Saturday, November 4, 2017

තාත්තලා දුවලා ❤️


 
         තාත්තලා vs දුවලා යනු මේ ලෝකේ ඇති අපූරුම බැඳීම් වලින් එකක්‍ ය.කෙල්ලෙක්ට තාත්තෙක්ට එහා වීරයෙක් නැත.කවදා හෝ කොහේ හෝ තවත් පිරිමියෙකු ඒ කෙල්ලගේ හිත හා අත ගත්තා කියා ඒක වෙනස් වන්නේ නැත.ඔය කොහේ තියෙන මොන ෆස්ට් ලව් එක ගැන මොන ලොකු කතා කීවත් කෙල්ලෙක්ගේ පලමු ආදරය තාත්තා ය.අන්න ඒ ආදර කතාවේ තුන් වැනි පාර්ශ්වය වී තවත් පිරිමියෙක් එතෙනට එන දාට මේ ලෝකයේ කොයි තාත්තාත් මඳක් හෝ ඔරොප්පු නොවේ නම් ඒක බොරුවක් ය.තාත්තලා එහෙම ය.
      මම ඉපදෙන්නට ඉන්න කාලයේ තාත්තාට කොල්ලෙක් ඕනේ වුනා යැයි අම්මා දවසක් මට කීවාය.ඒක ඇත්තදැයි මම ඔහුගෙන් නොඇසුවෙමි.ඒත් පොඩි කාලයේ ඔහු යනු මගේ ගජයා ය.මොන මගුලටත් තාත්තේ කියා මිස අම්මේ කියා පටන් ගැන්මක් අදද මට නැත.වෙන ගෙවල් වල තාත්තාට කතා කරන්නට දරුවන් අම්මා භාවිතා කරනවා යන අංඩරදෙමලය මට කවදාවත් නොතේරේන්නේ ඒක ය.සාමාන්‍යයෙන් අපේ ගෙදර වෙන්නේ ඕක අනෙක් පැත්තය.එහෙමත් නැති නම් මම තාත්තා ගේ දුව නිසා මම අදත් ඔහුට ඕනෑ එකක් කියන තරම් අපි සමීප වීම ය.
        ඉතාම කුඩා කාලයේ මම යනු මොනවා කරලාවත් නිදි කරවන්නට බැරි බකමූණු පැටියෙක් යැයි අම්මා කියයි.ගෙදර සියලු වැඩපල කර තව මාවත් නිදි කරවන්නට පැය ගාණක් කකුල් දෙක හොලවමින් වද විඳීම ඈට අසීරු ය.එහෙම වූවාට තාත්තා මා කකුල් දෙකේ තබාගෙන ඉහින් කනින් දාඩිය දමන තුරුම මා නැලවූ බවද,මම ඔහුගේ මුහුණ දෙස බලමින් මුලින් කෝලම්ද,පසුව පණ්ඩිත කතාද කියවන වගත්,ඒ අනුභාවයෙන් අප කාමරයේ බිත්ති වල තීන්ත පතුරු ගැලවී තාත්තා ගේ පිටේ ඇලෙන තුරුම ඔහු මා නැලවූ වග අම්මා විටෙක කියයි.ඒ කතාව ඇත්ත ය.දැන්ද මතකයේ ඇති ඒ කාමරයේ ඇඳ අසල බිත්තියේ තීන්ත පතුරු ගැලවුනු තැන් පසු කාලීනව වැඩි දියුනු කෙරුනේ මා විසින්  නිසා මට මතකය.
         ඒ කාලයේ මට දහවලට නිදාගන්නට කුඩා ඇඳක් අපේ කෑම මේසයට එපිටින් විය.අම්මා කුස්සියේ උයන සැඳෑවන් වල ඇයට කරදර දෙන්නට මා යන එක වලක්වන්නට තාත්තා කරන්නේ ඇඳේ වැතිරී මාද තබාගෙන මගේ කෙලවරක් නැති බක පණ්ඩිත කතා ඇසීමය.එහෙමත් බැරි දිනවල මගේ පසුපස යෑමත් අසීරූ වූ විට මම සෙමින් සෙමින් කුස්සිය වෙත දිශාව වෙනස් කරද්දී ඔහු ඇඳේ ඉඳගෙනම "ඤාව්" කියයි.
 
  "තාත්තේ ඤාව්වෙක්..ඤාව්වෙක් ඉන්නෝ" කියා නැවතත් ඔහු වෙතට මම යන නිසා පසුව මෙය ඔහු මා නැවැත්වීම සඳහා පුරුද්දක් කරගත්තේ ය.ඉතින් මම ඔහුට "ඤාව්වා" කියා නමක් තැබූවෙමි.
      පොඩි කාලයේ කෑම කවන්නට බයිසිකලයේ තබාගෙන කටකට එක බැගින් රවුමක් එක්කන් යන්නේ තාත්තාය.හවසට ආප්පියලෑ දිහා (මහප්පා යන්නට මා එකල භාවිතා කල නම) එක්කන් යන්නේ ඔහුය.වේවැල වනා බය කරා මිස මතක හිටින්නට වේවැල් පාරක්  නොගැහුවේත් ඔහුම ය.ශිෂ්‍යත්වය සමත් වෙන තුරුම උදේට අන්දවා,සපත්තු දමා,ඔහුට ඕනෑ ලෙස පැත්තට කොණ්ඩය පීරා මාව පාසල් යවන්නේද ඔහුය.මඳක් දුර බැහැර පාසලක සේවය කල නිසා අම්මා නිවසින් යන්නේ මා අවදිවන්නත් පෙරය. ඒ නිසා හෝ කෙසේ හෝ අදද බත් එක බැඳ අතට දෙන්නේ ත් ඔහුමය .මට කොහොමත් අම්මා බත් එක බැන්ද විට එක්කෝ අඩුය.එක්කෝ වැඩිය.මොකක් හෝ අව්ලක් ය.ඒත් තාත්තා එහෙම නැත.අප දෙදෙනාටම පසු නිවසින් යන නිසා එදා සිටම බත් බැඳීම තාත්තාගේ කාර්යයක් විය.
       මම දනි පනි ගා ඇවිදින කාලයේ සෑම රාත්‍රියකම කාමරයේ ඇඳ හදන්නේ තාත්තා ය.එය ඔහුට කරන්නට ඕනෑ වැඩක්‍ ය.අම්මාත් ,මමත් බෙහෙවින් පරිස්සම් වීම් වලින් අඩු යැයි හිතන තාත්තා මුලු ඇඳම අනික් පැත්ත හරවා ,අස් කර මෙට්ට දමා හැම දවසකම ඇඳ හදයි.මොකෙක් හෝ කාලා මොකක් හෝ වේවි යැයි ඔහු එදත් අද මෙන්ම බයය.ඉතින් මේ ඇඳ හැදිල්ල අප දෙදෙනාගේ අනෙක් කෝලම වීය.ඒ මට ඔහුගේ බඩ යටින් රිංගන්නට තිබ්බ ආසාවය.☺️
    ඔය කියනා තරම් ලොකු බඩක් අපේ තාත්තාට තිබ්බේ නැත.එහෙත් වයසේ හැටියට ඔහුට බඩක් තිබිණි.ඉතින් මේ පැත්තේ සිට ඇඳ බිත්තිය පැත්තේ ඔහු නෙට් එක දමන විට මම ඔහුගේ බඩ යටින් රිංගුවෙමි.ආයේ අනෙක් පැත්තට යමි.බඩ කීවාට අත් දෙක නමා ඉස්සරහට නැමුණු විට ඒ ඉඩෙන් රිංගන්නට තරම් මම කුඩා වී සිටි කාලයේ මේ කෝලම තිබිණි.අන්තිමට යන්නට නොහැකිව හිර වෙන්නට ගත් පසු "මට දැන් යන්න බෑනේ" කියා ඔය කෝලම නතර වුනේ මට අවුරුදු 8ක් විතර වීමෙන් පසුව විය යුතුය.
           මගේ කටේ තිබුණු රන් වැකියක් විය.එය හැමවිටම කියවෙන්නේ පාසලේදී වන අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු නිසා ශිෂ්‍යත්ව පන්තිවල පරිසරය පාඩම් වලට ආ විට මම මෙය මතුරන්නට පටන් ගනිමි.ලෙඩ රෝගද,පරිසරයේ පිරිසිදුකම ද හැම මොහොතකම ගෙදර මාතෘකා අතර රැදෙන්නේ ඔහුගේ රැකියාව නිසා ය.ඉතින් ඒ හා අදාල කුමක් හෝ උගන්වන විට අත ඔසවමින් අමතර කතා කීම කොහොමත් සිදුවන්නකි .මම සෑම විටෙකම එය නොදැනුවත්වම අරඹන්නේ "ටීචර්... අපේ තාත්තා..." කියා ය.ඒ නිසා මගේ අමතර කතාව කියන්නට කට අරින සෑම විටකම පන්තියෙ සිසුන්.. "ඔන්න ටීචර්.. අපේ තා...ත්තා " කියමින් මට විහිලු තහලු කිරීම අරඹති.පසුදිනයක පංති රැස්වීමකදී අම්මා හමු වූ මාගේ දයාබර ගුරුතුමිය ඈට මේ වග පවසා තිබිණි.අදද අහම්බයකින් මුණ ගැසුනු විට මාගේ "අපේ තාත්තා" මතක් කරමින් ඇය සිනාසෙන්නේ කිසිම දවසක "ටීචර් අපේ අම්මා "කියා නම් මම කීවේ නැති බව පවසමිනි.

