Monday, April 3, 2017

"වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ..

          විඩාබර හවස් යාමය ය.අහස් හරියටම දම් පැහැතිය.ඒ කියන්නේ අද නම් වහින බවය.ඇති යාන්තම්.. මම මටම කියාගත්තෙමි. මේ දවස් ටිකේම අහසේ ආඩම්බර දැක දැක ඉඳලාම මම නම් සිටියේ ඇතිවෙලාය.කෙසේ හෝ වේවා අහසේ පැහැයත් ,ඔරලෝසුවේ කට්ටත් ටවුමට දුන්නේ  සුපුරුදු කලබලයටත් වැඩි තත්වයකි.කාට කාටත් ඉක්මන් ගමනින් වැස්සට පෙර ගෙදර යන්නට ඕනෑ වෙලාය. 😴

    අලුත් වැස්සට තෙමෙන්න හොඳ නැත.ඒ අපේ කිරි අම්මාගේ කතා ය.වැස්ස අලුත් වුවත් නැතත් උදේ ඉඳන් පැය ගානක් පුටු රත්කර කර ඉඳ තවත් පැයක් බසයට ගෙවා දැමූ මම නම් හිටියේ හෙම්බත් වෙලාය.මේ වැස්සට තෙමී තත්වය තවත් නරක් කරගන්නේ මොන එහෙකට දැයි හිතාගෙන මම අපේ පාරේ බසයට නැග ගත්තෙමි. 🚌
    ඒ තරම් සෙනඟක් නොසිටීම පුදුමයකි.සාමාන්‍ය ලෙසට නම් මේ වෙලාව යනු බස් එක පිරෙන හෝරාවය.අපේ පුරවරයේ ප්‍රධානම මාර්ගය වූද , ඒ නිසා විනාඩි 5න් 5ට බස් යනවා යැයි සාඩම්බර ලෙසට නම්  දරා සිටියාට මේ පාරේ බස්වල යන්නන්ට අතිශය පුදුමාකාර ඉවසීමක් තිබිය යුතුය.දන්නෝ ඒ ගැන දන්නේය. 😜
   මොකද කියනවානම් ඒ තරම් ගාටන්නට ගොලුබෙල්ලන්ටවත් බැරි නිසාය. විනාඩි 5 විනාඩි 15ක් කර ගාටන අපේ පාරේ ආදරණීය බස් මාමලාට පින් සිද්ද වන්නට සිතා ගෙනම ජංගමය අතට ගත් මම හෙමිහිට අසුනකට  බර දුන්නෙමි. 😌
  දැන් මගේ ඇස් මුහුණු පොතේය.මට එහා පැත්තේ හිටියේ කාන්‍තාවකි.ඇය සිය බෑගය අදිමින් සිටී.මන් ෆෝන් එකට මුහුන දැම්මෙමි.මාර්ක් සකර්බර්ග් ගේ ලෝ පතල සොයා ගැනීම මට විරිත්තුවේය. 😁
   ඒ බැල්ම හරියට "කොච්චර හැදුවත් නෑවිත් ඉන්නම බෑනේ" කියා ආයෙත් විරිත්තුවේය.මම රැව්වෙමි.ඒ අතරේ හොඳම යෙහෙලිය කියන උන්දැගෙන් පණිවිඩයකි.බුකියේ ප්‍රචලිත ඉල ඇදෙන පේජ් නිර්මාණයකි.ගෙදරදී නම් ඉල ඇදෙන තරම් හිනාවෙන්නට හේතුය.බස් එකේ හිනාවී ෆෝන් එක් බලා හිනාවෙන තවත් එක් පිස්සෙක් යැයි වටේ ඇයොන්ට හේතු දෙන්නට නොහැකි බැවින් සෑහෙන වෑයමක් කර හිනාව නවතා ගත්තා පමණි.

"මියෑව්"  🐱

මට උඩ බිම බැලුනේය. සද්දය නැත. නෑහ්.. කනේ දෝශ ඔය.. යටි හිත හිනාවෙන්නේ මටය. ඇස් ආයෙත් මුහුණු පොතටය.

"මියෑව්" මෙන්න බොලේ අර සද්දේ ආයෙත්..

"මියෑව්.. මියෑව්" 🐱🐱
දැන් හොඳටම වැඩිය.බල්ලන්ට විනා පූසන්ට ප්‍රසිද්ද නැති ටවුමෙ පූසෝ ඉන්න විදියක් නැත.ඇරත් මේ පට්ට දවාලේ බස් එහෙක..??  නෑහ්හ්...
යටි හිත දොඩවයි.

   ඉවෙන් මෙන් අල්ලපු අසුන දෙස මට බැලුනේ එවිටය.අල්ලපු අසුනේ නැන්දා ලඟ පූස් පැටියෙකි.ඇගේ බෑගයේ මුල්ලකින් ඔලුව දැමූ මේ හොරගෙඩියා ආයෙත් "මියෑව්" ගෑවේය.🐱 ඌ සිටි හැටියටද නැතිනම් , ඒ විකාර හුරතල් පෙනුමටදෝ මන්දා මට එක් පාරට හිනා ගියේ නොහිතාමය.

   "කනේ දෝශයක් නෙමේ එහෙනම්.. යටි හිත විලි ලැජ්ජාවට කට වහගෙනය. යසයි ..

