අරවා මෙව්වා කතන්දර..

 හත් අවුරුද්දකට පස්සේ හිතේ ඇඳුණු දේවල් ගැන ලියන්න ඕනෑ කියලා නෝට් පෑඩ් එක ඕපන් කලේ වෙනදාට ඔළුව පිරෙන්න තරම් කියන්න දේවල් තිබුනාත් අනපේක්ෂිතව මාව හොයාගෙන එන කම්මැළිකම අදත් ලබන්න කලින්.. මට කියන්න ඕනෑ වුනේ අපි ජීවිතේ ලබන අත්දැකීම් අපිව මොනතරම් වෙනස් කරනවාද කියලා. හැමෝම ඔය කතාව සිය දහස් වතාවක් කියනවා ඇහිලා තිබුනාත්, කාලෙත් එක්ක ලබන සමහර අත්දැකීම් එක්ක අපි මේ කතාව අවබෝධ කරගන්න පටන්ගන්නවා..  ජීවිතේ කටුක කාල ගෙවපු මිනිස්සු හරියට සතුට කියන වතුර බිඳක් නොවැටෙන්න නොවැටෙන්න කාන්තාර වගේ වේලිලා යන හැටි මම දැන් දකිනවා.. සමහර වේලාවට ඒ මිනිස්සුන්ට ඕනි කරන්නේ පුංචි සතුටක් විතරයි.. බලාපොරොත්තුව වලින් හෙම්බත් වුනු ඒ මිනිස්සු බලාගෙන ඉඳලම වේලිලා යනවා. සමහරු එකම තැනක සදාකාලිකව හිරවෙනවා.. අරමුණක් නැතුව, බලාපොරොත්තුවක් නැතුව එකම තැන හිර වෙන එක අර කලින් කියපු වියළීමට වඩා දරුණු ඇති. අපි හැමදාම කරන්නේ කොහෙදෝ තියෙන වසන්තයක්, නැත්තම් ඉස්සර සිංහල පාඩමට ඉගෙන ගත්තා වගේ ජීවිතේ යම් යම් කාලවල් වල එක එක ඉර පායනතුරු බලා ඉන්න එකද කියලා මම වේලාවකට කල්පනා කරනවා.

   මොන තරම් motivation, affirmation, manifestation සංකල්ප අස්සේ වගේම දෙයියෝ බුදුන් ඉස්සරාහාත් වැඳලා, යැදලා මිනිස්සු තමන්ගෙ මොකාක් හරි ඉටු නොවෙච්චි දෙයක් ඉටු වෙනකන් බලන් ඉන්නවා.. ඇත්තටම ජීවිතය හුඟාක් දේවල් බලාපොරොත්තු වෙලා ඒ දේවල් නොලැබුනාම සමහරු යක්කු වෙනවා. තවත් සමහරු නිහඬවම බාර ගන්නවා. හිත් පිත් තිබ්බත් හැඟීම් දැනීම් නැති ගාණට තල්ලුවෙනවා. අද ඉවර වෙයි හෙට ඉවරවෙයි කියලා දාහක් ප්‍රශ්න අස්සේ ගැටෙන මිනිස්සුන්ට ජීවිතෙ රේස් එක දුවද්දි කාලේ තමන්ට හොරෙන් කොහෙදෝ යනවා නේද කියලා දැනෙන්න පටන් ගන්නවා.. ජීවිතේ ගෙවෙනවා.. අපි.. ඔහේ බලා ඉන්නවා.

