Thursday, January 25, 2018

"හතර කේන්දර" 📝✒️

"සර්ලට මොනවද ගේන්නෙ?? "

දීර්ඝ නිහැඩියාවක් බිඳපු වේටර් ගේ හඩින් පියවි සිහියට ආපු දෙනුවන් මෙච්චර වෙලා මහ පාරේ යන වාහාන ගණන් කරපු ඇස් දෙක කරකවලා වේටර් දිහා බැලුවා.
 
"ම්..මොකද්ද..?? "

"සර්ලට මොනවද  ගේන්නේ..?? "

"ආ.. ම්ම්.. ඔරේන්ජ් ජූස්?? " ප්‍රශ්නාර්ථ දෑසෙන් කමක් නැති දැයි  විමසා  හෙලපු  දෙනුවන්ගෙ බැල්මට ඇය මුකුත් නොකියම ඔලුව වැනුවා.

"ඔරේන්ජ් ජූස් දෙකක් මල්ලී "

තමන්ගෙ පිලිතුර සටහනක් දමාගෙන ඈතට ඇදෙන වේටර් දිහා හිස් බැල්මක් යොමාගෙන හිටපු දෙනුවන් අන්තිමට  මේ නිහැඬියාව බිඳලා දාන්න  හිත හදාගත්තා..

"ඉතින්..??"

ආපු වෙලාවේ ඉඳලම මොනවත් නොකියා හිස් බැල්මක් වීදුරුවට එපිට ඈතින් පේන නුගේගොඩ අහසට හෙලාගෙන හිටපු සඳසි අන්තිමට දෙනුවන් දිහා බලලා මද සිනාවක් පෑවා.

"ඉන්නව ඉතින්.." 🙂

"අම්මලා හොඳින්ද?? " ඔහු ආයෙමත්..

"විශේෂ හොඳක් කියලා නෑ.. එයාලත් ඉන්නව ඉතින්.." සඳසි  පිලිතුරු දෙනවා..

"හ්ම්ම්.. මට සමාවෙන්න.. " 😕

අන්න එතකොට නම් මෙච්චර වෙලා තිබ්බ හිස් බැල්ම පැත්තකින් තියලා සඳසි ඇහි බැමි දෙක ඉස්සුවා..

"ඒ මොකටද?? " ප්‍රශ්නාර්ථයක්!! 😕

"ෆියුනරල් එකට එන්න බැරි උනාට.. 😒 මට ළහිරුගෙ මෙසේජ් එක් ආවෙ හුඟක් ලේට් වෙලා.. ඒ දවස් ටිකේම අපි ටවුන් එකෙන් හුඟක් ඈත හිටියෙ.. එ හරියට සිග්නල් අවුල්.. අනික් ඔයා දන්නවනේ සඳසි.. මං ට්‍රැවල් කරන්න ගියාම...

"ෆෝන් චෙක් කරන්නෑ.. මෙසෙජ් බලන්නෑ .. අඩුම ගානේ ඔන්ලයින්වත් නෑ.. ඔව් මන් දන්නවා.." දෙනුවන්ගේ කොටස සඳසි සම්පූර්ණ කලා. 😊

"හ්ම්ම්ම්... අයැම් සො සොරි " එහෙම කියලා ඔහු යටි තොල හපාගෙන ඇස් දෙක හීනි කරලා සඳසිට බැල්මක් හෙලුවා.ඒකෙ තිබ්බෙ පසුතැවීමක්.සඳසි හිනා වුනා.

"නෑ..ඒකට කමක් නෑ දෙනුවන්.අනික ඔයා ආවා කියලා මට සහන්ව ආයේ ලැබෙන්නේ නෑනේ.ඒකට කමක් නෑ ඉතින්.."ආයෙමත් අර හිනාව.. 🙂

දෙනුවන් ට ඒක පුරුදු යි.සඳසිගේ ඒ හිනාව කියවන්න පුලුවන් අය මේ ලෝකේ හුඟක් අඩුයි..ඒ හිනාව හරියට ඇතුලෙන් පෑරිලා තියෙන තුවාලෙක උඩින් හැදුනු කබොලක් වගේ..වේදනාව වහගෙන හිනාවෙන..