    කිසිදා කිසිම දිනෙක කිසිම දේකට බැහැ කියා ඔහු කියන්නේ නැත.මොන දේ ඉල්ලුවද කොයි ලෝකෙන් හෝ එය ගෙනවිත් දීම ඔහුගේ හැටියක්ය.විටෙක අම්මාගේ දොසට ලක් වුවද ඔහු ඒ පුරුද්ද අත් හරින්නේම නැත.එකක් ඉල්ලූ විට දෙකක් ගෙන එන එක කෑම වලට පැමිණි විට එහෙම ය.මට මොනවා හෝ අවැසි නම් එය දැන් නම් ඔහුට එය දැන් ය.යන්නට එන්නට හැකි දුරක නම් මහ රෑ වුවද ඔහුට ගානක්ම නැත.එක්තරා දිනෙක රාත්‍රීයේ එතරම් හදිසි නොවු ටියුට් කිහිපයක් එසැණින් ගොස් ගෙනවිත් දීමට ගොස්  මිතුරියගෙන් බැනුම් ඇසුවේ මම ය.එතරම් රාත්‍රියේ තාත්තා එව්වේ මොන එහෙකටද කියා ය.එහෙත් කොතරම් කීවද නැවතීමක් කියා එකක් ඔහුට එවෙලෙට නැත.ඒ තාත්තලාගේ හැටිද නැත්තම් මේ තාත්තාගේ හැටිද කියන්නට මම නොදනිමි.
    මම සැමදා ඔහුගේ දුව වීමි.මම කිසිදා අපෙ අම්මාගෙ පැත්තට හැදුනේ නැත.වෙන පවුල් වල දරුවන් අම්මාගේ පවුලට බෙහෙවින් සමීප යැයි කතාවට කියයි.එහෙත් අප නිවසේ සියල්ල තාත්තාය.ඔහුගේ සහෝදරයින්ය.ඒ දරුවන් ය.ඉතින් මම එදා සිටම තාත්තා ගේ දුව වුනු අතර මඳක් කේන්ති ගියවිට අම්මා "තාත්‍තලා දුවලා ඔනී එකක් කරගත්තාවේ "කියා යන්නේය.
      ඉස්කෝලෙ යන කාලයේ හවස පන්ති නම් ආවේ තාත්තා ය.පන්ති රැස්වීම් නම් ඒත් තාත්තා ය.මියුසික් ප්‍රැක්ටිස් ඒත් තාත්තා ය.පාන්දරින් යන පාසල් චාරිකාද ඒත් මට තාත්තා ය.හවස පන්තිද තාත්තා ය.මා බාර දුන් දිනයට පසු අපේ අම්මා පාසලට ආ දින ගණන මගේ ඇඟිලි වලටත් අඩු ය.ඒකට හේතු බොහොය.එකක් ඇයගේ රැකියාව නිසා ඈට එන්නට නැත.අනෙක පයින් දුර ගමන් අම්මාට අසීරුය.තාත්තාට ඔහුගේ බයිසිකලයේ එක ගමනය.ඔහු සමඟ පිටිපස්සේ හිඳගෙන කතන්දර කියමින් කෑගල්ලේ සිට ගෙදර ඒම ද අර ජෙහාන් කියනවාක් මෙන් වෙනමම ආතල් එකක් ය.
