2026 අගෝස්තුවේදී ය!
කිසිම ශාරීරික වේදනාවක් නැතුව පපුව මැද්දෙන් ඇති වෙන සියුම් වේදනාවක් මාව රිදවමින් යන හැටි මට දැනෙනවා. ඒක වෙහෙසක්ද ඒත් නැත්තම් සෑහෙන කාලයක් තිස්සේ මාව දවන හිතේ ඇති වුනු අහඹුවක්ද කියලා මට ලොකු වැටහීමක් නෑ. ඒත් කවුරු හරි ඇහුවොත් කොහොමද කියලා.. දිග හුස්මක් පොළොවටම අතෑරලා.. "අනේ මට හරි අමාරුයි බන් " කියලා කියන්න මට පුළුවන්.
හරියටම ඒ වගේ..
ඉවෙන්ට් එකට සතියයි. ලබන සතියේ මේ වෙද්දි කියලා මං හිතෙන් මවාගෙන බය වෙන එක දැන් අඩු වෙලා ගිහින්. වෙන දෙයක් වුනාවේ වගේ හරිම පැරලයිස් ෆීලින් එකකින් වාඩිවෙලා ඔහේ ඉන්න මට පුලුවන්. හරියට පීඩනයක් ආවොත් තමා මම ඇක්ටිව් වෙන්නෙ. පීඩනයෙන් ඉඳලා ඉඳලාම, ඒ සේරම දරා ගැනීමේ සීමාවෙන් ඔබ්බට ගියාම එහෙම වෙනවද කියලා මන් දන්නැ. හැබැයි දැන් දැන් සමහර දේවල් හිතට නොගන්නා, වද නොවෙන තැනකට මං ඇවිල්ලා ඉන්නවා. හරියට, මට පුලුවන් බව කාටවත් ඔප්පු කරන්න මට දැන් ඕනිකමක් නෑ වගේ ..
සහ, හුඟාක් දේවල් දැන්ම කරන්න ඕනෑ, මන්ම කරන්න ඕනෑ වගේ ඉස්සර තිබ්බ තදියම දැන් නැති වෙලා ගිහින්.
සමහර දීර්ඝ කාර්‍යාල පැය වලට පස්සේ හිතේ බරත්, සිරුර ට වෙහෙසත්, නිදිබර ඇසුත් අරන් මං ගෙදර යනවා. පයින් ඇවිදගෙන යන්න තියෙන විනාඩි 10 ආශීර්වාදයක් කියලා මට හිතෙනවා. සුළං පොදක් වැදි වැදි කල්පනා කර කර තදියමක් නැතුව මට හිමීට යන්න පුලුවන් එකම කාල සීමාව ඒක විතරයි. මඟදි තාත්තා කොහේ හරි ගිහින් එද්දි බයික් එක නැවැත්තුවත් එයාට යන්න කියලා, ඉර බහින අහස දිහා බලාගෙන, හිතේ කල්පනා පුරවාගෙන මං යන්නේ පුලුවන් තරන් හිමීට..අන්න ඒ වෙලාවට කල්පනා කර කර ඉස්සරම ඉස්සර කුරුණෑගල ඉඳන් ගෙදර ආපු ඒ හවස් වරු මට මිස් වෙනවා. මන් කොයි වෙලෙත් හිතනවා තමයි. ඒත් ඒ එකක්වත් ඒ නිදහස්ව හිතපු කාලය වගේ නෙවෙයි කියලා මට දැනෙනවා. රාජකාරි, වගකීම්, අනාගතය, හිතේ කොනක දළු දාන, මට වළක්වා ගන්න අමාරු ආදරනීය හිතිවිලි පොදියක් එක්ක අවංකවම මං ඉන්නේ හෙම්බත් වෙලා.
අන්න ඒ අන්තිම කොටස, වෙලාවකට මේ පැරලයිස් ෆීලින් එකට හේතුව ඒක වෙන්නත් පුළුවන්. පැරලයිස් ෆීලින් එකක් කියන්නේ, දාහක් දේවල් වට වෙලා, වැඩ ගොඩ ගැහිලා, ඒ හැම දෙයක්ම කරන්න අවශ්‍යතාවක් තිබිලත්, ඇඟිල්ලක් ඔසවා ගන්නවත් බැරි තරම් තදින් දැනෙන නිදිමත, වෙහෙස සහ කම්මැළිකමකින් පෙලෙන දවස් වලට. ගෙදර ගිහින් ඇඳට වැටිලා නිසොල්මනේ ඉන්න හීන දකින පැය වලට. දීර්ඝ දවස් වල නොසන්සුන් සිතිවිලි, උදේ ඉඳන්ම ගනුදෙනු කරන්න වෙන මිනිස්සු, ඒ ඔක්කොටමත් වඩා... ඒ හැමදෙයක්ම බෙදා ගන්න සිතට ඕනෑ කරන චරිතය.. එහි නොවිම.. 😐
සහ, ඔහු ගැන මට දැනෙන දේ මට කියා ගන්න ට නොහැකි වීම.. මට ඔහුව මිස් වීම..
