Thursday, November 30, 2017

"දිට්ඨ ධම්ම " ✒️

        "මිනිස්සුන්ට කලකම් පලදෙනවා පුතේ.."

         මේ මම පොඩි කාලේ අපේ ආච්චිලා,අම්මලා නිකමට මෙන් කියූ කතාවකි.ඊට පසු දහම් පාසල් ගිය කාලයේද, පාසලේ දී ද මම මිනිසුන්ට කලකම් පලදෙනවා යන්න උගත්තෙමි.ඒ විෂයානුබද්ධව ය.හොඳ කල මිනිසුන්ට හොඳද නරක මිනිසුන්ට නරකද කවදා හෝ පල දෙනවා යැයි ද බුදුන් වහන්සේ  ඊට "දිට්ඨ ධම්මවේදනීය කර්මය " යැයි හැදින් වූ බවද අපි දන්නෙමු.
      කවදා හෝ ජීවිතයේ මිනිසුන්ට එකී කලකම් පලදෙන අයුරු දකින්නට ලැබේ දැයි යන්න ගැන මට විශ්වාසයක් තිබුනේ නැත.හැබැයි ඌරන් මරා ඌරන් විඳි වේදනාවම මරණ මොහොතේ විඳ මියගිය මිනිසුන් ද, එලුවාගේ ගෙල කැපූ පවට ආත්මයක් ආත්මයක් පාසා ගෙල සිඳලීමෙන් මිය ගිය ගැහැණුන් ගැනද ඕනෑ තරම් අසා තිබුණි.
        ඇසූ කතා සහ අත්දැකීම් කියන්නේ දෙකකි.ඒත් අත්දැකීම් වලට ආ කල නරක සැමදා දිනනවා යැයි බැලූ බැල්මට පෙනෙන්නේය.හොර මැරකම්ද,වංචාද,එකී මෙකී නොකී සියලු දුර්ජනකම් කල මිනිසුන් යෙහෙන් වැජඹෙද්දී,අහිංසක මිනිසුන් නොවිඳිනා දුක් විඳිද්දීත් ඉහත කී දිට්ට ධම්මය කොහේදැයී සිතෙනා වාර මේ සමාජයේ ඉහේ කෙස් ගානට ය.ඒ ඔවුනොවුන් පෙර කී පින් පව් අනුව යැයි සිතිය හැකි නම් මේ ආත්මයේ කරනා පව්ද ඔවුන්ට කවදා හෝ පල දිය යුතුය.ඒක පොතේ හැටියට නම් එහෙම ය. ✒️
     මිනිසුන්ට කර්මය පල විපාක දෙන හැටි බුදු දහමේ මැනවින් උගන්වා ඇත.කාලය මොකක් වුවද ගොනා පසුපස කරත්තය සේද,තමා පසුපස නිහඬවම එන සෙවනැල්ල සේද පව් සහ පින් නැතහොත් සියලු යහපත් හා අයහපත් ක්‍රියා සසර පුරා යනවාය.ඉතින් ගමේ රටේ ඉන්නා හොඳ යැයි සම්මත මිනිසෙක්ට කරදරයක් වූ විට

"අච්චර හොඳ මනුස්සයට මෙහෙම වුනා... අර කාලකන්නියාට එහෙම වෙන්නෑනේ " කියා කෝපයෙන් කියනා ඈයන් අනන්ත දැක ඇත්තෙමි.

  කර්මයටද සැරෙන් සැරේ පලදෙනවාට වඩා එකතු කරගත් පව් සියල්ල ට එකවර ප්‍රතිපල දෙන එක පහසු යැයි ඔවැනි අවස්ථාවල අපේ තාත්තලා විහිලුවට පවසයි.කතාව ඇත්තය.නැතිනම් අවුරුදු 30කටත් අධික කාලයක් බල්ලන් ,බලලුන් සේ මේ රටේ මිනිසුන් මැරූ ප්‍රභාකරන්ටද සිය වාරය එන තුරු ඉන්නටම සිදුවිය.ඒත් වැදගත් වන්නේ කාලය නොවේ ය.කවදා හෝ ඔබේ හොඳ ආශිර්වාදයක් ලෙසද,ඔබේ නරක ගොනා පසුපස වූ කරත්තය සේ ඔබ පසුපස ඇදෙන එක ය. 😕
    අතිශය හිතවත් ජීවිතවලට සිතාමතා නරක ද,අයහපතද උදා කල ජීවිත දිට්ඨ ධම්මය නිසා විඳවන අයුරු දුටුවෙමි.ඒ ජිවිතවල සිනාව උදුරා දැමූ මිනිසුන් ඒ උදෙසා වන්දි ගෙවද්දී යලි යලිත් පෙර කී ජීවිතවල සිනාමල් ඉහිරෙන අයුරුද දුටුවෙමි.ඉතින් බුදු දහම බොරු කියා නැත.ඔබ කරනා සියලු දේ ඔබ පසුපස එනවාම ය.
     අතිශය දුෂ්කරම කාල වලදී හිතාමතා කාටවත් මේ ආත්මයේ දුක් දී නැති නිසා සියල්ල හරියන තුරු  එසේ සිතා ධෛර්යය ඇති කර ගන්නැයි අපේ තාත්තා මට උගැන්වීය.අදද එසේ සිතන්නට ,එසේ සිතා සැනසෙන්නට හෝ ලැබීමද විටෙක සතුටක් ය.
 ඉතින් කලකම් පලදෙන්නේ එහෙම ය.එයට ඔබ ජනාධිපතිද,අගමැතිද ,නැතහොත් සාමාන්‍ය රජයේ වෘත්තිකයෙක්ද,හිඟන්නෙක්ද යන්න අදාල නැත.කර්මය බුදුන්ටද වැලැක්විය නොහැකි නම් නිකම්ම නිකම් පෘතග්ජනයෙක් වන ඔබ කර්මයට අපේ බසින් කීවොත් නතින් ය.😊
      මේ දිනවල රටක් ලෙස අපටත් හොඳ හැටි කලකම් පලදෙන්නේ ය.දිට්ඨ ධම්මය සොබා දහම හා බැඳුනු විගස ටිකක් දරුණු ය.මන්ද තමන් නොරකින ජීවීන් රකින්නට සොබාදහමට වුවද උවමනාවක් නැත.හිටි හැටියේම පොලීයත් සමඟින් දීලා අදින්නේ ඒකය.දුක යනු සමූහ වශයෙන් වන්දි ගෙවීම ය.
     කැලේ ගහක් නොවේ යාලු කැලේ නසන්නේ - එහෙම කියපු අපෙ අයමයි කැලෑ කපන්නේ කියමින් හිටු කියා කැලෑ පිටින් රුපියල් සතවල හැරෙද්දී.. බලයට තන්හාවෙන් නිහඬ මිනිසුන්ටත් කව්දා හෝ කර්මය පල දෙනු ඇතිය.ඒ වෙද්දී රටක් කාන්තාරයක් වීම දුකක් වුවත් මිනිසුන්ගේ නොපනත්කම් වලට කවදා හෝ දඬුවම් ලැබෙන්නටත් ඕනෑ ය.දැන් දැන් මේ අහසද ,මේ දැනුත් හඬන්නේ කවදා හෝ කොතැනක හෝ සොබාදහමට රිදුණු තැනක පල විපාකයක් නිසා යැයි සිතනවා හැර අපට කරන්නට වෙන දෙයක් නැතිය.මන්ද සොබාදහමට අවනත නොවන කිසිවක් නැත.
     ඉතින් කොයි පවත් කරන කලට නම් මී සේ මිහිරි මුත් විඳවන්නට වූ කල ද එසේම ය.අනුන්ට ගින්දර දී තමන් දෙව්ලොව යනතුරු බලා සිටිනා මිනිසුන් ඒ ගින්දරෙන් තමන් පිලිස්සෙන තුරුම දන්නේ නැත.ඔබට යහපත් වන්නට ලෝකයට පේන්නට ආගම් අදහමින් සිටිය යුතුද නැත.අවශ්‍ය හර්ද සාක්ෂියට අනුව හොඳින් ජීවත් වීම ය.විද්‍යාවෙන්ද සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇතැයි නිව්‍ටන් ද ප්‍රකාශ කලේ ය.
      සිතන්නට කියා කිවයුතු නැත.ජීවත් වනවිට ඕවා ගැන සිතා බලන්නට ඕනෑ ය.නැතහොත් නරකෙන්ම ජීවත් වී නරකාදියට ගිය කලක වාගේ නිවී සැනසිල්ලේ නොවුනත් ඒවා මතක් වනු ඇත.ජීවිතය ඔබේ බව සත්‍යකි .එහෙත් ඒ ජීවිතය නිසා අනෙක් ජීවිත කරදරයට පත් කරන්නට ඔබට අයිතියක් නැත.මන්ද අවසානයේ මෙය ඉතා සරලය.ඔබ දුන් ලෙස ඔබත් ලබා ගනු ඇත.ඇතැම් විට පොඩ්ඩක් වැඩි වෙන්නත් බැරි නැත.මන්ද මේ විශ්වයේ ඇති සත්‍යය එය නිසාය.😊✒️

#මානි ✒️

Tuesday, November 28, 2017

අතීත....