"හ්ම්ම්.."

"හ්ම්ම්.." දිග හුස්මක් එක්ක සඳසි ඉවත බලාගත්තා.
 
බොහොම දරුණු විදියට ඉර රැස් කෝපාන්විත බැලුම් හෙලන මද්‍දහනට ඔන්න මෙන්න කියලා හෙමින් හෙමින් නුගේගොඩ පසුකරන් ඇදෙන රථ වාහාන පේලි දිහා ආයෙමත් දෙනුවන් බැලුවා.කලර් ලයිට් එක් ලඟ තදබදය.. එහෙට මෙහෙට ඇදෙන මිනිස්සු..වාහාන..ඊටම හරියන්න රවන ගොරවන චන්ඩ හිරු රැස්..!! 🌞සමහර වෙලාවට ජීවිතේ තියෙන කාෂ්ටක ගතිය ඉඳහිට වැටෙන වැහි වලට යවන්න බෑ..

"ඔයා කවදද ආපහු යන්නෙ?? " සඳසි අහනවා..

"තව සති දෙකකින් විතර.." 😊
"ආයෙමත් ෆ්‍රාන්ස් ද?? "

"ම්හ්.. නෑ මේ පාර යුරොප්.. එහෙ ඉතුරු උනු වැඩ වගයක් තියෙනවා.. ඒකෙන් පස්සෙ ආයෙම UK එනවා.." 😊

"ම්ම්ම් එතකොට තරිනි?? "🙂

"තරිනිට ඉන්න වෙනවා ටික කාලයක්.. ඔයා දන්නවනේ.. බබාත් එක්ක එයාට තවම එහේ මෙහේ යන්න බෑනේ.." දෙනුවන් කිව්වා.

"ම්ම්ම්..ඔව්නේ නේද..??" සඳසි ආයෙම හිනාවුනා.. ඒක තමන් එපා කියල පයින් ගහපු ජීවිතය.. පයින් ගැහුවමත් නෙවෙයි.. අපි කියමුකො කරගන්න දෙයක් නැති කමට පයින් ගහපු එකක් කියලා..
    
 දෙනුවන්ව සඳසිට මුණ ගැහෙන්නේ මීට අවුරුදු ගානකට කලින් තිබුනු ඡායාරූපකරණය ගැන වැඩමුලුවකදි.ලංකාවේ හතර අතේ විහිදුනු සුන්දර දසුන් හොයාගෙන ගියපු ෆොටොග්‍රැෆි කෑම්ප් එකක දී..බොහොම උද්‍යෝගිමත් විදියට ලෝකේ වටේම සුන්දර තැන් තමන්ගේ කාචයට අසු කරගන්න හීන දැකපු අනාගත ඡායාරූප ශිල්පියො දෙන්නෙක් උනු සඳසිත්,දෙනුවනුත් ඒ  කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයො දෙන්නෙක් විතරයි..

  කාලයාගේ ඇවෑමෙන් දෙන්නට දෙන්නා නැතුව බැරි වෙනකොට මේ දේවල් ගැන ගෙවල් වලට කියන්නයි මේ දෙන්නට ඕනෑ වුනේ.. අන්න එතනදී...

"සර් බිල් එක.. " ආයේමත් වේටර් මලයා.. 📝

උගුරෙන් උගුර හිමීට උඩට ඇදෙන බීම එක් දිහා බලන් කල්පනාවේ ගාල් වුනු සඳසි  මේ ලෝකෙට ආවා. දෙනුවන්ගෙ ඇස් තවමත් ඇය ගාව..

