Tuesday, April 11, 2017

ගෙයි දොරකඩ හිනැහෙන අවුරුද්දට... ⌛️☺️

අවුරුද්ද දොරකඩය.ගෙදර බඩු සී සී කඩය.දැන් දින කිහිපයක් තිස්සේ හදන ,කැඩෙන ,බිඳින සද්ද වලින් ගෙදර පිරිලාය.මහා ලොකුවට නොවූවත් අවුරුද්දකට සැරයක් නිවසේ එ කොන් මේ කොන් සියල්ලක්ම පාහේ අපි තිදෙනාගේ ඇස් වලට යටත් වන්නේ අවුරුද්දේ මේ කාලයටය.

"මොනවා උනත් ගෙදරට මිනිස්සු එන කාලේ.. ආයෙ කොහෙද අපිට නිවාඩු.. ඊලඟ අවුරුද්ද වෙනකන් " මේ අම්මාය. 😌

"ආපෝ සතියයි ගෙදර ඉන්නෙ.. මට දැන් උන්හිටි තැනුත් නෑ.. මේ මොන එකක්ද අෆ්ෆා.." මේ  මාගෙ සුපුරුදු අඳෝනාවය.😣

කතාව ඇත්තය.තාත්තාට නිවසේ සිවිලිම වෙනස් කරන්න හිතක් ඇවිත්ය. මුලින්ම සාලය අවසන් කල පසු සියලු බලධාරීන්ගේ එකමතික තීරණය මගේ කාමරයටය.මට දැනුනේ කෝෂයෙන් එලියට අමු අමුවේ ඇද දැමූ සමනලයෙකුගේ හැඟීමකි. ඒක් මගේ කාමරයය.දවස් කිහිපයකට එය අත් හැර මට ගාල් වන්නට තැනක් ඇත්තේ නැත.නමුත් එය බලධාරීන්ට අනුව මහා  විකාරයකි.

"ඇයි මේ ගෙදර එක් කාමරේද තියෙන්නෙ ?? ඔයාට යන එන මං නෑ කියන්නෙ?? " 😏

"ඒ උනාට ඒක් මගේ කාමරේනේ" 😔

ඕවා කියල වැඩක් නැත.තීරණය අරගෙනය.පැය කිහිපයක් ඇතුලත මාත් ,මා සතු පරම ධනය වූ ලැප් ටොප් එකත් ,පොත් මේසත් ,රාක්කත් සමඟ මන් පිස්සෙක් වගේ ඇද වැටුනේ පාරටය.සමාවන්න.. සාලයටය. 😢

   උද්ගෝෂන , වැඩ වර්ජන ,ඉල්ලීම් ඉදිරිපත් කර ජයගන්නට සියලු උපක්‍රම දැම්මද දැන් දින තුනක් තිස්සෙ මන් ඉන්නේ අවතැන් වූ ලීලාවකිනි.ගෙදර කාමර ඇත.බිත්ති ගානට ස්විච්,ප්ලග් හැම එකම ඇත.ඒත් ඔය මොකවත් මගෙ කාමරේ මෙන් නැත.එහෙම සාමකාමී , නිහඬ ලෝකයක් කොහේවත් නැත.තිබෙන්නට විදියකුත් නැත.🏠
    
       ගෙදර තත්වය ඊට හපන් ය. එකුදු බඩුවක් මූට්ටුවක් හෝ තිබෙන්නට ඕනෑ කරන තැන නැත.සියල්ල ගේ මැදය. සාලයේ මිනිසෙකුට තියා මැස්සෙකුටවත් වහන්නට ,ඉන්නට ඉඩක් නැත.මෙහෙම බඩුත් තිබ්බා දැයි ඇසිය හැකි මට්ටමට සාලය ඇහිරිලාය. 📚🔍
   

    අම්මාගේ සුවිශේෂී අණ පරිදි ලෙඩ දුක් ද හොඳ බැවින් වසර ගණනාවකින් අතහැර දැමූ මාගේ ආදරණීය පොත් රාක්කයට අවධානය දෙන්නට වෙන්නේ මේ අතරය.මා පොත් කාවෙක්මි. වසර දෙක තුනක සිට නා නාප්‍රකාර හැල හැප්පීම් මැද්දේ වුවද පොත් මට මග හැරුනේ නැත.දැන් දැන් ඩිජිටල්කරණයට ගාල් වූ මගේ ලෝකයට ලඟකදී කියවන්නට පොතක් සෙට් වුනේත් නැත.දැන් මාස 8කට පමණ පෙර කියවූ චේතන්ගේ පොත් කිහිපය හැර මට පොතක් කියවන්නට වෙලාවක් තිබුනේද නැත. එබැවින් මගේ පොත් කාවා මේ වනවිට ඉන්නේ කෝමා තත්වයකට ඇද වැටී සැප නින්දකය.🐝😔

    කුඩා කාලයේ මේසයටම ඈඳා පොත් රාක්කයක් සාදවා තාත්තාගෙන් උපන්දින තෑගි ලෙස ලැබූ මගේ මේසය උසස්පෙල තෙක්ම වාගෙ මන් ලඟ සිටියේය.පසුව මට උන්දෑ අමතක වී ගියේ මොකදැයි මතකයක් නැතත් තට්ටු තට්ටු දූවිලි වලින් වැහී මට සුපුරුදු සිනාව පාමින් උන්දැ මදෙස හැමදාම බලා සිටියේය.මන් උන්දෑව ගනන් නොගත්තෙමි.මන්ද ජීවිතය මාව පිස්සු ගස්සවමින් සිටි කාලයක ළමා වියේ  සිහින මට නොදැනීම අහිමි වී ගොස් තිබුණු බැවින්‍ ය.💡
      මට එක දෙයක් අමතක වී තිබිණි.ඒ මාගේ සොඳුරු මතක සියල්ල සන්තක වී තිබුණේ ඈ ගාව වගය.අස් පස් කිරීම යනු වටිනා නිධාන ගොඩගැනිල්ලක් හා සමාන වන්නේ ඒක ය.
    

    මුලින්ම මුණ ගැහුනේ උපන්දින සුබ පැතුම් පත්‍ ය.ඒවාගෙන් බහුතරයක අයිතිකාරිය සමඟ සියලු සම්බන්ධතා දැන් බිඳ වැටිලාය.මගේ වෙලාවටම දෝ ඇගේ හෝ ඇගේ නිවසේ දුරකථන අංකය තිබ්බේ මාගෙ මතකයෙන් ගිලිහී ගොස්ය.කාලය මැවූ වෙනසක අරුමය එහෙමය . ⌛️😕

   තවත් කොනක සිටියේ හැරී පෝටර් ය.අන්තර්ජංජාල වලින් ඩැහැගන්නට පෙර අපේ ලමාවියේ ලොකුම සිහිනය නම් ඒකය.ස්ටිකර් හා කාඩ් මිටියක් එහි විය.ඕවා එකතු කරන්නට ඒ කාලේ අපට තිබුනේ පුදුම පිස්සුවකි.හැරීද, හර්මයිනී ද,රොන් ද යනු අපේ කාලයේ වීරයන් ය. ඒ මතක අදත් සුන්දර වන්නේ ඒකය.
     තවත් කොනක වෙසක් සුබ පැතුම් පත්‍ ය.වසර ගණනාවක් පුරා විටින් විට ලැබූ වෙසක් කාඩ් මිටි පිටින් ලාච්චුව අරක් ගෙන තිබිණි.පාසල් සමයේ වෙසක් කාඩ් බෙදීම අපට තිබූ ලොකුම සතුටය.ඒ සුන්දර සමය නිමාවීම වේදනාවකි.ඒ සමගම හමු වූ පාසල් ඡායාරූප මතකයේ සැඟවුනු බොහෝ තැන් හාරමින් මුවගට ගෙනාවේ සතුටකි.බාලිකාවේ සුවඳ තවමත් ඒ තුලින් වහනය වෙමින් තිබිණි.ඒ මතක, ඒ සෙනෙහස කටුක ජීවිතයේ එක් විරාමයක සෙනෙහේ සලසන ඉසිඹුවක් සේ මට දැනුනේ ඒ නිසා විය හැකිය. 😌❤️
    

    මීලඟට පොත් පත්‍ ටිකය.📚📚කුඩා කාලයේ අම්මාට කුරුණෑගල ගිය විට සමුද්‍රා එකට ගොඩ නොවැදී යලි නිවසට  යා නොහැකිය.ඇගේ යාම් ඊම් වල අවසන් ප්‍රතිපලය වූයේ මාගේ පොත් එකතුවය.උපන්දිනේකට පොතක් මිස කිසිදා ඇඳුමක් නොඉල්ලූ මා ගැන විටෙක පුදුම වුවද ඈ කිසිදින ඒ ගැන දොස් නැගුවේ නැත.❤️ ඒ නිසාම අද වන විට  වන අරණේ ලෝරාද, අරඹේ ගෙදර ඈන් ද,මැලෝරි ටවර්ස් හී ඩැරල් හා සැලීද, කටකාර ඇලීෂියාද මා වෙත සුපුරුදු සිනහා පාමින් බලා සිටී.

   බේකර් වීදීයේ හෝම්ස් මහතාගේ පොත් කිහිපයක්ම නැත.සෙන්ට් ක්ලෙයාර්ස් වලටත් ඒ සෙතේමය.හොඳ හිතින් මාත් කියවා අනුන්ටත් කියවන්නට දී අවසානයේ මට ඔවුන් අහිමි වී ගොස් තිබුණි.සතුට බෙදූ පොලියානාද, දඟකාර දඟමල්ල එලිසබෙත් ඇලන් ද තවමත් වියපත් වී නම් නැත.ඒ මතක සුවඳත්,සුපුරු ආදරයත් අදටත් ඒ පිටු තුලින් එලෙසින්ම ඇදී එන්නේ ඒකය.තව මාස කිහිපයකින් අඩු පාඩු පුරවා අලුත් සාමාජිකයින් රැසක් තුරුලු කරගන්නටත් මා සිතාගත්තේ එබැවිනි. 🐤📚
    

     අවුරුද්දේ ඇති හොඳ ඒකය.අවුරුදු එන්නේ බැඳීම් අලුත් කරගන්නය.මතකයන් ආවර්ජනය කරන්නටය.ඒ මතකයන් හා බැඳි බැඳීම් අලුත් කරන්නටය.නැතුව අවුරුද්දම බඩකට පිරෙන්නට කා බී අවුරුද්දේ ඉතුරු දවස් ටික නොකා නොබී ඩයට් කර කර ඉන්නටම පමණක් නොවේය.ලද විරාමයේ නැවත වතාවක් ඔබට ඔබ දෙසම හැරී බලන්නටය. ⌛️
     
      ජීවිතය  විඳින්නටය.අවුරුද්දට කවුරුත් ගමට යන්නේ ඒකය.ඔබේ ආරම්බය මතක් කරගන්නටය.ඒ මතකය විඳින්නටය.අවුරුද්ද කියන්නේ ගෙදර එන්නට පාර පෙන්නන මං සලකුණක් වන්නේ ඒකය.🔓⌛️හැල්මේ දුවනා ජිවිතයට මඳකට නවතින්නටය.අතීතයේ සුවඳින් හදවත පුරවා නැවතත් අලුතින් ගමන් අරඹන්නටය.
       ඒත් අපට නවතින්නට හෝ වෙලාවක් නැත.ඒ වෙනුවෙන් උත්සහා කරන්නට උවමනාවක් හෝ නැත.අප කරන්නේ නොනගතයටත් දුවන එකය.අලුත් අවුරුද්දත් තවත් එක් දවසක් පමණක්ම වී ගෙවී යන්නේ ඒකය.ඉස්සර මෙහෙම නැත. 🏠

     මම හිස එසවූයෙමි.සය වසක් තුරුලේ හොවා මට පාඩම් ඉගැන් වූ ඈ වියැකී ගිය දුහුවිලි තට්ටු මැද හිඳ අර සුපුරුදු වියපත් සිනහවෙන්ම යුතුව තවමත් මා දෙස බලා සිටියාය.මට නවතින්නට ඕනෑ විය.නමුත් මේ තරඟය මට නවතින්නට ඉඩ දුන්නේ නැත.ඒත් උන්දෑ නොහොත් මාගේ පොත් රාක්කය මා හා සිනහවීම අත හැර දමා තිබුණේ ද නැත. 😔🐤

දෙවසරකට පසු අද ද ඈ මට නොකියාම නැවතත් පාඩමක් උගන්වා තිබුනේ එහෙමය. 📚

ඇය නිවැරදිය.මේ අපට නවතින්නට කාලයයි..!! ⏰


#මානි

2 comments:

  1. ගෙදරින් ගව්වක් ඈතින් ඉන්න මට මේ ඔක්කෝම කියවා ආයෛමත් ගෙදර, ඒ මතකයන් ඔක්කෝම සිහිකරවපු ඔයාට මගෙන් සමාවක් ලැබෙන්නේද නැත... -_-

    ReplyDelete