අකීකරු මන්දාරම්ම අහසක
වලාකුලු පෙම් බස් දොඩනවා...
හීනී තාලෙන් ගී කියාගෙන
සුලං රැලි සිහිලෙන් බැඳෙනවා..
නුඹ දුරක ගිය අතීතෙක පොත
පිටු පුරා ඇඳි ඇස් මවනවා...
සීතලම එක අඳුරු සෙවණක
හිතක් තනිවම තව ගැහෙනවා..

හීන මීදුම් කඳු වලල්ලට
තවම ගී රැව්  දී ඇහෙනවා..
නොකී පද වල අරුත් තුරුහිස්
කඳු මුදුන් වල  රූ අඳිනවා..
මැකුණු  සෙනෙහෙක අමුතු කටු ගී
කැටපතක් සේ මෙහි ලියනවා..
නුඹෙන් ඇරඹී නුඹෙන් අවසන්
නොවුණු ගීයක් තව තියෙනවා...

අහම්බෙන් ඉරු නගින දවසක
මීදුමත් දුර ගමන් යනවා..
මටම දුක් දී මටම පෙම් කල
අතීතය දොර ලඟ හඬනවා..
දෑත්වනමින් මගබලන නව
 පැතුම් අරුමැසි සිනාදෙනවා..
ඉතින් සමුගෙන යන්න අවසර
තව දිවිය දුර බව දැනෙනවා..

#මානි ✒️

Sunday, November 26, 2017

කටු මල්

"මටත් තිබුනා පොතක්
මම එහි කඳුලින්ම කටු ගෑ කලක්..
මටත් තිබුනා කවක්
ඒ  පද කඳුලින්ම බොඳ වූ දිනක්..
මටත් තිබුනා හිතක්
පෙර  දවස  ඉරි තැලූ  හැඩක්..
ඔව් මටත් තිබුනා නෙතක්
ලොවටම හොරෙන් හැඬු දිනක්..

මටත් තිබුනා පෙමක්
හරි සීරුවට ලියු සිත්කවක්..
මටත්  තිබුනා ලොවක්
දහසක්  නෙතින් වැසි  කලක්..
මටත් විය සිහිනයක්
හිස  ඔටුනු  පලඳින  හෙටක්..
ජීවිතය කටු ගොඩක්
මම එමත දලු ලෑ මලක්.. 🌼

සිහින කටුමල් ගොඩක්
එක  සීරුවට රිද්දපු  කලක්..
විෂම කටුතුඩු අගක්
ඉඳ  හිට රිදුම් රිද්දන වගක්..
මටත් තිබුනා දිනක්
එක පෙලට ගිනි ලූ ලොවක්..
ඒ අලු මතින් පිපි සිතක්
ඕ කර්කෂම කටු මලක්... 🌵

#මානි

Wednesday, November 15, 2017

"චූටී පුතා"

