Sunday, November 5, 2017

පොඩි හාමිනේ ගේ සිහින

     පොඩි හාමිනේ අදත් ඉන්නේ පාර දෙස බලාගෙන ය.වැහිබර ගතියකින් යුත් අහස් කුස මලානික හිරු එලියක් නිකුත් වෙමින් පැවතිණි.තවම කවුරුවත් ආවේ නැත.ඇත්තෙන්ම කිවහොත් තවම එන්නට වෙලාව ආවේ නැත.ඔරලෝසුව දෙස නොබලා වුවද දැන් 12ට ආසන්නව ඇතැයි පොඩි හාමිනේ අනුමානයට සිතුවාය.ඈ ලඟම සනීපයට නිදන ගෙදර බලු තඩියා ය.හවස් කාලයේ සියල්ලෝම එනතුරු ඇගේ තනියට ඉන්නේ මේ බලු තඩියා පමණකි.
      සිය දියණියද,මිනිපිරියද,බෑණනුවන් ද ඔවුනොවුන්ගේ ජීවිතවල කාර්‍යයන් උදෙසා උදෙන්ම පිටත් වී යති.ඒ ඈට අවශ්‍ය සියලු දේ ලඟට කරලා ය.උදේට කෑම බෙදා දී බෙහෙත් හේත් බිව්වාදැයි බලන්නේ මහත්තයා ය.මිනිපිරිය නම් උදෑසනම යන්නම් කිරි අම්මේ කියාගෙන දුවයි.දුවණිය සියල්ල ලඟට සපයා ඊලඟට පිටවෙයි.මේ මහත්තැන් කම ඈ සිය බෑණනුවන්ට අමතන්නට ඈඳා ගත්තේ ඔහුගේ රස්සාව නිසා මිසක පුතේ යැයි නොඅමතන නිසාවකට නොවේ.සාමාන්‍යයෙන් අනෙක් මිනිසුන්ට වඩා ගරුත්වයක් ඇති බෑණා සිය අම්මාට කරන්නාක් සේ සියල්ල කර ගෙයින් එලියට බසින නිසා හිතේ උපන් ගෞරවයකට දෝ ඈ ඔහුට එසේ අමතයි.
"අම්මා.. බෙහෙත් බිව්වාද.."
"අම්මා...කෑවාද??"
"එහෙනම් මන් යනවා..දොරවල් අරින්නෙපා..දුව කලින් එයි.." කියා ඔහුද දුවයි.සේරමලා ගියාට පසු ගෙදර ඉන්නේ බලු තඩියා පමණ ය.ඌ බෙහෙවින් පොඩි හාමිනේට ලැදි නිසා තනිකමට පේන මානයේ වැතිරී නිදයි.
       පොඩි හාමිනේ ට හිටියේ දුවක් හා පුතෙක් පමණි.දියණියට පස් අවුරුදු පිරෙන දා පොලඟෙක් දෂ්ට කර සිය සැමියා මිය යද්දී පුතුට අවුරුදු 12ක් පමණ වන්නට ඇත.යොවුන් වියේදීම කනවැන්දුම් වූ ඈගේ අත පතා ආ ගමේ පිරිමින් බොහෝ ය.ඒ කාලයේ ගමේම බොහොම ඇහැට කනට පේන්නට සිටි හැඩකාර ගැහැණියක් වූ පොඩි හාමිනේ ඒ එකක් හෝ සැලකුවේ නැත.හිතේ ධෛර්ය පමණක් ඉතුරු කොට ගෙන  ජීවිතයට මුහුණ දෙන්නට ඈ හිත හදාගත්තා ය.
   කුඹුරුවල වැඩද,බුලත් පාත්තිද,වැවේ පන්කපා වියූ පැදුරුද අසීරුවෙන් වුවද ගෙදර තිදෙනෙකුගේ බඩ ගින්දර නිවූ හැටි අදද උන්දෑට හොඳින් මතක ය.ගමේ වැවේ සිට බුලත් පාත්ති වලට සිය දෑතින්ම කලගෙඩි පුරවා වතුර ඇද්ද හැටි ඈට මතකය.ඒ දෑත් වල රැලි වැටුනු සමට යටින් මතු වී පෙනෙන නහර වල ඇගේ දුක් මහන්සියේ කතාව ලියවිලා ය.