 

  කොහේදෝ තැනක තමන්ට දෙයක් අවශ්‍ය නම් විශ්වය ඒ වෙනුවෙන් අපට උදව් කරනවා කියලා කියද්දි, තවත් තැනක කියන්නේ අපිට දෙයක් තදින්ම අවශ්‍ය වෙනවා නම් විශ්වය ඒක අපෙන් ඈත් කරනවා කියලා.. එතකොට කරන්න ඕනෑ කොයි එකද කියලා කෙනෙක්ට අහන්න පුලුවන්. මට නම් හිතෙන්නේ මෙච්චරයි.. මිනිස්සු ජීවිතේ ඕනෑ කරන දේවල් අවශ්‍යම මොහොතේ නැතුව ඒ මිනිස්සු කාන්තාර වගේ වේලුනාට පස්සේ ලැබිලා වැඩක් නැහැ. සතුට, සිනාව,  මොකක්ද කියලා අමතක වෙලා ගියපු කාලෙක, පීඩනය, ආතතියෙන් ඔද්දළ් වුනු හිත් වලට, තමන්ට සතුට ලැබුණු දේවල් වලින් තවදුරටත් සතුටක් නොලැබෙන කාල වල, සැකය, භයෙන් හෙම්බත් වෙලා ජීවීතේම Alert එකේ ඉන්න පුරුදු වුනු, මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්න දන්න, සතුට බෙදන්න පුළුවන්කමක් තිබුණු ඒ මිනිස්සුන්ට.. තමන්ව නැති වුනාට පස්සේ ඒ දේවල් ලැබිලා වැඩක් තියෙනවාද කියලා මං කලපනා කරනවා. ඒ අතින් දෛවය හරි අමුතු දෙයක්..


  ඒත් මං ගරු කරන්නේ ඒ හැමදේම ඒ විදියට තියෙද්දි පවා ජීවිතේ අල්ලන් ඉන්න මිනිස්සුන්ට. අත් නොහරින මිනිස්සුන්ට. හැඟීම් දැනීම් නැතුවත් තවත් එක දවසක් ගෙවාගන්න උදේට නැගිටින මිනිස්සුන්ට..  බලාපොරොත්තු වීමෙන් හෝ පලක් තියෙනවාද නොදැන පුංචි ගිනි පුලිඟුවක් වගේ තවමත් නොනිවී දැල්වෙන මිනිස්සුන්ට. දහසක් අපහාස,ප්‍රශ්න කිරීම්,  මැද්දෙත් නිහඬවම විඳ ගෙන ජීවත් වෙන්න දඟලන මිනිස්සුන්ට. වතුර පොදක් නොවැටෙන කාන්තාරමය ජීවිත වලත් තමන්ගේ මෘදු බව රැකගෙන ඉන්න උත්සාහ කරන මිනිස්සුන්ට..


ඉතින්, ජීවිතය වුනත් දැන ගන්න ඕනෑ  ඒ වගේ මිනිස්සුන්ව බලා ගන්න..

දුකෙන් හෙම්බත් වුනු ඒ මිනිස්සුන්ට කවදා හරි සැනසීමක් ලබා දෙන්න..

මුරුගසන් වරුසාවල් නැති වුනාට කමක් නැහැ,පුංචි පොද වැස්සක් හරි උරුම කරලා දෙන්න..


නැත්තන් කොහොමත් අමාරු මේ ජීවිතේ.. ඉස්සරහට ඇදන් යන්න තව හුඟාක් අමාරු වේවි.. අපි කාටත්.. 


#මානි


PS : ඉස්සර වගේ නෙවෙයි, දැන් එහෙමට ලියන්න බැරි වෙලා තියෙන්නේ, අදහස් නොඑන්නේ.. මමත් කාර්‍යබහුල කඨෝර කාන්තාරෙක අතරමං වුනු හැඟීම් දැනීම් නැති පතොක් ගහක් වගේ වෙලා නිසා කියල මට හිතෙනවා.. ඒ නිසා ඔබෙ වටිනා කාලය අනවශ්‍ය හෑල්ලක් වෙනුවෙන් නාස්ති කලා නම් සමාවෙන්න.. 

මෙහෙම හරි උත්සාහ කරේ, වෙන මොනවත් නිසා නෙවෙයි.. මට සදහටම කාන්තාරයක් වගේ වේලිලා යන්න උවමනාවක් නැති නිසා.. 🫢





Comments

Popular Posts