        එකා යකා වීමේ මහා දයාදය උපතින් උරුම කරගත් නිසා මට සහෝදර සහෝදරියෝ මගේ කියා නැත.ඇත්තෙන්ම මම එකා යකාම තමා ය.එහෙත් මොකක්දෝ එහෙකට තමන්ගේ දරුවෙක්ට සේ මට ආදරය කර මහප්පාට පුත්තු දෙන්නෙක් ඇත.වයස නිසාත්,කවදත් ගොන් ආතල් දීමේ කලාපයෙන් බැහැර නිසාත් ,නිවුන් දරු පියෙක් නිසාත් මම ලොකු අයියා මෙයින් කපා හරිමි.මන්ද ඔහු ඇවිත් විටෙක අර සුදා අක්කා කියන්නාක් මෙන් අප පවුලේ "ඇක්ටින් පියා" වැනි එකකි.ලොක්කා ලොක්කා ය.මේක ලොක්කාගෙ මල්ලී නොහොත් මගේ චූටී අයියා නොහොත් මා ඉපදෙන්නට සත් වසරකට පෙර සිට පවුලේ හිටි බාලයා වූ "චූටී" ගැන ය.
    ඔබ කොතරම් වයසද,ඔබගේ වෘත්තිය කුමක්ද යන්න ඔබේ පවුලේ අයට අදාල නැත.ඔවුන්ට ඔබ එදා චූටී නම් මැරෙනකම්ම ඔබ චූටී ය.ඒ නිසා අහල ගම් හතේම බොහෝ ගෙවල් වල මේ අයියා මලෝද ලොකු සහ චූටී ය.
     මෙතුමානෝ(ගෞරව බහුමාණයෙන් අමතන්නේ පින්වතුනි!!! ඇඟ පුරාම මොලේ😝) ඒ කාලේ අපේ පවුලේ බ්‍රයිටා ය.මට වචන නොකියවෙන කාලයේ මම කීවේ "චූං අයියා" කියා යැයි අම්මා කියයි.කාගේ නැතත් අයියාගේ බාච්චු ටී ෂර්ටයක් ඇඳගෙන දවසම ඇවිදිමින් ඉන්නා මං ලඟ මේං මෙච්චර පොඩි කාලේ එහෙන් උස්සන් ආ එයාගේ ඇඳුම් හරීයට ඇත.
    මා ලැබෙන්නට ඉන්නා කාලයේ ඒ වග හාංකවිසියක් නොදැන ආ පුංචි කේන්තියකට අපේ අම්මාට මේකා "බඩ කිකිලි" කියා පිම්බූ වග අම්මා කියයි.පංතිභාර ගුරුතුමිය ට පවුලේ සාමාජිකයන් කවුදැයි ඇසූ විට,
"අම්මායි,තාත්තායි,මායි,අයියයි,නංගී" කියා කියූ වග  අම්මා අදත් කියයි.ඒ මදිවාට ගෙදර ඇවිත් ලොකුකමට මේ වග කියූ විට මේ නංගි එයාගෙ අම්මාගේ නොව බාප්පාගේත් පුංචිගේත් කියා ඒත්තු ගන්වන්නට ගෙදර ඈයන් උත්සහා කරලා නැත.❤️
      ඒ කාලේ එතුමානෝ කොයි වෙලේ බැලුවද අතක් කකුලක් ලෙලි ගහගත් ගමන්මය.මම ඒකට ලෙලි ගහගන්නවා යැයි කිවූයේ ඒවා එසේ මෙසේ වැටිලි හෝ තුවාල හෝ නොවන නිසා ය.පතුරුම යවාගන්නා නිසාය.එක්තරා දිනෙක බයිසිකල් පදින්නට ගොස් නිවස අසල කම්බි දැලක පැටලී අත යට ඉරාගෙන ලේ පෙරාගෙන ආ හැටි මට තවම මතකය.ඒ කාලේ එච්චර ලොකු නැතත් ඒ සිද්දිය මට මතකය.රිදුනේ ඒකාට වුව බෑගිරි ගසා හඬා ඇත්තේ පවුලේ උදවියට අනුව මම ය.😕
        ඒ කාලේ මං අපෙ චූටී අයියා සුපර් මෑන් කියා සිතා සිටියෙමි.කොටින්ම අපේ ගෙදර මට සිතන්නට ඉගැන්නූවේ එහෙමය.ලොකුවෙලා චූටී අයියා වගේ වෙන්න යැයි මට අපේ තාත්තා කියයි.මන්ද 6,7 ඉඳන් හැමදාම පන්තියෙ පලවෙනියා අයියා ය.ඒකා කොහෙත් ශිෂ්‍ය නායකයාය.මම එක වසරට  බාරදෙන්නට ගිය දවසේ පාසලේ කොඩි කනුව අසල අපට පොඩි රැස්වීමක් මුලින්ම තිබිණි.මං බට්ටෙකි.එදා ඒ රැස්වීමෙ ඉස්සරහම මම සිටියෙමි.අලුත් ළමයි ගොඩ ය.ඒ අස්සේත් විදුහල්පති වාගේ ඊට ටිකක් එහායින් ඔෆිස් එකට යන්නේ අයියා ය.මට අතවනාගෙන ඔහු එතැනින් ගිය අතර මං එතුමාණෝ ඉස්කෝලේ පොරක් යැයි සිතා ගත්තෙමි.
     චූටී අයියා ඉස්කෝලෙ යන්නේ ප්‍රින්සිපල්ටත් කලින් ය.අපේ මාමා ඒකාට "ඉස්කෝලේ මහත්තයා" කියන්නේ ඒ කය.ඒ කරලා තාත්තා මාව කවා පොවා ඔලුව පීරා ගේට්ටුව ගාවට එක්ක ගිය විට පන්තියට ඇරලවන්නේ අයියා ය.ඉස්කෝලෙ කලින් ඇරුනහම ටොෆි කන්නට මං සල්ලි ඉල්ලන්නට එතුමාගේ පන්තියට යමි.
"අමිල... නංගි ඇවිල්ලා" කියා කොයි වෙලෙත් කියන අක්කලා ටිකක් ඒ කාලෙ ඒ පන්තියේ සිටියේ ය.☺️
      මට ලකුණු නැත්තන් තාත්තා බැන්නේ අයියා වගේ වෙන්න කියා ය.අයියා හෝම්වර්ක් කර පොත මේසය මත තබා මං පන්තියට දාන්නට ගිය විට ඒකාගෙ පොත පන්තිය වටේ යනවා යැයි ඒ කාලේ තාත්තා මට ඇස් ලොකු කරමින් කියයි.ඔහු කියන්නේ පොත නෑ කියා ය.ඒ අයියා බ්‍රයිටා නිසා ඔහුගේ පොත කොපි කරන්නට යාලුවන් අරන් කියන එකය.ඉතින් අයියා පොරක් ය.ඒ වුනත් අවුරුදු 13ක පාසල් ජීවිතේ කවුරුත් මගෙ පොතක් එහෙම අරන් ඇත්තේම නැත 😢.ගත්තත් ලැබුනේ නැත.ඉතින් මට එහෙම වෙන්න බැරි විය.😣
     ඒ කාලේ ඒ ඉස්කෝලේ වස ක්‍රීඩා ගුරුවරයෙක් විය.අයියා ඒ සර්ගේ ගජයා ය.මේං මෙච්චර ලොකු සහතික ෆයිල් එකක් ඇති අතර සේරම ක්‍රීඩාය.ඉස්සරහ දොර ගාව සිට ගේට්ටුව ගාවට ගියත් හති වැටෙන මට ඒවා එකල හෙන දේවල් ය.
      එක දවසක ගෙදර ඇවිත් තාත්තාගෙන් හිස් සිරිංජර් ගොඩක් ඉල්ලන් ගිය එතුමා ඊලඟ දවසේ මං එහෙ යද්දී ඒකෙන් බුල්ඩෝසරයක් හදා තිබිණි.පාසල් ප්‍රදර්ශනයකි.මං මට ඒක දෙන්නැයි කියූ විට මට පුම්බා ඔහු ගෙට ගියේ ය.ඒ හැටිය.රකුසු මුහුණක් තිබූ ටෙඩියෙක් එහෙ සිටියේ ය.ඒක මට ඉල්ලුවාට දීලා නැත.අර හෝම් සයන්ස් වලට හදන ලස්සන බොනික්කෙක් ඉඳලා ඇත.මට ඒක දුන්නේ ද නැත.ඒ කාලේ මට ඕවාට හෙන තරහය.
   අයියාට ලස්සනට චිත්‍ර ඇඳීමට එදා ඉඳන් පුලුවන් ය.මං එහේ ගියද මුලින්ම අදින්නේ එතුමාණෝගේ චිත්‍ර පොතය."අයියේ මේ ඔයාද ඇන්දේ" කියා ඇස් කටේද කට කනේද දමාගෙන මම එවා බලමි.කෙලින් එක ඉරක් ඇඳගන්න එකල මට බැරි නිසා මට අයියා දෙවියා ය.😝
    සා.පෙල සමත්වූ නිසා ලොකු අම්මා එයාට කොම්පියුටරයක් ගෙනත් දුන්නේ ය.පාසලේ කම්පියුටර් ලැබ් එක අස්සේ රිංගාගෙන ඒකේ කෑලිම ගලවන්න හදන නිසා පුදුමාකාර කම්පියුටර් උනක් එකල උන්දෑට තිබිණි.මට ඉතින් ඒ කාලේ ඕකත් මැජික් ය.වින්ඩෝස් 98 වලින් බලි ඇදීමට මට ඉගැන්වූයේ අයියා ය.ඊට එහා එකක් කරන්න මම එකල දැන සිටියේ නැත.
    සුපර් මාරියො ගහලා මට කවදාවත් උන්දෑ එක්ක දිනන්න බෑම ය.බල්ලා වෙනුවෙන් කුරුල්ලෝ දඩයම් කරන්න වෙඩි තබන්නටද ඔහු මට උගැන්වී ය.ඒත් මට ඒකා පරද්දන්න බැරි විය.ඒ කාලයේ ඔය වෙඩි තබා කුරුල්ලන් මරන ගේම් එක අපට උණක් වී තිබිණි.
    වෙසක් එකට තොරන් ගහන්නද ,කූඩු හදන්නද,උණ බට වෙඩිලි හදන්නද අයියාට ඒ කාලේ හරියට ඕනැ ය.ඒවා කරන්නට ලොකු අයියාද සපෝට් ය.ක්‍රිෂ් 2 ආව කාලයේ කොහෙන්දො හොයා ගත් කැම් කොපියක් ගෙනවිත් මට බලන්නට දුන්නේද එයා ය.
   අපේ අයියා ඇවිල්ලා සූර පප්පා ඩයි හාට් ෆෑන් ය.මට ඔය සේරම පිස්සු බෝ කරන්නේ එතුමාණෝ නිසා පසු කාලීනව මට ද එය බෝ විය.ඒ කාලෙ මොන කාටුන් එක ගියත් එයාට ලොකු වූයෙ පිස්සු පූසාත්,දොස්තර හොඳ හිතත් ය.කලු විතාරණලා,අරවින්දලාට එහා ක්‍රිකට් ටීම් එකක් නැත.කැන්ඩොස් චොක්ලට් වලට එන ස්ටිකර් වලින් පොත් වැහිලා ය.හැබැයි මට දෙන්නේ නැත.😏
      සූර පප්පා උමතුව තදින් වැලඳුනු කාලයේ සූර පප්පා ද,ජිම් පප්පාද,වෙද පප්පාද ලොකූවට ඇඳගෙන ලඟ තබා ගත්තේ අයියා ය."ගෑණු ලමයින්ට කරදලේ.. අල චූටි කූකූටයි ආදලේ "කියමින් ගේ වටේ ඇවිදින්නට මට ඉගැන්නූවෙ අයියා ය.ඉතින් මම මුලු දවසම ඕක කියමින් ගේ පුරා ඇවිදිනවා යැයි අම්මා කියයි.
   කොහෙන්දෝ මන්දන්නේ නැති දිහාවකින් ඔහු සූරපප්පා පොතක්ද උස්සන් එයි.අමුන අමුනා අකුරු කියොන මට ඒ පොඩි අකුරු පොත් බැරි නිසා සූරපප්පාගේ ද,ලොකු පප්පාගේද ස්ටිකර් හදා දි මාව ශේප් කරයි.
   එක දවසක් ඔහු මට ටීවී එකක් හදා දුන්නේ ය.ඒ පත්තර කොල,කාටුන් අනන් මනන් එකට රෝල් කර ඒවා කෝටු දෙකක ඔතා ලොකු පෙට්ටියක් තුල දමලා ය.ඒ කෝටු කැරකෙන විට ටීවී එකේ රූප පේන්නට ය.සෙල්ලම් එකක් ය.මා ෂර්ලොක් හෝම්ස් පිස්සෙක් කිරීමේ ක්‍රියාවලියේ ද පිටුපස සිටි මහා සෙවණැල්ල අපේ අයියන්ඩීම ය.ඔහු මට දියමන්ති ඔටුන්නේ පිටු 5ක් කියවන්න දුන්නේ ය.මම පසුදා ෂර්ලොක් හෝම්ස් පොත් තුනක්ම නාහෙන් අඬා අම්මාට කියා ගෙන්වා ගතිමි.