"ඔයතරමට කල්පනා කරන්න එපා ළමයෝ.. ජීවිතේ හැටි ඔහොම තමයි.. අපි ඒකට මුණ දෙන්න ඕනී.. ඔයාට අපි ඉන්නවනෙ.. " දෙනුවන් කිව්වෙ සඳසිගෙ නිහඬ කල්පනාව බලන් ඉන්න බැරුව..
ආව වෙලාවෙ ඉඳලා දෙන්නත් එක්ක කතා කරනවට වඩා කලේ කල්පනා කරපු එක කියලයි දෙනුවන්ට නම් දැනුනේ..

"පහුගිය අවුරුදු ගානටම මට කියල එහෙමට කවුරුත් හිටියෙ නෑ දෙනුවන්.. ගෙදර උනත්.. පවුල උනත් .. එයාලට ඕනි උනේ මාව කාට හරි දීලා නිදහස් වෙන්න.. අන්තිමට මන් වෙනුවෙන් ඉන්නව කිව්ව කෙනත් ගියා.. දැන් ඉතින් කවුද?? " බීම බටය  වීදුරුව ඇතුලේ කරකවමින් සඳසි කියනවා.. 🙂

"සහන් ඔයාට ආදරේ කලා සඳසි ..."
"ඒක මන් දන්නවා.. නැත්තං අතීතයක් ඔලුව උඩ තියාගෙන ජීවත් වෙච්ච මං එක්ක එච්චර ඉවසන්නෙ කවුද.. ප්‍රපොසල් එකක් උනත්.. සහන් හොඳ කෙනෙක්.." සඳසිගෙ ඇස් වල කඳුලු..

දෙනුවන් බිම බලා ගත්තා.. ඒ සඳසි අඬනවා බලන්න බැරුව නෙමෙයි. සඳසි අඬනවා දෙනුවන් ඕනි තරම් දැකලා තියෙනවා.දෙනුවන්ගෙ අම්මා සඳසි ට අකමැති උනු වෙලාවේ.. අම්මා සඳසිට කිව්වෙ මට මගෙ කොල්ලා මරාගන්න බෑ කියලා..ඒ හින්දා සම්බන්ධකම නවත්තන්න කියලා..
  ඇයි ඉතින් සේරටම කලින් කේන්දරේ ඔලුවේ තියාගත්තු දෙනුවන්ගෙ අම්මලා සඳසිගෙ සැමියාගෙ අකල් මරණයක් ගැන කියවුනු අනාවැකිය මහ ඉහලින් පිලිඅරගෙන තිබුණෙ.
   අන්තිමට දෙනුවන්ගෙ හොඳට කියල සඳසි දෙනුවන්ව තමන්ගෙන් ඈත් කලාම කලකිරුණු දෙනුවන් ලංකාවෙන් යන්න ගියා.. සඳසි දෙනුවන්ගෙ මතක එක්ක එයාගේ ජීවිතේ තනි උනා..

  ඊටත් පස්සෙ අවුරුදු ගානකින් දෙනුවන් සඳසිව හොයාගන්නකොට සඳසි විවාහ වෙලා.ඒ සහන් එක්ක..අන්තිමට දෙමව්පියන්ගෙ තීරණයට හිස නමලා තරිනි එක්ක විවාහ වුනු සහන් දැන් එක පුංචි පුතෙක්ගේ ආදරණීය තාත්තා කෙනෙක්..

සඳසිට දරුවෝ හිටියෙ නෑ.. දෙනුවන්ගෙ අහිමිවීම එක්ක ලොකු මානසික ඝට්ටනයක හිටපු සඳසිට සහන් කැමති වුනේ සඳසි ලස්සන අහිංසක කෙනෙක් නිසා.. ඔය කේන්දර ගැන වැඩිය නොබලපු සහන්ලා පවුලේම හිතවත්තු නිසා අන්තිමට සඳසිත් ඒ යෝජනාවට කැමති වෙලා තිබුනා.. කාලේ හිමීට ගෙවිලා ගියා..අන්තිමට සහන් රිය අනතුරක් නිසා සඳසිගෙන් වෙන්වුනා.

