.. තාත්තාගේ ඩෙංගු බුක්මාක් මිටියට පින් සිදු වන්නට අපේ ගෙදර බුක් මාක් හිඟයක් නැත.. පත්තර ගානට බුක් මාක්‍ ය.. ඒ සියලු දස පනත පිලිපදින ඈ අලුත් පොතක් ගන්නට ආ කල රාක්කය දෙස බලා නවතී.. හොරෙන් ගත් පොත්ද.. ඈ දකින්නට පෙර පැන්නු ඔන්ලයින් ඕඩර්ද ,කිරි කිරි දින වලින් සටහන් කොට අත්සන් යෙදූ දිස්න සහිත කවරද අදත් ඈ හට විරිත්තමින් සිටී.. 🤭 

"මේවා.. මේ ..මේවා කවදද ගෙනාවෙ.. ? මන් මේව දැක්කේ නෑනේ කලින්.. දෙදාස් දහ නමේ 😱 .. ඔන්න උඹලා කැම්පස් යන්න කියල ඉල්ලගන්න සල්ලි වලින් කරල තියෙන ඒවා.. මොන සල්ලි කන්දරාවක්ද අම්මේහ් ඉතින් මේ.. දැන් අවුරුදු කීයක්ද.. අපේ සල්ලි  නේද මේ.. 😏😏😏" 

 යනුවෙන් යාං හෑල්ලක් පමණ දිග ඇගේ සුපුරුදු නෝක්කාඩුව කියවයි.. 

"ඉතිං.. ඒ සල්ලි විනාස වෙලා නෑ.. ඔය තියෙන්නෙ.. ඕවා හිතන්න තිබුනේ.. ඒ කාලේ එක එක ගෙනත් මේ දරුවට පොත් කියවන්න පුරුදු කරන්න ඔනී කියලා හිතන්න කලින් නේහ් මෙයා 😁😌" 

"පලයන් යන්න.. 😏😏"

ඒ අතර සත්‍ය බිල් ගැලවූ එවාද..ශොපින් නන් සරසවි වර්ගයේ වෙනම මල්ලක් වෙන් කල හැකි සරසවි කවරද.. ඔන්ලයින් බිල්ද.. කර්ෆිව් නිසා එන්න පරක්කු වු ඕඩර්ද ඇත..සඟවා ඇත.. නිකන් හෝ අම්මා ඉදිරියෙ මේ ගැන කියවා කට වරද්දා ගන්නත් එපාය.. කර්ෆිව් නිසා යන්න තැනකුත් මට මේ දිනවල නැත.😕

 ඒත් අම්මා බනින්නේ බොරුවටය.. මන්ද පොතක් ඕන්නන් දුවගෙන් ඉල්ලන්න යැයි දොඩන ඈ මගේ රාක්කයෙන් මට කියන්නන් කියා හිතවතුන්ට පොත් දිමේ ව්‍යාපෘතියක්ද මහත් ආඩම්බරයක් ඇතුව ඉඳ හිට දියත් කරයි.ඒ අස්සෙ මේවාට Feedback ද දෙයි.. දැන් අවුරුදු පහලවක සිට මේ ක්‍රියාව දිනපතා සිදු වෙයි .. 

මම දේවල් එකතු කරන්නියක්මි.. මගේ උමතුව මේ ඡායාරූපය පිටිපස සිනාසෙමින් ඇත.. කවදා හෝ මගේ යැයි කියා දෙන්නට ආදරෙන්ම එකතු කලේ මේවාය.. මේ වෙනුවෙන් වෙනම තැනක් තවත් ආදරේ පිරුනු තැනක වෙන් කරන්නට මට වෙනම ප්ලෑන් එකක්ද ඇත.. ඒ වෙනුවෙන් ස්තූතිය සහෝදරයා නාට්‍යටය ..😌 

 ඔයා නිසා අපි හුගාක් පොත් කියෙව්වා මානි/පුතේ යනුවෙන් ඇසෙන අදහසකට යටි හිතින් හීනී ආඩම්බරයකින් පිරෙන්නට මට හැකි මේ නිසාය.. මේවා නොස්ටැල්ජියාවන් වන්නේ ඒ නිසාය.. හෝම්ස්ද.. ලෝරාද.. හැරීද.. ඈන් ද.. මහාචාර්ය ලැංග්ඩන්ද.. සෙන්ට් ක්ලේයාර්ද.. මැලෝරි ටවර්ස් ද.. පොලියානාද.. ඈන් ෆ්‍රෑන්ක්ද.. රෝල් ඩාල්ද..ශිවද.. එලිසබෙත් ඇලන්ද.. සෑම උදෑසනකම මා දෙස බලා සුපුරුදු සිනා පානවා නම්.. ජීවිතය උඩු යටිකුරු කරන සුලං කෝඩ දහසක් හමා ගියද..මහ පොලොව දෙදරා ගියා වුවද.. දෙයියනේ කියා සිනාසෙන්නට අරුම හැකියාවක් මට අදටත් ඇත.. 💜️

#මානි







Tuesday, October 13, 2020

මුතු පබළු

 බිඳ බිඳ නැගෙන සාගරයක රැල්ල සම

දෑසින් කඳුලු පොර බදමින් පනින ඉම 

හැප්පී බිඳෙන කොපුලුත් ගල්කුළු සේම

 අඳිමින් මවති සේයාවන් බිඳුනු පෙම ...


අහසට සඳට කවි ලියු තුන් හිත පාළු..

සඳ නාමෙන් නැවතී  ඈ කඳුළු හෙලූ..

දහසක් තරු මැදින් සහසක් සිහින මලූ..

සඳ බෙදනවා යලි ලෝකෙට අරුම බැලූ..


 අමදාරා  මී  රසඳුන්  පොවමින්නේ..

දහසක් සිහින දෙමි නෙළලා දොඩමින්නෙ..

කියුමන් වැලපෙමින් සිහිපත් කරමින්නේ..

එක් කුමරියක් සඳ දුන් දුක් ගිනි බොන්නේ ..


වැටි මුතු පබළු මෙන් දිලිසෙන කඳුලු කැට

ගෙන දෝතට සිහිනය සේ පාට කොට..

කවි පබලුවක මෙන් අමුණා එකට  මිට

පලඳිනු රිසිය තරු වැල් සේ මවා පොට..


සඳ හිමිකරත් දිලිසෙන මුතු කඳුලු වැනී

 පලඳින්න ඒ මුතු කැටයම් ලෙසිනී.. 

කඳුලැලි බිඳුම යා කල සිත් මදහසිනී

වපුරන් ප්‍රේමය ම  දළුලා සිනාසිණි ..


- මානි -