"මොනවා වුනත් අපි ඒ කාලේ සතුටෙන් හිටියා"

තනිකමින් පිරි මහ විසාල නිවස තුල සිට මේ අම්මා තනිවම කල්පනා බරවය.

"මට කොල්ලා හිටියානේ"

    ඇත්තය.තාත්තා නැති පවුලේ සියලු බර කරට ගෙන උසස්පෙලින් පසු හමුදාවට ගිය ඇගේ පුතු වූ සෝමරත්න සිය නැගණියද ,අම්මාද බලාගත්තේ ය.නැගණිය ඉගෙනුමට දක්ෂය.කවදා හෝ සිය දරුවන් යහපත් තැන්වල සිටිවී යන සිතුවිල්ලෙන්ම පොඩි හාමිනේ ඒ කර්කෂ ඉරි තැලුණු පොලොව හා හැප්පුණා ය.
   කාලය ගෙවී ගියේ සියල්ල කණපිට හරවාය.හිතුමතේ විවාහයක් කරගත් සෝමරත්නත්, ඇගේ බිරිඳගේත් අඬ දබර ද,ඒවාට මැදි වූ දරු දෙදෙනාද,සිය දියණියද සමඟ උසාවි ගානේ දිව්වේ පොඩි හාමිනේ ය.සෝමරත්නගේ විවාහය දික්කසාදයට කටයුතු යෙදෙද්දී පවුලේ වූ දරුවන් සිව්දෙනා දෙදෙනා බැගින් එහෙටද මෙහෙටද බෙදී ගියේ ය.වැඩිමලුන් දෙදෙනා සෝමරත්න ලඟ ය.ඔහුගේ රැකියාව නිසා ඔවුන් ලොකුමහත් වූයේද ඇයගේ දෑතින් ය.
      කාලයේ ඇවෑමෙන් ඒ දරුවන් ලොකුමහත් වෙද්දී ඔවුන්ට මේ කිරිඅම්මා බරකි.ඉඳ හිට නිවාඩුවට දුවගේ ගෙදර ආවාට එහි රැඳෙන්නට පොඩි හාමිනේ අකමැතිය.එය ගම නොවීය.නගරාසන්නව කොහේටවත් ඇවිදින්නට හෝ යන්නට නොහැකි මේ කොටු කල ජීවිතයට ඈ ප්‍රිය නොවීය.වැව් පාරේ ඇවිද ගොස් ගමේ ගෙවල් වලට ගොඩ වැදී නිදහස් කතාවක යෙදෙන්නට ඈට මේ නගරයේ බැරිය.නැතිනම් ඉන්නට මිසක් යන්නට නොකියන සිය දියණියගේ ගෙදර ඇයට  රැඳෙන්නට හැකිය.
      එහෙටත් මෙහෙටත් ඇදුණු දිගු කාලයකට පසු සියලු අඬ දබර දරන්නට නොහැකිව දැන් ඈ  සිය දියණිය ලඟ ය.සියලු සැලකුම් ඇත.සතුට ඇති මුත් ඈට දැනීමක් නැත.හිත ගම් ගෙදර ය.මිය යන තුරුම රැඳෙන්නට ඈ තනා ගත් නිවස එහිය.ඇගේ ගමද ,නෑදෑයින්ද, මුණුපුරන් ද එහි ය.මී මුණුපුරන් පවා ඇත.එහෙත් ඔවුන්ට ඈ ගැන ගානක් නැත.
දුරකථන ඇමතුම් දෙන්නටද,ඔවුන්ට ඇවිත් යන්නටද කීවාට ඔවුන් මෙහි එන්නේ නැත. දියණියගෙන් ඇසූ කල්හි පිලිතුරු රහිතව ඈ නිරුත්තර ය.එක් දිනෙක දැනගත් පරිදි ඔවුන්ට ඈ බලන්නට එන්නට උවමනාවක් දැන් නැත.
        සිය දෑතින් හදා වඩා,සිය ලේ කිරි කර පොවා දුක් මහන්සියෙන් මහ පොලොව හා ගැටී නොවිඳිනා දුක් විඳ උස් මහත් කර ඇගේම දරුවන්ට ඈ ඕනෑ නොවුනේ මන්දැයි ඒ වයෝවෘධ සිතට තේරුමක් නැත.කාට වුවත් සෝමරත්නටවත් ඈ සිහි විය යුතුය.නැතිනම් චාමරට හෝ ඇගේ සොයුරියට ඈ සිහිපත් විය යුතුය.සිය දියණියගෙ දරුවන්ට වඩා ඇහේ මූනේ තබා උන් හැදුවේ පොඩි හාමිනේ ය. නිවසින් පිටමං කල වග සැබෑවක් වුවද ඔවුන් එක දවසකට හෝ තමන් බලන්නට ඒවි යැයි ඈ මෙහි හිඳගෙන සිහින දකින්නී ය.
    ඔවුන්ගේ මී මුණුපුරන් දකින්නට,ඔවුන් සිප සනසන්නට ඈට සිහින ඇත.අවසන් හුස්මට පෙර සිය ගමරට යන්නට ඈට සිහින ඇත.මෙහි සියලු සැප ඇතිවග සැබෑ ය.එහෙත් ඒ සිය ගමගෙදරය.සැමටම ඕනෑ ගමරට යන්නටය.සැලකුම් නොලැබුවද දැන් නම් ගමරට යන්නට පොඩි හාමිනේට ඕනෑ ය.