"දෙනුවන්..ඇයි ඔයා ...ඇයි මට එන්න කියල කිව්වෙ..??"

"නිකම්.. ඔයාව බලන්න ඕනී වුනු නිසා.."

ඒ කතාවට සඳසිගෙ මුහුනෙ ඇඳුනෙ හදිසි හිනාවක්.

"ඇයි..?? "

"මෙච්චර කාලෙකට පස්සෙ .. ?? " ඒ හඬ සමච්චලයක් !!

"මට ගෙදරට එන්න තිබුනා.. ඒත් ආයෙම හිතුනා මෙහෙම හම්බෙනවා කියලා.. තරිනිත් එක්ක මන් ගෙදර ඇවිත් යන්න එන්නම් " දෙනුවන් සිනාවක් පෑවා..
"ම්ම්.. "

"ඔයා මොනවද කරන්න හිතන් ඉන්නෙ දැන්.. ??"

"මොකුත් නෑ.. සහන්ලගේ අම්මලාත් අපේ ගෙදරට ගෙන්නා ගත්තා.. මං ඒ දෙගොල්ලොම බලන් ඉන්නවා ඉතින්.. මැරෙනකම්"

ඒ කටහඬේ තිබ්බෙ දුකක් එක්ක කැටි උනු තරහක්.එක් දෙනුවන් අඳුරනවා.
"එච්චරද.. ?? "
"ඔව් එච්චරයි .. මට සහන් වෙනුවෙන් කරන්න පුලුවන් දේ.. මං ඒක කරනවා.. "

"හ්ම්ම්.." 🙂
"ඔයා ඔය නැගිට්ටෙ යන්නද?? " දෙනුවන් විමතියෙන් බැලුවා.

"ඔව්... අම්මට බේත් වගයක් ගන්න තියෙනවා .. ඒක අරන් මන් ගෙදර යන්න ඕනේ.. අම්මලා බලන් ඇති.."

"ම්ම් එහෙමද ...හරි එහෙනම්.." දෙනුවන් නැගිට්ටා..
  
ආදරේ කරන්නත් බැරි මිතුරන් වෙන්නත් බැරි ඒ අමුත්ත හිත් වල එබිකම් කරද්දී දෙනුවන් සඳසිට සිය අත දිගු කලා.හරියටම මීට අවුරුදු ගානකට කලින්... මෙතනදිම මේ වගේම..

සඳසිට ඒක මතකයි.. එදා දෙනුවන්ගෙ ඇස්වල තිබ්බෙ දුකක් නං අද තිබ්බෙ අනුකම්පාවක්.. සඳසි හිටියෙ එදා වගේම හිස් බැල්මෙන්..

"සී යූ දෙන්.. ටේක් කෙයා " දෙනුවන් කිව්වා..

සඳසි ඒ අත අල්ලා ගත්තේ නෑ.. බෑග් එකත් අරගෙන ඔහු ලඟට ආපු සඳසි දෙනුවන්ගේ ඇස් දෙකට එක ගැඹුරු බැල්මක් හෙලුවා .. ඊට පස්සේ ආයෙමත් අර කියවාගන්න බැරි හිනාව...

"කේන්දරේ මගේ ගැන කිව්ව කතාව හරි අයියේ.. සහන් මැරුණා.. ඒ ඔයා නොවුනු එක ගැන මට සතුටුයි.. යන්නම් " 🙂

ආයෙමත් අර දහසකුත් එකක් දේ කියවුනු ගැඹුරු බැල්ම... 

ඊලඟට හිනාව...🙂

මොකද්දෝ අමුත්තක් හිත් පතුලේ කොහෙදෝ තැනක් හෙමිහිට හෙමිහිට කොනිත්තද්දී අවන්හලෙන් ඇසී නැසී මැකී යන සඳසිගේ රූපය දිහා දෙනුවන් හිස් බැල්මකින් බලාගෙන හිටියා.

#මානි ✒️

No comments:

Post a Comment