     තාත්තා සමඟ ගමන් යාමේ අනික් සතුට නම් කෑම ය.මටද ඔහු මෙන් බස් ගමන් වහකදුරු බැවින් අප දෙදෙනා ඔය නුවර කොලඹ පාරේ කොහේ හෝ කඩයකට ගොස් බඩ පිරෙන්නට කන්නෙමු.ඔහුගේ සෞඛ්‍ය දෑසට අනුව හොඳ යැයි සම්මත කඩ ඔහු දනී.ඒ නිසා කොච්චර කෑවත් හා ය. මම බඩගින්නේ ගෙදර ගොස් හෙට ගැස්ට්‍රයිටිස් සෑදී විඳවන එකට වඩා ඇතිවෙනකන් කන්න අරන් දෙන්නට ඔහු කැමතිය.මොන රෝගය නැතත් ගැස්ට්‍රයිටිස් සෑදී,මට බඩේ තුවාල සෑදී සියලු වැඩ අසාර්ථක වේ යැයි බියක් ඔහුට ඇත.අදද සුපුරුදු වේලාවට මිනිත්තුවක් ප්‍රමාදද ඔහු කාමරය ගාව කුරු කුරු ය.කෑවේ අඩුවෙන්ද ඔහුට අර බිය ගෙන එන්නේ මා කුඩා කාලයේ තාත්තා ද බෙහෙවින් ඒ රෝගය නිසා දුක් විඳි නිසා විය යුතුය.විටෙක මොකක්ද අනේ මේ කියා සිතුනද හැමදාම මොනවා වුවද ජීවිතයේ සියලු දේ පිලිබඳව ඔහු හරියටම හරිය.
    ඔහුට මහා පුදුමාකාර ඉවක් ඇත.ඒක විටෙක මටද ඇත.ඔහුට දැනෙන්නේ ය.ඔහු ඒ දැනීමට බියය.එහෙම බියවී යමක් කීවාද එය අප ගණන් නොගන්නේද ඒ කියන්නේ අපට වැරදෙනවාම ය.ඒ ජීවන අත්දැකීම් විය යුතු යැයි මම සිතමි.ඒ නිසා කුඩා කාලයේ ඇම්බැට්ටකම් හැර මේ ජීවිතයේ ඔහුගේ යම් යම් උපදෙස් නොපෙන්නුවාට ඉතා තදින් ඔලුවට ගන්නට මම පුරුදු වූයේ එකක් දෙකක් වී ,හොට බිම ඇනුනාට පසුව යැයි මම කියමි.එහෙමට කියා ඔහුගේ දෑසට අද වෙනකම් මම කඳුලු දී නැත.ඉඳහිටලා පොඩ්ඩක් මොනවාට හෝ රණ්ඩු වී ඇඬීම හැරුණු විට එහෙමට ඔහු මට රිදවා නැත.ඒවා කොහෙත් තාත්තාලාට දුවලාට ඇති පුංචි පුංචි නොරොක් වීම් ය.
     එක්තරා තීරණාත්මක හවසක ඔහු මගෙන් දෙයක් ඉල්ලුවේ ය.අතිශය සාවධානව සියල්ල අසා හිඳ සුපුරුදු පරිදි අම්මාගේ රැවුම් මැද මාගේ දෑසට එබි එක ගැඹුරු බැල්මක් හෙලා බොඳ වූ මගේ දෑස තුලින් වුවද ඔහුගේ ඉල්ලීම අහක දමන්නට නොහැකිව මම අසරණ වූවෙමි.ඒකට කමක් නැතැයිද,තාත්තා හින්දානේ කියාද ඉන් පසු මම හිත හදාගත්තේමි.මන්ද ඒ මගේ ලෝකයේ හිරුය.මොන තාරකාවටත් පෙර මගේ ලෝකයේ හිරු ඔහුය.ඉතින් මගේ ලෝකය ඉරිතලද්දීත් ඔහුගේ සතුටට ඉඩදී අදද මම නිහඬව සිටිමි.ඒත් දැන් නම් සැමදාකම මෙන් තාත්තා නිවැරදි වග සිතෙන්නේ මන්දැයි මමද නොදන්නෙමි.
    ඔහුට මාගේ උපන්දිනය මතක නැත.ඒ තියා ඔහුට ඔහුගේ උපන්දිනයද විටෙක අමතක ය.මගේ මුලු නමද,වයසද ඔහු දන්නවා යැයි මම උපකල්පනය කරගෙන සිටිමි. ඒත් එකපාර ඇසුව හොත් ඔහුට ඒකත් පැටලෙන්නේ ය.එහෙත් උපදින්නටත් මාසයකට පෙර අම්මා ට රෝහල් ගත වන්නට සැලැස්වූ ,ඉක්බිති මාසයක් ඈ බලන්නට උදේ හවස කොලඹ යන්නට සැලැස්වූ,උපන්දා සිට සෑම සවසකම කුමක් හෝ ජල්තරයක් සිද්ද කර හොරා වගේ නිදාගන්නා ද,අම්මාගෙන් නිරන්තරයෙන් හුරතලය වැඩි යැයි ඔහුට බැණුම් අස්සවන්නා වූද,කුඩා කාලයේ විදුලිය නැති වූ විට විදුලි බල මණ්ඩලය ඔහුගේ කියා සිතාගෙන "තාත්තේ.. ලයිට් නෑ..අනේ ..ලයිට් "කියමින් හූ තියන්නාවූද,අම්මාගේ මල් පඳුරු පිටින් ගලවන්නා වූ ද,අම්මා ගැන පමණක් ජනකවි පොතේ තාත්තා ගැන නොවූ නිසා රැයක් ඉකි බිඳ බිඳ "මේකේ තාත්තා ගැන නෑනේ..එයා ආදරේ නෑද එතකොට"කියමින් හැඬුවා වූ ද,උදේට ඇඳේ සිට  වඩාගෙන කුස්සියට එනකනුත්,ආ පසුත් ඔහුට හේත්තු වී නිදි කිරන්නා වූ ද,කටකාර,බක පණ්ඩිත,පොඩි දේටත් ඉක්මනින් වැටෙන ,කුකුල් කේන්තිකාර මේ නල්ලමලේ දූ පොඩිත්තගැන ඔහු තරම් කිසිවෙක් දන්නේද නැත.
       අදත් මටත් වඩා තියුණු ලෙස මා කියවන්නට හැකි මෙලොව එකම පිරිමියා ඔහු ය.මට බීගත් මිනිසුන් හසුරවන්නට බැරිය.මම එහෙම අත්දැකීම් නැත.ඔහු බොන්නේ නැත.මට ඒ හිරුද සඳුද අත් හැරීම අසීරු ය.හේතුව වසර 8ක් ඔහු ඔහුගේ ලෝකයේ ඔහුගේ අම්මාට සැලකූ හැටි මේ දැසින් දුටු නිසා ය.ඔහු රෝහල් ගත වී සිටියදී සුව වන විට එක දිනක් පමණක් ගොස් ගෙදර සිටියේ ඒ අතේ කැනියුලාවක් දැක්කද මට අප්සට් වෙන නිසා ය.