Sunday, December 24, 2017

නත්තල් 🎄🎄


    නත්තල් හැමදාම එන්නේ නැත.නත්තලේ අමුතු සතුටක් ඇත්තේ ඒ දෙසැම්බර් කාලගුණයේ සීතල සතුට දැයි මම නොදනිමි.ඒවා මොනවා වුනත් අපි බෞද්ධ වුනත් මං පොඩි කාලේ අපේ ගෙදර නත්තල් ගහක් හදන්නට නම් අනිවාර්යයෙන් ඕනෑම ය.🎄

  ඒ කාලේ ටීවී එකෙන් පෙන්නන නත්තල් ගස් හරී ශෝක් ය.ඒවාගේ එකක් ඕනෑ යැයි මර ලතෝනී දුන් පසු අහල ගම් හතක එලෙස නත්තල් නැති මුත් ගෙදර උණ පඳුරෙන් හොඳ කොටසක් කපා පෝච්චියක ඉන්දා... ඒකට බල්බ් වැල් දමා ඉල්ලන ඔනෑම දෙයක් ගෙන දෙන තාත්තා මට නත්තල් ගහක් හදලා දුන්නේ ය.🎄😍

  පෙට්ටි වලට තෑගි දමා... බිත්තර කටු වලින් නත්තල් සීයාගේ මුහුණු හදා නත්තල් ගහේ එල්ලන්නේ උතුමාණෝ ය.නත්තල් දා ද ඊට පසුදා ද නත්තල් ගහ ගාවින් මාව ගෙනියන්නට කාටවත් නොහැක. 🎄
  
මොකද්දෝ සතුටක් හිතේ තුරුලු කරගෙන මටත් නත්තල් ගහක් තියෙනවා යැයි හිතින් හිතාගෙන නත්තල් සීයා දුන් බෝනික්කෙකුත් තුරුලු කරගෙන නත්තල් සමරන්නට තරම් සුන්දරත්වය පිරි ළමාවියක් උරුම වීම ගැන සතුටුය.🌟
  
  ඒ සොඳුරු බව වැඩියෙන් දැනෙන්නෙ  කම්මැලි පාලුවේ කිසිවක් නැතුව ගෙවෙන මේ වගේ නත්තල් වලට ය.මේ නත්තල් ගස් පිස්සුව මා සෑහෙන්න ලොකු වෙන තුරු තිබුණු අතර පසුව එය මටම අකා මකා වී ගියේ ය.🌟
   
     නත්තල් ඇති නිසා නත්තල් ඇති කොල්ලෙකු ලොකු වී විවාහ කරගන්නා බව ත් ,මට වෙසක්ද එයාට නත්තල් ද ඇති නිසා අවුරුද්දේ සේරම උත්සව සමරන්න පුලුවන් කියාත් පොඩිකමට කී බකපණ්ඩිතකම් දැන්  අම්මාගේ මුවින් ඇහෙද්දී පොලොව පලා යන්නට සිතුනද , අර කීවාක් මෙන් මුකුත්ම නැති මේ වගෙ ගෙදරට වී ගෙවෙන 🎅 නත්තල් වලට ඒ මතක සොඳුරුය.🎄🎄

"ඉස්සර නම් මෙහෙත් නත්තල් තිබ්බා ... මතකද ඔයාගේ නත්තල් ගහ ?? " මේ අම්මා ය.🎄🌟

    ලොකු ලොකු කතන්දර බැහැර කල විට අවුරුදු අවසානයේ සැනසිල්ලේ ගෙවෙන කාර්තුවක ලබන නත්තල සොඳුරු ය.❤️
    සෙනෙහසින් බැඳෙන්නටත්,සැමට ආදරය බෙදන්නටත්,ලෝකයට සාමය පතන්නටත් නත්තල උදාවන්නේ ය.නත්තල ලස්සනය.එහි අමුතු සතුටක් ඇත.හදවතින්ම සතුට වැලඳගෙන සාමයෙන් සතුටින් අනුන්ගේ සතුටත් රැකගෙන ජීවත් වන හදවත් වලට හැමදාම නත්තල් ය.ඒකට නත්තල් සමරනවාද නැද්ද යන්න අදාල වන්නේද නැත. 🎄❤️

ඉහින් ඔබ සැමටම සුබ නත්තලක් වේවා!!! 🎄🌟 🎅

#මානි

Saturday, December 23, 2017

කවිකාරී

"ලියන ලියවෙන අකුරු පද වල
සුරඟනන් සත් සර හොවා..
නැගෙන කිංකිණි අනු නාද වල
මියුරු පෙම්බර නද කවා..
සිහින් සුලඟට මුසු තාල වල
මදහසට  ඇරයුම් දොවා..
දුරුතු සීතල කවි බැඳුම් වල
එව්වාද පැතුමන් පොවා.. ☺️

ඈත කඳුවල තුරු මුදුන් හා
කොඳුරමින් ලිය වූ කතා..
ඒ නුවර මේ  නුවර  යා වූ
පෙම් පුවත් පබඳිනු පතා..
ගිරි මුදුන් තුරු වැල් මඩුලු හා
ගොත ගොතා නොකියූ කතා..
සිහින් ස්වර මාලා වලින් ඈ
නිදහසේ පබඳින ලතා.. ✒️

නීල ගැබ නිල් වලාවන් බැඳි
රැස් කිරණ හා ලංවෙලා..
වස්සාන සීතලෙන් ඉකි  බිඳි
අතීතෙට  අඳුරක් නෙලා..
පීත ලෝහිත අඳුන් සිත් ඇඳි
රූ රටාවට පණ පොලා...
හැඩ දමා කව්පද බඳී සැදි
සවනකට  ඈ රස ගලා.." 💐

#මානි

Saturday, December 9, 2017

නිදහස

"වටිනාම සිත්  වටිනාම තැන්වල
මුදුව මා වෙත පෑ සිනාවන්..
නගින ඉරගිර කිරණ මෙන් බල
තාම බැබලෙන ඒ මනාවන්...
උපුල් නුවනග බැලුම් හෙල හෙල
ඔවුන් මට දුන් වාසනාවන්..
කුමට වැලපෙම් අඳුර ගල ගල
මසිත දුක් දුන් කල්පනාවන්... 🍁

අගක් මුල් නැති මැදක් නොම ඇති
හේතු සොයනා කාරණාවන්..
වියත් සිදුරෙන් හඳක් මෙන් ඇති
කාලෙකට සිහි වෙන නියාවන්..
දුරක් බොහොවිත් තවත් දුර ඇති
එකට හමු නොවු මග කියා මන්..
කිරණ දිලිසෙන සුදෝ සුදු බැති
තලාවක තනිවෙම්ද මේ මන්.. 😊

අඳුරු  වැහිබර වලා තුල ඇති
රීදී එලි දිස්වන දයාවන්..
මටත් නොදැනිම මා තුලම නිති
මටම යලි මා දැනී නියාවන්..
ඉතින් කුමකට යලි දැනෙන්නැති
බැඳුම් ගැන ලොකු කාරණාවන්...
තනිය ඇති මුත් හිතට දුක් නැති
හෙටක් විය මට වාසනාවන්... !!!  "💐

#මානි ✒️