      චූටියා බස් එකේ ගමනක් යන හැඩය.බස් එක පුරුදු නැති හින්දාදෝ ඌ මඳක් කලබලයෙනි. ආයෙමත් "මියෑව් " ය. ඇය ඌගේ හිස අත ගායි.
  "අක්කලාගේ ගෙදරින්.හරි පොඩි.. ගෙදරත් තව ඉන්නවා බල්ලෙකුයි .. කළු පූස් කෙනෙකුයි..මෙයා සුදුයි. " ඇය අහන්නත් පෙරම ඇය කියාගෙන ගියේ සිනාසෙමිනි.
   "බස් වල ගෙනියන්න බෑනේ දුවේ.. මන් මේ බයේ ආවෙ " ඇයගේ ස්වරය වරදක් කලා වැනිය.
"නැන්දා දුරකද?? "
"නෑ.. මේ ලඟ.හෝල්ට් දෙකයි.."
" ආ එහෙනම් කමක් නෑ.. ඉක්මන්ට යනවනේ "

"ඔව්.. මන් ගේන්න කැමති වුනෙත් නෑ..එත් අක්කා කිව්ව ගෙනියන්න කියල.තවම  අම්මගෙන් කිරි බොනවා මෙයා.. " ඇය කියයි.

මන් පූසා දෙස බැලුවෙමි.ඇස් ඇරිලාය.ඒවා කළුය.විශාලය.අම්මා නැතත් ඉන්න යන ගෙදර නම් බොහොම සැපට ඉන්න ලැබෙන වග ඈ ඌට පෑ ආදරයෙන්ම මට දැණුනි. දැන් මට මුහුණු පොත ගානක්ම නැත.
      

     ඇය කියවයි.ඒ ඇගේ නිවසේ සතුන් ගැනය.ඇගේ බල්ලා ගැනත්,අනික් පූසා ගැනත් මට ඇය කීවේ ය.ඒ අතර මැද්දට "මියෑව්" හුමිටි තබයි.විනාඩි 5ක් පමණ  ගෙවුණු පසු අසීරුවෙන් පූස් පැටවා ඇය බෑගය ට දමා ඌත් බෑගයත් අල්ලාගෙනම  නැගිට්ටේ බහින්නටය.

"බෑග් එක් වහන්න බෑනෙ.මෙහෙම කොහොමහරි  බහිනක්ම් මෙයා තියාගන්නවා."

   පූස් පැටවාගෙ හිස එලියේය. ඌ ඔලුව හරවමින් බසයේ ඇත්තන්ට ත් බායි කියන්නට "මියෑව් " ගා අලුත් ගෙදර ගියේය.බස් එකටම ඒකට නම් හිනාය. 😃

 මම ජනේලය අසලට ගියෙමි.මා අසල කාන්තාවක් හිඳ ගත්තාය.ජනේලයෙන් ඔලුව දමා අවසාන වතාවට "මියැව්" දෙස බලා මා යලි හැරුණා පමණි.

 "ආපෝ බළල්ලු.. බල්ලෝ .. ඔය සත්තු නම්.." අල්ලපු අසුනේ මේ දැන් හිඳගත් ටවුමේ ඉඳන්ම පූස් කෝලම බලමින් ආ මේ නැන්දා දැන් කියයි. මම සිනාසුනෙමි.

"අපේ ගෙදරත් පිරිලා.. හැමතැනම ජරා කරනවා.. ජරා සත්තු...පොඩි ළමයි ඉන්න තැන් වල බලල්ලු හොඳම නෑ.. " 😏

 සාඩම්බර හා බොහොම හැදිච්ච ගති ගුණ තිබූ පූසන් කිහිප දෙනෙකුගේම හිමිකාරිය වූද,සිය බලු කෝලමා හේතුවෙන් අප්‍රමාණ කරදර වින්දාට ඌ නැතුව දවසක් ඉන්න බැරි වූද, පණටත් වඩා උන්ට ආදරය කරන්නා වූ ද  මේ ලියන මට ආවේ නොරිස්සුමකි.
  "මේ මොන එකක්ද මේ ..." 😏

  "ඔයා දන්නැ.. අපේ බැළලි පැටව් ගැහුවම  මන් උන්ව අල්ලලා ඈතට වීසී කරලා දානව.උන්ට බේත් විද්දට වැඩකුත් නෑනේ... " නපුරුවතී කියවයි. 😠👊

 "අපේ වත්ත පහල ඉන්නවා නයෙක්.. වීසී කරාම ඌ දෂ්ට කරලා උන් මැරෙනවා.. ගිය පාර උන් ටික නයාට අහුවෙලා නෑනේ.. බලන්නකෝ.. " ඇය කියවයි.

 මට "හීක්" ගෑවුනේය. 😕

 මිනිත්තු කිහිපයකට පෙර මෙතනින් බැස ගිය ගැහැණිය වද වූයේ ඒ පැටියා අම්මාගෙන් වෙන් කිරීම ගැනය.ඒ අහිංසකයා හා සිය නිවසේ සුරතලුන් මිතුරු කරවන හැටි ගැනය.
මේ ගැහැණිය වද වන්නේ සිය වත්තේ සිටි නාගයා දෂ්ට කර පූස් පැටවුන් මිය නොයාම ගැනය. ඇගේ බැළලිය ආයෙමත් පැටව් දැම්ම විට ඔවුන්ගේ මරණය නයා සිදු කරාවිද නැද්ද කියන එක ගැනය.

 මට ආවේ අපුලකි. මිනිසුන්ට තිරිසන් විය හැකිවග මම දැන සිටියෙමි.ඒත් දෙයියනේ මෙහෙමත්??? 😕

 ඒ අතින් වාසනාවන්ත අර මියැව් ගැන මම සතුටු වූයෙමි.මන්ද ඌ වන සිව්පාවුන් මැද සිටි දෙවි දේවතාවුන් හා වාසය කරන්නට ගිය බැවිනි. ☺️🐱❤️

  "සුබ ගමන් මියැව් " 🐱

#මානි ✒️

No comments:

Post a Comment