සැමදා තනිකම දරාගන්නට එදා සිටම ඔහු මට ඉගැන්නුවේ ය.පවුලක එකම දරුවා වීම ලෙහෙසි නැත.ඒ දරුවා කෙල්ලෙකු වීම සේරටම හපන් ය.ඔබට සමාජයද,ගෙදරද සියල්ල සමබර වන තීරණ ගන්නට ගිය විට අප වැටෙන්නේ කබලෙන් ලිපට ය .ඒ සියලු පීඩන මැද සියල්ල දරාගන්නට එදා සිටම ඉගැන්නූවේ ඔහු ය. ඉතින් ඒ තාත්තා නැති දවසක කොහොම ඉන්න දැයි මට වැටහීමක් නැත.ජීවිතයේ ලොකුම බය ඒ ජීවිත දෙක ය.ලොකුම සවිය ද ඔවුන්මය.ඒ මහා සෙවනැල්ල නිසා මම අදද බඩ පිනුම් ගසමින්,ඒ කාලයේ මෙන් සැහැල්ලුවෙන් සිටිමි.එහෙත් කල් ගෙවෙන විට ඒ බර මේ උරහිසට එනවිට කොහොම කරන්න දැයි බියවී ඇඬෙන සවසක තවමත් මා නැගිටවන්නට ඔහු මා ලඟ ඇත.අන් සියලු දේ අත් හැර දැමූවද ඒ සෙවණ අත් හරින්නට බැරි ඒ කය. ඒ තාත්තලා ගේ බැඳීම් වල හැටි එහෙමය.කොයි ගෙදරත් තාත්තලා දුවලා මෙහෙම විය යුතු ය.ඔය කොයි තාත්තා ත් අන් සියල්ල පසෙක ලා දරුවන් ට ආදරය කරන්නේ එහෙම  විය යුතුය.ඒ ඉරට මේ තරුවලට එහා ලෝකයක් ඇත්තේම නැත.
   සේරමත් හරිය .මට කාලා ඉන්න බැරි එක පුරුද්දක් ඔහුට ඇත.උදේ පාන්දර පාසල් ගියද,පසු කාලීනව ලෙක්චර්ස් ද,පන්තිද ,රැකියාවද මොනවාට ගියද ඔහු මගෙ ඔලුව අතගාන්නේ නම් නැත.උදේට දුව දුව මං යනෝ කියා වඳිද්දී ඔලුව කීයටවත් අත ගාන්නේ නැති නිසා මට ඔහු සමඟ කේන්තිය.

එහෙත් ඔහුට ඒකටත් හේතුවක් ඇත.

   "ඔය කොන්ඩේ අවුල් වෙනවනේ පුතේ..." ඔහු කියන්නේ ය .
  ඉතින් ඒ මගේ තාත්තා ය.ඒ ඔහුගේ ආදරයේ හැටි ය.

මානි ✒️




5 comments:

  1. තාත්තලා ගැන කියවීම වෙනම කලාවකි. මේ දවස්වල මොකද මන්ද... කීපයක් කියවන්න ලැබුනා තාත්තලා ගැන. මේ තියෙන්නේ තව එකක්

    ReplyDelete
  2. +++++++++
    Enjoyed as a dad of a daughter.

    ReplyDelete