"මන් දන්නවනේ..තමුසේට පොඩ්ඩක් පිස්සුව බෝ කරාම ඇති " 😁😁

ඒකා විරිත්තමින් පසුව කීවේ ය.හැබැයි පසු කාලීනව එතුමාණෝ සතු ෂර්ලොක් හෝම්ස් පොත් ද මට තියාගන්නටම දුන්නේ ය.
     ඔය ඇමතුම් බාසාවද එහෙමය.දුරක වාගේ නං අයියේ යැයි කියමි.ඒකාද එහෙම ය.නංගි කිව්වොත් මට නිකන් ෂොක් එකටම දවස් දෙක තුනකට නින්ද එන්නේ නැත.ඉස්කෝලේ යන කාලයේ සත්තු වත්ත ලඟ වාගේ තියන් මම ඔහුට බනිමි.එයත් එහෙමය.මගේ මොට්ටකමකට මල පැන්න විට "නෑ ගොන් බූරුවෝ,ගොන් අලියෝ "වගේ නනාප්‍රකාර යෙදුම් ඒකාට ඇත.හැබැයි වරෙං,පලයං කවදාවත් නැත.ඒ ඇරුනාම මගේ හදිසි ඇමතුම් සතේකට මායිම් නොකරන නිසාද,නම්බර්ස් මාරු කර දුරකථනය ඔස්සෙ බයිට් කිරීම් නිසා අර එලිසබෙත් රැජිණගේ නාමයෙන් වාගෙ මං දැන් පටන් ගන්නේම තාත්තාව මුලින් තියලා ය.නැත්තං බැරි ය.
      අපේ තාත්තා ටද පස්සෙ ආව එකාට වඩා මුලින් ආව එකා ලොකුය.ඉතින් උණට,කැස්සට,අව්වට, වැස්සට චූටී පුතා මිස මේ චූටී දුව හරියන්නෙ නැත.ඒකා කියන්නෙත් මං කියන එකමය.ඒත් මට වඩා ඒකා ෂුවර් ය."මට ඉතින් එයාට වගේ රැවුල නෑනෙ" කියා මං පුම්බන්නට අරන් දැන් බොහො කල් ය.😏
       තාත්තා ගේම වෘත්තිය තෝරාගෙන පරම්පරාව කන්ටිනියු කරන මේ මහතා දැන් අලුත් එකක් පටන් අරන් ය.ඒ "ඔය නංගි දන්නෙ බාප්පේ.. IT නේද කරන්නෙ තමුසෙ ...කියල  දෙනවකො "කියා මට බාරදෙන්නට ය.තාත්තා ගේ ස්මාට් ජංගම දුරකථන ගැටලු යනු මට තව අවුරුදු බර ගණනාවක් බැනුම් ඇසිය හැකි ටොපික් එකකි.ඒත් ඉතින් ඒ චූටි පුතා මිස අපේ තාත්තාට මාව ඒවාට හරියන්නේ නැත.
          මඩ ඇතිය.මට මහ ගොඩක් නැත.අපේ ගෙදර චරිත කතා ලියන්නට ගියවිට වැඩියෙන් ඉන්නේ පිරිමි ය.මොකක්දෝ එහෙකට මං මුල කීවාක් මෙන් උතුමාණෝ ත් මාත් ඉපදුනේ අම්මලා දෙන්නෙක් ගේ වීලා ය.කොච්චර පණ්ඩිතකන් කීවත් අදද කම්පියුටරයේ පොඩිම අවුලේ සිට ජීවීතයේ ලොකු ලොකු අවුල් වලටද තාත්තා ට පසු කියන්න ඉන්නේ ඔය ඩබල ය.චූටි අයියා මට කවදත් ලඟ ය.හැබැයි ඕපන් නැත.ඒකා තේරුම් ගැනීමත් එක කලාවකි.ඉඳලා හිටලා ෂොට් එකක් වැදී සීරීයස් වෙන යාලුවො වාගෙ සීරීයස් වෙන අවස්තා එමටය .(බිව්වා කියා වැරදී වැටහීම් නොගන්න.ඒකා බොන්නෙ නැත.මන් කොහොමත් නැත.උදාහරණ පමණි.)අන්න එවෙලෙට මොකවත් කීවොත් මිසක් ඊට එහා නැත.
        හැබැයි හරි වගකීමය.වගකීම්කාර බාප්පෙක් ය.මල්ලියෙක් ය.අයියෙක් ය.පුතෙක් ය.ඒ හින්දා කොච්චර හැදුවත් මට එතුමාණෝ වගේ වෙන්න බැරිය.මං එච්චර මොට්ට ය.ඒ වාගෙ වෙන්ඩැයි අපේ තාත්තා මට කීවාට මට එහෙම වෙන්න බැරි ය.ඒ අතින් අපේ අයියා ටක්කෙටම හරි ය.ගොන් බූරූ තඩියෙක් වී ඒකාගෙ පොරත්වය බැලුවාට දුකක් මට දැන් නැත.ඒ ඒක බලන්න වටිනාම එකක් වන නිසා ය.