"එහේ ගියොත් අම්මාට අරුන් කන්න බොන්න වතුර ටිකක්වත් දෙන්නෑනේ අම්මේ..අම්මා මෙහෙ මන් ගාව ඉන්න.මොකො මහත්තයා එපා කියනවද..එයා වුනත් කැමති නෑ අම්මව එහෙ යවන්න."

"උන්ට අම්මා ගැන ගානක් නෑ අම්මේ..කොහොමද අහන්න එක කෝල් එකක් නොදෙන මිනිස්සු.."

මේ දියණියගේ වදන් ය.ඒවා ඇත්ත වග පොඩි හාමිනේ දනී.එහෙත් ඇගේ සිතේ අර සිහින ඇත.ඈට ඕනෑ එවා හෑබෑවක් කරගෙනම අන්තිම හුස්ම යවන්නය. එහෙත් ඇගේ පුතුට දැන් ඈ මතකත් නැත.ඇගේ ගමට ඈ අමතක ය.අඩුම ගණනේ උපන් බිමෙහි මිහිදන් වන්නට හෝ අවස්තාවක් ඇති දැයි මේ අම්මා ට දැන් දැන් සැකය.සිතේ වේදනාවන් කියන්නට ඈට කෙනෙක් නැත.නොදැනීම මේ වදන් මිමිනෙන්නේ ඒකය.එය ඇසූ සිය දියණිය සිය සැමියා හා මේ බව කියා සිය සහෝදර යාගේ නොපනත්කම් නිසා විඳවන අම්මා ගැන රහසින් හඬනා වග පොඩි හාමිනේ දන්නේ නැත.ඇය නිරන්තරයෙන් මේ කවිය මුමුණමින් කල් ගෙවා දමන්නේ පුතු ඈ බලන්නට එනකම් ය. 

"බඩගිනිවෙලා මා ගිය කල පුතුගේ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි    මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට..."

_මානි_ ✒️



1 comment: