වටින සති!!

 අතිශයින්ම කාර්‍ය බහුල සති දෙකකට පස්සේ, සති දෙකක් කියලා කිව්වේ සති අන්තයත් රැකියාවට යොමු කරන්න සිද්ධ වුනු දවස් කිහිපයකට පස්සේ නිවාඩු ලැබුනාත්, අන්තිමෙ මට සිද්ධ වුනේ හොඳටම උණ ගැනිලා ඇඳට වෙලා ඉන්න.. ඒ කාර්‍ය බහුල සති අන්තයත්, ගිය සතියත් ගැන මට වෙහෙසක් දැනුනත්, ඇත්තටම ඒකේ අවසානය මට ගෙනාවේ සතුටක්.

 ගිය ඉරිදා කියන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය. ඒ වෙනුවෙන් හුඟාක් ආයාතන වල විවිධ උත්සව සංවිධානය කරලා තිබුනා. ඒ ආයතන වල හැමෝම අඩු වැඩි වශයෙන් ඒවායේ සේවය කරන තමන්ගේ සහෝදර සේවිකාවන් සමරලා තිබුනා. ඉතින් අපිත් සති අන්තය වැඩ කලේ ඒ උත්සවයට සූදානම් වෙන්න තිබුණු නිසා. 

විශේෂත්වය තමයි මේ පාර හොඳම දේ අපිට මුණ ගැහුණු ආරාධිත අමුත්තිය. පුංචි කාලේ ඉඳන් රස රිසි ගී බලපු මට තනූජා ජයවර්ධන  කියන්නෙ idol එකක්. පැය දෙක තුනක් වුනත් ඒ ගත කරන්න ලැබුණු කාලය, ඇයව මුණ ගැහීම පවා හරි අපූරූ අත්දැකීමක්. බොහොම උණුසුම් හදවත් තියෙන, හරිම සරල, කාරුණික, ඇය මොන තරම් ප්‍රවීණ නිවේදිකාවක්ද කියලා ඔළුව උඩ තියන් නැති තනූජා, අපි එක්ක හැසිරුණේ අවුරුදු ගානක ඉඳන් අපිව දන්න ගානට.. ඒක බොහොම අපූරූ හමුවීමක්!


ඉතින් බොහොම සාර්ථක කාන්තා දිනයක් ඒ විදියට ගෙවිලා ගියා. මුළු ලෝකෙම ගැහැනු ගැන කතා කරන ඒ දවසේ විශේෂත්වයෙන් Linked In පිටු පිරිලා ගිහින්.. මට හිතුණේ සමහර ගැහැනු "oh i love being a women " කියලා මුළු ලෝකෙටම කෑ ගහලා කියන්න තරම්.. ඒ ජීවිත ඔවුන් මොනතරම් ශක්තිමත්ව ගොඩ නගලා ඇතිද කියලා. මේ ලෝකේ ගැහැණියක් වීමට ආදරය කරන්න පුළුවන් වෙනවා කියන්නේම ඔබ බොහොම ශක්තිමත් ගැහැණියක් කියලා කියන්න පුලුවන් දෙයක් කියලා මං හිතනවා. මං ගැහැණියක් වීම ගැන මට කැමැත්තක් තියෙනවාද කියලා මං දන්නේ නැහැ. එහෙමයි කියලා මං පිරිමියෙන් වුනා නම් කියලා වගේ මං කවදාවත් හිතලාත් නැහැ. අමුතුයි.. මොකද ගැහැණියක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි.. එහෙම වෙලත් ඊට ආදරය වීම ගැහැනු කියන්නේ මහා අපූරු ජාතියක් කියලා ලෝකෙට ආයෙත් ඔප්පු කරන තැනක් කියලා මේ උණ මරගාතේ ලියන ගමනුත් මං කල්පනා කරනවා..


මට ආපහු ලියන්න ඕනිද කියලා මං දන්නේ නැහැ. මගේ ලිවීම ගැන අහන්න ලැබුණු දරුණුම කමෙන්ට් එකකින් පස්සේ මං ඒ ගැන හිතන  එක අතෑරලා දැම්මා.. හේතුව ලිවීමද, අධික වෙහෙසකින් හැමදේම බැලන්ස් කරගන්න දරන උත්සාහයකදි වුණු නොසැලකිලිමත්කමද කියලා මං හොයන්න යන්නේ නැහැ. මොකද ඒක වෙලා ඉවරයි. මගේ උපරිමය හොඳම දේ නොවෙන්න තියෙන අවකාශය හුඟාක් වැඩියි. ජීවිතේ හරි ඉක්මනින් ගෙවෙනවා. මේ මාර්තු.. ජීවිතේ අඳුරු කාල, දුෂ්කර කාල අස්සේ සාර්ථක පුංචි දවස් ගැන ස්තූතිවන්ත වෙමින් ජීවත් වීම තමයි දැන් මගේ එකම අරමුණ. ඉතින් හිත් රිදීම් එක්ක එල්ලි එල්ලී යන්න දැන් මට අමාරුයි.. සරලවම මහන්සියි.

කොහොම වුනත් අර කිව්වා වගේ වගේ දවසක් මං ගෙවන්න මට ඊයේ පුලුවන් වුනා. ජීවිතේ ලැබෙයි කියලා නොදන්න අවස්ථාවක් සහ යන්න ලැබෙයි කියලා නොහිතන තැනකට මට යන්න පුලුවන් වුනා. එහි ප්‍රතිපලය කොහොම වුනත් ඒ අවස්ථාව ට ස්තූතිවන්ත වෙලා ගෙදර එන්නත් මට පුලුවන් වුනා.


එකාතකට මේවා එකකට එකක් නොගැලපෙන වල් පල්. ඒත් ජීවිතේ එක පාරටම හුඟාක් දේවල් වෙන්න පටන් ගන්නවා වගේ දැනෙනකොට.. කොහේ හරි තැනක නැවතිලා ඒ ගැන හිතන්නත්, සටහනක් දා ගන්නත් ලැබුනොත් කොච්චර හොඳයිද කියලා මට හිතුනා.  ඒ නිසා කවදා හරි දවසක කියවලා හිත හදාගන්න හරි මතක කියන ඒවා ලියා තැබීම කියන එක වටිනවා. මේ එහෙම වෑයමක්..


තනූජාගේ හමුවීමේ පටන්... ඊයේ මං ගියපු අර කිව්ව අවස්ථාව වෙනකන් සතියත් ඒවගේ. ඉතින් මං මෙන්න මෙහෙම ඒ ගැන මතකයක් සඳහන් කරනවා.


හෙට ගැන නොදන්න මේ ලෝකේ.. අපිට කොහොමත් හිතන්න වෙන්නේ අද ගැනත්, ගෙවුණු අතීතයේ මිහිරි මතක ගැනත් විතරයි.. 


#මානි



Comments

Popular Posts