#මානි ✒️

Sunday, November 5, 2017

පොඩි හාමිනේ ගේ සිහින

     පොඩි හාමිනේ අදත් ඉන්නේ පාර දෙස බලාගෙන ය.වැහිබර ගතියකින් යුත් අහස් කුස මලානික හිරු එලියක් නිකුත් වෙමින් පැවතිණි.තවම කවුරුවත් ආවේ නැත.ඇත්තෙන්ම කිවහොත් තවම එන්නට වෙලාව ආවේ නැත.ඔරලෝසුව දෙස නොබලා වුවද දැන් 12ට ආසන්නව ඇතැයි පොඩි හාමිනේ අනුමානයට සිතුවාය.ඈ ලඟම සනීපයට නිදන ගෙදර බලු තඩියා ය.හවස් කාලයේ සියල්ලෝම එනතුරු ඇගේ තනියට ඉන්නේ මේ බලු තඩියා පමණකි.
      සිය දියණියද,මිනිපිරියද,බෑණනුවන් ද ඔවුනොවුන්ගේ ජීවිතවල කාර්‍යයන් උදෙසා උදෙන්ම පිටත් වී යති.ඒ ඈට අවශ්‍ය සියලු දේ ලඟට කරලා ය.උදේට කෑම බෙදා දී බෙහෙත් හේත් බිව්වාදැයි බලන්නේ මහත්තයා ය.මිනිපිරිය නම් උදෑසනම යන්නම් කිරි අම්මේ කියාගෙන දුවයි.දුවණිය සියල්ල ලඟට සපයා ඊලඟට පිටවෙයි.මේ මහත්තැන් කම ඈ සිය බෑණනුවන්ට අමතන්නට ඈඳා ගත්තේ ඔහුගේ රස්සාව නිසා මිසක පුතේ යැයි නොඅමතන නිසාවකට නොවේ.සාමාන්‍යයෙන් අනෙක් මිනිසුන්ට වඩා ගරුත්වයක් ඇති බෑණා සිය අම්මාට කරන්නාක් සේ සියල්ල කර ගෙයින් එලියට බසින නිසා හිතේ උපන් ගෞරවයකට දෝ ඈ ඔහුට එසේ අමතයි.
"අම්මා.. බෙහෙත් බිව්වාද.."
"අම්මා...කෑවාද??"
"එහෙනම් මන් යනවා..දොරවල් අරින්නෙපා..දුව කලින් එයි.." කියා ඔහුද දුවයි.සේරමලා ගියාට පසු ගෙදර ඉන්නේ බලු තඩියා පමණ ය.ඌ බෙහෙවින් පොඩි හාමිනේට ලැදි නිසා තනිකමට පේන මානයේ වැතිරී නිදයි.
       පොඩි හාමිනේ ට හිටියේ දුවක් හා පුතෙක් පමණි.දියණියට පස් අවුරුදු පිරෙන දා පොලඟෙක් දෂ්ට කර සිය සැමියා මිය යද්දී පුතුට අවුරුදු 12ක් පමණ වන්නට ඇත.යොවුන් වියේදීම කනවැන්දුම් වූ ඈගේ අත පතා ආ ගමේ පිරිමින් බොහෝ ය.ඒ කාලයේ ගමේම බොහොම ඇහැට කනට පේන්නට සිටි හැඩකාර ගැහැණියක් වූ පොඩි හාමිනේ ඒ එකක් හෝ සැලකුවේ නැත.හිතේ ධෛර්ය පමණක් ඉතුරු කොට ගෙන  ජීවිතයට මුහුණ දෙන්නට ඈ හිත හදාගත්තා ය.
   කුඹුරුවල වැඩද,බුලත් පාත්තිද,වැවේ පන්කපා වියූ පැදුරුද අසීරුවෙන් වුවද ගෙදර තිදෙනෙකුගේ බඩ ගින්දර නිවූ හැටි අදද උන්දෑට හොඳින් මතක ය.ගමේ වැවේ සිට බුලත් පාත්ති වලට සිය දෑතින්ම කලගෙඩි පුරවා වතුර ඇද්ද හැටි ඈට මතකය.ඒ දෑත් වල රැලි වැටුනු සමට යටින් මතු වී පෙනෙන නහර වල ඇගේ දුක් මහන්සියේ කතාව ලියවිලා ය.

"මොනවා වුනත් අපි ඒ කාලේ සතුටෙන් හිටියා"

තනිකමින් පිරි මහ විසාල නිවස තුල සිට මේ අම්මා තනිවම කල්පනා බරවය.

"මට කොල්ලා හිටියානේ"

    ඇත්තය.තාත්තා නැති පවුලේ සියලු බර කරට ගෙන උසස්පෙලින් පසු හමුදාවට ගිය ඇගේ පුතු වූ සෝමරත්න සිය නැගණියද ,අම්මාද බලාගත්තේ ය.නැගණිය ඉගෙනුමට දක්ෂය.කවදා හෝ සිය දරුවන් යහපත් තැන්වල සිටිවී යන සිතුවිල්ලෙන්ම පොඩි හාමිනේ ඒ කර්කෂ ඉරි තැලුණු පොලොව හා හැප්පුණා ය.
   කාලය ගෙවී ගියේ සියල්ල කණපිට හරවාය.හිතුමතේ විවාහයක් කරගත් සෝමරත්නත්, ඇගේ බිරිඳගේත් අඬ දබර ද,ඒවාට මැදි වූ දරු දෙදෙනාද,සිය දියණියද සමඟ උසාවි ගානේ දිව්වේ පොඩි හාමිනේ ය.සෝමරත්නගේ විවාහය දික්කසාදයට කටයුතු යෙදෙද්දී පවුලේ වූ දරුවන් සිව්දෙනා දෙදෙනා බැගින් එහෙටද මෙහෙටද බෙදී ගියේ ය.වැඩිමලුන් දෙදෙනා සෝමරත්න ලඟ ය.ඔහුගේ රැකියාව නිසා ඔවුන් ලොකුමහත් වූයේද ඇයගේ දෑතින් ය.
      කාලයේ ඇවෑමෙන් ඒ දරුවන් ලොකුමහත් වෙද්දී ඔවුන්ට මේ කිරිඅම්මා බරකි.ඉඳ හිට නිවාඩුවට දුවගේ ගෙදර ආවාට එහි රැඳෙන්නට පොඩි හාමිනේ අකමැතිය.එය ගම නොවීය.නගරාසන්නව කොහේටවත් ඇවිදින්නට හෝ යන්නට නොහැකි මේ කොටු කල ජීවිතයට ඈ ප්‍රිය නොවීය.වැව් පාරේ ඇවිද ගොස් ගමේ ගෙවල් වලට ගොඩ වැදී නිදහස් කතාවක යෙදෙන්නට ඈට මේ නගරයේ බැරිය.නැතිනම් ඉන්නට මිසක් යන්නට නොකියන සිය දියණියගේ ගෙදර ඇයට  රැඳෙන්නට හැකිය.
      එහෙටත් මෙහෙටත් ඇදුණු දිගු කාලයකට පසු සියලු අඬ දබර දරන්නට නොහැකිව දැන් ඈ  සිය දියණිය ලඟ ය.සියලු සැලකුම් ඇත.සතුට ඇති මුත් ඈට දැනීමක් නැත.හිත ගම් ගෙදර ය.මිය යන තුරුම රැඳෙන්නට ඈ තනා ගත් නිවස එහිය.ඇගේ ගමද ,නෑදෑයින්ද, මුණුපුරන් ද එහි ය.මී මුණුපුරන් පවා ඇත.එහෙත් ඔවුන්ට ඈ ගැන ගානක් නැත.
දුරකථන ඇමතුම් දෙන්නටද,ඔවුන්ට ඇවිත් යන්නටද කීවාට ඔවුන් මෙහි එන්නේ නැත. දියණියගෙන් ඇසූ කල්හි පිලිතුරු රහිතව ඈ නිරුත්තර ය.එක් දිනෙක දැනගත් පරිදි ඔවුන්ට ඈ බලන්නට එන්නට උවමනාවක් දැන් නැත.
        සිය දෑතින් හදා වඩා,සිය ලේ කිරි කර පොවා දුක් මහන්සියෙන් මහ පොලොව හා ගැටී නොවිඳිනා දුක් විඳ උස් මහත් කර ඇගේම දරුවන්ට ඈ ඕනෑ නොවුනේ මන්දැයි ඒ වයෝවෘධ සිතට තේරුමක් නැත.කාට වුවත් සෝමරත්නටවත් ඈ සිහි විය යුතුය.නැතිනම් චාමරට හෝ ඇගේ සොයුරියට ඈ සිහිපත් විය යුතුය.සිය දියණියගෙ දරුවන්ට වඩා ඇහේ මූනේ තබා උන් හැදුවේ පොඩි හාමිනේ ය. නිවසින් පිටමං කල වග සැබෑවක් වුවද ඔවුන් එක දවසකට හෝ තමන් බලන්නට ඒවි යැයි ඈ මෙහි හිඳගෙන සිහින දකින්නී ය.
    ඔවුන්ගේ මී මුණුපුරන් දකින්නට,ඔවුන් සිප සනසන්නට ඈට සිහින ඇත.අවසන් හුස්මට පෙර සිය ගමරට යන්නට ඈට සිහින ඇත.මෙහි සියලු සැප ඇතිවග සැබෑ ය.එහෙත් ඒ සිය ගමගෙදරය.සැමටම ඕනෑ ගමරට යන්නටය.සැලකුම් නොලැබුවද දැන් නම් ගමරට යන්නට පොඩි හාමිනේට ඕනෑ ය.

"එහේ ගියොත් අම්මාට අරුන් කන්න බොන්න වතුර ටිකක්වත් දෙන්නෑනේ අම්මේ..අම්මා මෙහෙ මන් ගාව ඉන්න.මොකො මහත්තයා එපා කියනවද..එයා වුනත් කැමති නෑ අම්මව එහෙ යවන්න."

"උන්ට අම්මා ගැන ගානක් නෑ අම්මේ..කොහොමද අහන්න එක කෝල් එකක් නොදෙන මිනිස්සු.."

මේ දියණියගේ වදන් ය.ඒවා ඇත්ත වග පොඩි හාමිනේ දනී.එහෙත් ඇගේ සිතේ අර සිහින ඇත.ඈට ඕනෑ එවා හෑබෑවක් කරගෙනම අන්තිම හුස්ම යවන්නය. එහෙත් ඇගේ පුතුට දැන් ඈ මතකත් නැත.ඇගේ ගමට ඈ අමතක ය.අඩුම ගණනේ උපන් බිමෙහි මිහිදන් වන්නට හෝ අවස්තාවක් ඇති දැයි මේ අම්මා ට දැන් දැන් සැකය.සිතේ වේදනාවන් කියන්නට ඈට කෙනෙක් නැත.නොදැනීම මේ වදන් මිමිනෙන්නේ ඒකය.එය ඇසූ සිය දියණිය සිය සැමියා හා මේ බව කියා සිය සහෝදර යාගේ නොපනත්කම් නිසා විඳවන අම්මා ගැන රහසින් හඬනා වග පොඩි හාමිනේ දන්නේ නැත.ඇය නිරන්තරයෙන් මේ කවිය මුමුණමින් කල් ගෙවා දමන්නේ පුතු ඈ බලන්නට එනකම් ය. 

"බඩගිනිවෙලා මා ගිය කල පුතුගේ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි    මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට..."

_මානි_ ✒️



Saturday, November 4, 2017

තාත්තලා දුවලා ❤️


 
         තාත්තලා vs දුවලා යනු මේ ලෝකේ ඇති අපූරුම බැඳීම් වලින් එකක්‍ ය.කෙල්ලෙක්ට තාත්තෙක්ට එහා වීරයෙක් නැත.කවදා හෝ කොහේ හෝ තවත් පිරිමියෙකු ඒ කෙල්ලගේ හිත හා අත ගත්තා කියා ඒක වෙනස් වන්නේ නැත.ඔය කොහේ තියෙන මොන ෆස්ට් ලව් එක ගැන මොන ලොකු කතා කීවත් කෙල්ලෙක්ගේ පලමු ආදරය තාත්තා ය.අන්න ඒ ආදර කතාවේ තුන් වැනි පාර්ශ්වය වී තවත් පිරිමියෙක් එතෙනට එන දාට මේ ලෝකයේ කොයි තාත්තාත් මඳක් හෝ ඔරොප්පු නොවේ නම් ඒක බොරුවක් ය.තාත්තලා එහෙම ය.
      මම ඉපදෙන්නට ඉන්න කාලයේ තාත්තාට කොල්ලෙක් ඕනේ වුනා යැයි අම්මා දවසක් මට කීවාය.ඒක ඇත්තදැයි මම ඔහුගෙන් නොඇසුවෙමි.ඒත් පොඩි කාලයේ ඔහු යනු මගේ ගජයා ය.මොන මගුලටත් තාත්තේ කියා මිස අම්මේ කියා පටන් ගැන්මක් අදද මට නැත.වෙන ගෙවල් වල තාත්තාට කතා කරන්නට දරුවන් අම්මා භාවිතා කරනවා යන අංඩරදෙමලය මට කවදාවත් නොතේරේන්නේ ඒක ය.සාමාන්‍යයෙන් අපේ ගෙදර වෙන්නේ ඕක අනෙක් පැත්තය.එහෙමත් නැති නම් මම තාත්තා ගේ දුව නිසා මම අදත් ඔහුට ඕනෑ එකක් කියන තරම් අපි සමීප වීම ය.
        ඉතාම කුඩා කාලයේ මම යනු මොනවා කරලාවත් නිදි කරවන්නට බැරි බකමූණු පැටියෙක් යැයි අම්මා කියයි.ගෙදර සියලු වැඩපල කර තව මාවත් නිදි කරවන්නට පැය ගාණක් කකුල් දෙක හොලවමින් වද විඳීම ඈට අසීරු ය.එහෙම වූවාට තාත්තා මා කකුල් දෙකේ තබාගෙන ඉහින් කනින් දාඩිය දමන තුරුම මා නැලවූ බවද,මම ඔහුගේ මුහුණ දෙස බලමින් මුලින් කෝලම්ද,පසුව පණ්ඩිත කතාද කියවන වගත්,ඒ අනුභාවයෙන් අප කාමරයේ බිත්ති වල තීන්ත පතුරු ගැලවී තාත්තා ගේ පිටේ ඇලෙන තුරුම ඔහු මා නැලවූ වග අම්මා විටෙක කියයි.ඒ කතාව ඇත්ත ය.දැන්ද මතකයේ ඇති ඒ කාමරයේ ඇඳ අසල බිත්තියේ තීන්ත පතුරු ගැලවුනු තැන් පසු කාලීනව වැඩි දියුනු කෙරුනේ මා විසින්  නිසා මට මතකය.
         ඒ කාලයේ මට දහවලට නිදාගන්නට කුඩා ඇඳක් අපේ කෑම මේසයට එපිටින් විය.අම්මා කුස්සියේ උයන සැඳෑවන් වල ඇයට කරදර දෙන්නට මා යන එක වලක්වන්නට තාත්තා කරන්නේ ඇඳේ වැතිරී මාද තබාගෙන මගේ කෙලවරක් නැති බක පණ්ඩිත කතා ඇසීමය.එහෙමත් බැරි දිනවල මගේ පසුපස යෑමත් අසීරූ වූ විට මම සෙමින් සෙමින් කුස්සිය වෙත දිශාව වෙනස් කරද්දී ඔහු ඇඳේ ඉඳගෙනම "ඤාව්" කියයි.
 
  "තාත්තේ ඤාව්වෙක්..ඤාව්වෙක් ඉන්නෝ" කියා නැවතත් ඔහු වෙතට මම යන නිසා පසුව මෙය ඔහු මා නැවැත්වීම සඳහා පුරුද්දක් කරගත්තේ ය.ඉතින් මම ඔහුට "ඤාව්වා" කියා නමක් තැබූවෙමි.
      පොඩි කාලයේ කෑම කවන්නට බයිසිකලයේ තබාගෙන කටකට එක බැගින් රවුමක් එක්කන් යන්නේ තාත්තාය.හවසට ආප්පියලෑ දිහා (මහප්පා යන්නට මා එකල භාවිතා කල නම) එක්කන් යන්නේ ඔහුය.වේවැල වනා බය කරා මිස මතක හිටින්නට වේවැල් පාරක්  නොගැහුවේත් ඔහුම ය.ශිෂ්‍යත්වය සමත් වෙන තුරුම උදේට අන්දවා,සපත්තු දමා,ඔහුට ඕනෑ ලෙස පැත්තට කොණ්ඩය පීරා මාව පාසල් යවන්නේද ඔහුය.මඳක් දුර බැහැර පාසලක සේවය කල නිසා අම්මා නිවසින් යන්නේ මා අවදිවන්නත් පෙරය. ඒ නිසා හෝ කෙසේ හෝ අදද බත් එක බැඳ අතට දෙන්නේ ත් ඔහුමය .මට කොහොමත් අම්මා බත් එක බැන්ද විට එක්කෝ අඩුය.එක්කෝ වැඩිය.මොකක් හෝ අව්ලක් ය.ඒත් තාත්තා එහෙම නැත.අප දෙදෙනාටම පසු නිවසින් යන නිසා එදා සිටම බත් බැඳීම තාත්තාගේ කාර්යයක් විය.
       මම දනි පනි ගා ඇවිදින කාලයේ සෑම රාත්‍රියකම කාමරයේ ඇඳ හදන්නේ තාත්තා ය.එය ඔහුට කරන්නට ඕනෑ වැඩක්‍ ය.අම්මාත් ,මමත් බෙහෙවින් පරිස්සම් වීම් වලින් අඩු යැයි හිතන තාත්තා මුලු ඇඳම අනික් පැත්ත හරවා ,අස් කර මෙට්ට දමා හැම දවසකම ඇඳ හදයි.මොකෙක් හෝ කාලා මොකක් හෝ වේවි යැයි ඔහු එදත් අද මෙන්ම බයය.ඉතින් මේ ඇඳ හැදිල්ල අප දෙදෙනාගේ අනෙක් කෝලම වීය.ඒ මට ඔහුගේ බඩ යටින් රිංගන්නට තිබ්බ ආසාවය.☺️
    ඔය කියනා තරම් ලොකු බඩක් අපේ තාත්තාට තිබ්බේ නැත.එහෙත් වයසේ හැටියට ඔහුට බඩක් තිබිණි.ඉතින් මේ පැත්තේ සිට ඇඳ බිත්තිය පැත්තේ ඔහු නෙට් එක දමන විට මම ඔහුගේ බඩ යටින් රිංගුවෙමි.ආයේ අනෙක් පැත්තට යමි.බඩ කීවාට අත් දෙක නමා ඉස්සරහට නැමුණු විට ඒ ඉඩෙන් රිංගන්නට තරම් මම කුඩා වී සිටි කාලයේ මේ කෝලම තිබිණි.අන්තිමට යන්නට නොහැකිව හිර වෙන්නට ගත් පසු "මට දැන් යන්න බෑනේ" කියා ඔය කෝලම නතර වුනේ මට අවුරුදු 8ක් විතර වීමෙන් පසුව විය යුතුය.
           මගේ කටේ තිබුණු රන් වැකියක් විය.එය හැමවිටම කියවෙන්නේ පාසලේදී වන අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු නිසා ශිෂ්‍යත්ව පන්තිවල පරිසරය පාඩම් වලට ආ විට මම මෙය මතුරන්නට පටන් ගනිමි.ලෙඩ රෝගද,පරිසරයේ පිරිසිදුකම ද හැම මොහොතකම ගෙදර මාතෘකා අතර රැදෙන්නේ ඔහුගේ රැකියාව නිසා ය.ඉතින් ඒ හා අදාල කුමක් හෝ උගන්වන විට අත ඔසවමින් අමතර කතා කීම කොහොමත් සිදුවන්නකි .මම සෑම විටෙකම එය නොදැනුවත්වම අරඹන්නේ "ටීචර්... අපේ තාත්තා..." කියා ය.ඒ නිසා මගේ අමතර කතාව කියන්නට කට අරින සෑම විටකම පන්තියෙ සිසුන්.. "ඔන්න ටීචර්.. අපේ තා...ත්තා " කියමින් මට විහිලු තහලු කිරීම අරඹති.පසුදිනයක පංති රැස්වීමකදී අම්මා හමු වූ මාගේ දයාබර ගුරුතුමිය ඈට මේ වග පවසා තිබිණි.අදද අහම්බයකින් මුණ ගැසුනු විට මාගේ "අපේ තාත්තා" මතක් කරමින් ඇය සිනාසෙන්නේ කිසිම දවසක "ටීචර් අපේ අම්මා "කියා නම් මම කීවේ නැති බව පවසමිනි.

    කිසිදා කිසිම දිනෙක කිසිම දේකට බැහැ කියා ඔහු කියන්නේ නැත.මොන දේ ඉල්ලුවද කොයි ලෝකෙන් හෝ එය ගෙනවිත් දීම ඔහුගේ හැටියක්ය.විටෙක අම්මාගේ දොසට ලක් වුවද ඔහු ඒ පුරුද්ද අත් හරින්නේම නැත.එකක් ඉල්ලූ විට දෙකක් ගෙන එන එක කෑම වලට පැමිණි විට එහෙම ය.මට මොනවා හෝ අවැසි නම් එය දැන් නම් ඔහුට එය දැන් ය.යන්නට එන්නට හැකි දුරක නම් මහ රෑ වුවද ඔහුට ගානක්ම නැත.එක්තරා දිනෙක රාත්‍රීයේ එතරම් හදිසි නොවු ටියුට් කිහිපයක් එසැණින් ගොස් ගෙනවිත් දීමට ගොස්  මිතුරියගෙන් බැනුම් ඇසුවේ මම ය.එතරම් රාත්‍රියේ තාත්තා එව්වේ මොන එහෙකටද කියා ය.එහෙත් කොතරම් කීවද නැවතීමක් කියා එකක් ඔහුට එවෙලෙට නැත.ඒ තාත්තලාගේ හැටිද නැත්තම් මේ තාත්තාගේ හැටිද කියන්නට මම නොදනිමි.
    මම සැමදා ඔහුගේ දුව වීමි.මම කිසිදා අපෙ අම්මාගෙ පැත්තට හැදුනේ නැත.වෙන පවුල් වල දරුවන් අම්මාගේ පවුලට බෙහෙවින් සමීප යැයි කතාවට කියයි.එහෙත් අප නිවසේ සියල්ල තාත්තාය.ඔහුගේ සහෝදරයින්ය.ඒ දරුවන් ය.ඉතින් මම එදා සිටම තාත්තා ගේ දුව වුනු අතර මඳක් කේන්ති ගියවිට අම්මා "තාත්‍තලා දුවලා ඔනී එකක් කරගත්තාවේ "කියා යන්නේය.
      ඉස්කෝලෙ යන කාලයේ හවස පන්ති නම් ආවේ තාත්තා ය.පන්ති රැස්වීම් නම් ඒත් තාත්තා ය.මියුසික් ප්‍රැක්ටිස් ඒත් තාත්තා ය.පාන්දරින් යන පාසල් චාරිකාද ඒත් මට තාත්තා ය.හවස පන්තිද තාත්තා ය.මා බාර දුන් දිනයට පසු අපේ අම්මා පාසලට ආ දින ගණන මගේ ඇඟිලි වලටත් අඩු ය.ඒකට හේතු බොහොය.එකක් ඇයගේ රැකියාව නිසා ඈට එන්නට නැත.අනෙක පයින් දුර ගමන් අම්මාට අසීරුය.තාත්තාට ඔහුගේ බයිසිකලයේ එක ගමනය.ඔහු සමඟ පිටිපස්සේ හිඳගෙන කතන්දර කියමින් කෑගල්ලේ සිට ගෙදර ඒම ද අර ජෙහාන් කියනවාක් මෙන් වෙනමම ආතල් එකක් ය.
     තාත්තා සමඟ ගමන් යාමේ අනික් සතුට නම් කෑම ය.මටද ඔහු මෙන් බස් ගමන් වහකදුරු බැවින් අප දෙදෙනා ඔය නුවර කොලඹ පාරේ කොහේ හෝ කඩයකට ගොස් බඩ පිරෙන්නට කන්නෙමු.ඔහුගේ සෞඛ්‍ය දෑසට අනුව හොඳ යැයි සම්මත කඩ ඔහු දනී.ඒ නිසා කොච්චර කෑවත් හා ය. මම බඩගින්නේ ගෙදර ගොස් හෙට ගැස්ට්‍රයිටිස් සෑදී විඳවන එකට වඩා ඇතිවෙනකන් කන්න අරන් දෙන්නට ඔහු කැමතිය.මොන රෝගය නැතත් ගැස්ට්‍රයිටිස් සෑදී,මට බඩේ තුවාල සෑදී සියලු වැඩ අසාර්ථක වේ යැයි බියක් ඔහුට ඇත.අදද සුපුරුදු වේලාවට මිනිත්තුවක් ප්‍රමාදද ඔහු කාමරය ගාව කුරු කුරු ය.කෑවේ අඩුවෙන්ද ඔහුට අර බිය ගෙන එන්නේ මා කුඩා කාලයේ තාත්තා ද බෙහෙවින් ඒ රෝගය නිසා දුක් විඳි නිසා විය යුතුය.විටෙක මොකක්ද අනේ මේ කියා සිතුනද හැමදාම මොනවා වුවද ජීවිතයේ සියලු දේ පිලිබඳව ඔහු හරියටම හරිය.
    ඔහුට මහා පුදුමාකාර ඉවක් ඇත.ඒක විටෙක මටද ඇත.ඔහුට දැනෙන්නේ ය.ඔහු ඒ දැනීමට බියය.එහෙම බියවී යමක් කීවාද එය අප ගණන් නොගන්නේද ඒ කියන්නේ අපට වැරදෙනවාම ය.ඒ ජීවන අත්දැකීම් විය යුතු යැයි මම සිතමි.ඒ නිසා කුඩා කාලයේ ඇම්බැට්ටකම් හැර මේ ජීවිතයේ ඔහුගේ යම් යම් උපදෙස් නොපෙන්නුවාට ඉතා තදින් ඔලුවට ගන්නට මම පුරුදු වූයේ එකක් දෙකක් වී ,හොට බිම ඇනුනාට පසුව යැයි මම කියමි.එහෙමට කියා ඔහුගේ දෑසට අද වෙනකම් මම කඳුලු දී නැත.ඉඳහිටලා පොඩ්ඩක් මොනවාට හෝ රණ්ඩු වී ඇඬීම හැරුණු විට එහෙමට ඔහු මට රිදවා නැත.ඒවා කොහෙත් තාත්තාලාට දුවලාට ඇති පුංචි පුංචි නොරොක් වීම් ය.
     එක්තරා තීරණාත්මක හවසක ඔහු මගෙන් දෙයක් ඉල්ලුවේ ය.අතිශය සාවධානව සියල්ල අසා හිඳ සුපුරුදු පරිදි අම්මාගේ රැවුම් මැද මාගේ දෑසට එබි එක ගැඹුරු බැල්මක් හෙලා බොඳ වූ මගේ දෑස තුලින් වුවද ඔහුගේ ඉල්ලීම අහක දමන්නට නොහැකිව මම අසරණ වූවෙමි.ඒකට කමක් නැතැයිද,තාත්තා හින්දානේ කියාද ඉන් පසු මම හිත හදාගත්තේමි.මන්ද ඒ මගේ ලෝකයේ හිරුය.මොන තාරකාවටත් පෙර මගේ ලෝකයේ හිරු ඔහුය.ඉතින් මගේ ලෝකය ඉරිතලද්දීත් ඔහුගේ සතුටට ඉඩදී අදද මම නිහඬව සිටිමි.ඒත් දැන් නම් සැමදාකම මෙන් තාත්තා නිවැරදි වග සිතෙන්නේ මන්දැයි මමද නොදන්නෙමි.
    ඔහුට මාගේ උපන්දිනය මතක නැත.ඒ තියා ඔහුට ඔහුගේ උපන්දිනයද විටෙක අමතක ය.මගේ මුලු නමද,වයසද ඔහු දන්නවා යැයි මම උපකල්පනය කරගෙන සිටිමි. ඒත් එකපාර ඇසුව හොත් ඔහුට ඒකත් පැටලෙන්නේ ය.එහෙත් උපදින්නටත් මාසයකට පෙර අම්මා ට රෝහල් ගත වන්නට සැලැස්වූ ,ඉක්බිති මාසයක් ඈ බලන්නට උදේ හවස කොලඹ යන්නට සැලැස්වූ,උපන්දා සිට සෑම සවසකම කුමක් හෝ ජල්තරයක් සිද්ද කර හොරා වගේ නිදාගන්නා ද,අම්මාගෙන් නිරන්තරයෙන් හුරතලය වැඩි යැයි ඔහුට බැණුම් අස්සවන්නා වූද,කුඩා කාලයේ විදුලිය නැති වූ විට විදුලි බල මණ්ඩලය ඔහුගේ කියා සිතාගෙන "තාත්තේ.. ලයිට් නෑ..අනේ ..ලයිට් "කියමින් හූ තියන්නාවූද,අම්මාගේ මල් පඳුරු පිටින් ගලවන්නා වූ ද,අම්මා ගැන පමණක් ජනකවි පොතේ තාත්තා ගැන නොවූ නිසා රැයක් ඉකි බිඳ බිඳ "මේකේ තාත්තා ගැන නෑනේ..එයා ආදරේ නෑද එතකොට"කියමින් හැඬුවා වූ ද,උදේට ඇඳේ සිට  වඩාගෙන කුස්සියට එනකනුත්,ආ පසුත් ඔහුට හේත්තු වී නිදි කිරන්නා වූ ද,කටකාර,බක පණ්ඩිත,පොඩි දේටත් ඉක්මනින් වැටෙන ,කුකුල් කේන්තිකාර මේ නල්ලමලේ දූ පොඩිත්තගැන ඔහු තරම් කිසිවෙක් දන්නේද නැත.
       අදත් මටත් වඩා තියුණු ලෙස මා කියවන්නට හැකි මෙලොව එකම පිරිමියා ඔහු ය.මට බීගත් මිනිසුන් හසුරවන්නට බැරිය.මම එහෙම අත්දැකීම් නැත.ඔහු බොන්නේ නැත.මට ඒ හිරුද සඳුද අත් හැරීම අසීරු ය.හේතුව වසර 8ක් ඔහු ඔහුගේ ලෝකයේ ඔහුගේ අම්මාට සැලකූ හැටි මේ දැසින් දුටු නිසා ය.ඔහු රෝහල් ගත වී සිටියදී සුව වන විට එක දිනක් පමණක් ගොස් ගෙදර සිටියේ ඒ අතේ කැනියුලාවක් දැක්කද මට අප්සට් වෙන නිසා ය.සැමදා තනිකම දරාගන්නට එදා සිටම ඔහු මට ඉගැන්නුවේ ය.පවුලක එකම දරුවා වීම ලෙහෙසි නැත.ඒ දරුවා කෙල්ලෙකු වීම සේරටම හපන් ය.ඔබට සමාජයද,ගෙදරද සියල්ල සමබර වන තීරණ ගන්නට ගිය විට අප වැටෙන්නේ කබලෙන් ලිපට ය .ඒ සියලු පීඩන මැද සියල්ල දරාගන්නට එදා සිටම ඉගැන්නූවේ ඔහු ය. ඉතින් ඒ තාත්තා නැති දවසක කොහොම ඉන්න දැයි මට වැටහීමක් නැත.ජීවිතයේ ලොකුම බය ඒ ජීවිත දෙක ය.ලොකුම සවිය ද ඔවුන්මය.ඒ මහා සෙවනැල්ල නිසා මම අදද බඩ පිනුම් ගසමින්,ඒ කාලයේ මෙන් සැහැල්ලුවෙන් සිටිමි.එහෙත් කල් ගෙවෙන විට ඒ බර මේ උරහිසට එනවිට කොහොම කරන්න දැයි බියවී ඇඬෙන සවසක තවමත් මා නැගිටවන්නට ඔහු මා ලඟ ඇත.අන් සියලු දේ අත් හැර දැමූවද ඒ සෙවණ අත් හරින්නට බැරි ඒ කය. ඒ තාත්තලා ගේ බැඳීම් වල හැටි එහෙමය.කොයි ගෙදරත් තාත්තලා දුවලා මෙහෙම විය යුතු ය.ඔය කොයි තාත්තා ත් අන් සියල්ල පසෙක ලා දරුවන් ට ආදරය කරන්නේ එහෙම  විය යුතුය.ඒ ඉරට මේ තරුවලට එහා ලෝකයක් ඇත්තේම නැත.
   සේරමත් හරිය .මට කාලා ඉන්න බැරි එක පුරුද්දක් ඔහුට ඇත.උදේ පාන්දර පාසල් ගියද,පසු කාලීනව ලෙක්චර්ස් ද,පන්තිද ,රැකියාවද මොනවාට ගියද ඔහු මගෙ ඔලුව අතගාන්නේ නම් නැත.උදේට දුව දුව මං යනෝ කියා වඳිද්දී ඔලුව කීයටවත් අත ගාන්නේ නැති නිසා මට ඔහු සමඟ කේන්තිය.

එහෙත් ඔහුට ඒකටත් හේතුවක් ඇත.

   "ඔය කොන්ඩේ අවුල් වෙනවනේ පුතේ..." ඔහු කියන්නේ ය .
  ඉතින් ඒ මගේ තාත්තා ය.ඒ ඔහුගේ ආදරයේ හැටි ය.

මානි ✒️