වැඩිහිටි ජීවිතේ ප්‍රේමය, ළාබාල විසි අවුරුදු ප්‍රේමයට වඩා වෙනස් බව මට දැන් දැනෙනවා. අපි ඉන්නේ ඉස්සර වගේ තුන් තිස් පැයේ දොඩන,කියවන කාලවල නෙවෙයි. මං මේ කියන්නේ priority ගැන නෙවෙයි. මං කියන්නේ දාහක් ප්‍රශ්න අස්සේ හැමදේම සමබර කරන්න තියෙන අමාරුකම් ගැන. ඒත් ඉඩ ලැබුණම ලෝකෙම මම වගෙ කරගෙන සති ගානක ඇරියස් පිරිමහන්න එකක් නෑර දිගම දිග පිළිතුරු එවන එතුමා! සහ ඒ හෑලි ටික එනකම් දාහක් වැඩ අතරත් මඟ බලන, ඔබට හිත බැඳුණේ කිමැයි මා තවම නොදන්නෙමි කියලා, හිතින් හිතලා මුවින් නොදොඩා ඉන්න මම..
අවිනිශ්චිතතාව පිරුණු, Anxiety attack දෙකක් විතර නිස්කාරණේ වැදුණු දවසක ඇර, මං සාමාන්‍යයෙන් ඒ ගැන වද වෙන්නෙ නැහැ. හැම හවසකම දවසේ විස්තර ය කියවන්න තරම් දුරක් අපි නොගියාට... කිවයුතු බොහෝ දේ අපි කියාගන්නවා. පොත්, චිත්‍රපට, ගීත වගෙ අපිට හුරුපුරුදු මාතෘකා අපි දෙන්නාට තියෙනවා. මට ඕනි හැමදෙයක්ම ඔහුට කියන්න. මේ අහස යට තියෙන සියුම්,සුන්දර, මනසට සැනසීමක් දැනෙන දේවල් ගැන ඔහුට කියන්න.. තමන්ව අබමල් රේණුවක් තරම් හරි තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හමුවෙන්න.. වටහා ගන්න.. ඒ හැමදේම හරි විරලයි.
කොහොම වුනත්, සමහර අසීරු දවස් වල නිහඬවම නිවසට ඒමත්, ඔහුගේ නිහඬ බවත්, ඒ දරාගන්න අසීරු දවස් තවත් අමාරු කරනවා. ඒ ආදරය ද කියලා මම දන්නේ නැහැ. ඒක උපදින්නේ තනිකමෙන් වෙන්නත් පුලුවන්. මුළු දවසම ඝෝෂාව රජයන තැනක, සේවය කරන මට, මිනිස්සුන්ගෙන් වෙන් වෙලා ගෙවන නිහඬ අඳුරු පැය කිහිපය මහමෙරක්. කොහොම වුනත් මේ ගෙවෙන්නේ එවන් අරමුණු රහිත, හිතේ කොනක තද කරගත්තු හැඟීම් පිරුණු දවසක අවසානයක්.
කොහොම වුනත්, මම කියන්නේ එක් වතාවක් බොහොම තදින් බිඳුණු හිතක වේදනාව අවසන් වෙන තුරු ලියලා, ආයේ ලියාගන්න බැරුව ගිය ළමයෙක්. පොතක් කරා තමයි.. ඒත් හිතෙන් නිර්මාණශීලිත්වය මිය ගිය කෙනෙක් ලියනවා කියන්නෙම ඒක අමාරුවෙන් අදහස් මිරිකීමක් වගේ දෙයක්... වචන හොයන්න ඕනි.. ඒවා ගලා එන්නේ නැහැ. මම කාලයක් ඒ ගලා ඒමට පුරුදු වුණු කෙනෙක්. එතකොට ඔයාට දැනෙන්නේ ඔයා හිරවෙලා වගේ හැඟීමක්.. කොහොම වුනත්, ලැප්ටොප් තිරය දිහා හිස් මනසකින් බලාගෙන, හිතේ උපන් සිහින් වේදනාවක් එක්ක, ඉපදුණු හැඟීම් ටික මෙහෙම හරි ලියා ගැනීමට හැකි වීම මට ලොකූ දෙයක්.
මේක ලිව්වේ උදේ ඉඳන් තිබුණු අප්‍රාණික ගතිය අඩු වුනාම. කොහොම වුනත්... කවුදෝ කොහෙදෝ කිව්වා වගේ.. මල් පැන් පොදක් කිණිත්තක් අගින් ඉසිනවා වාගේ ප්‍රේමනීය හිතුවිල්ලකට, මෙච්චර හපන්කමක් ඇති කරන්න පුලුවන් කියන්නේ..මේ ලෝකේ විරහවෙන් වගේම, ආදරයෙන් මුසපත් වුණු හිත් තියෙන මිනිස්සු කියන්නේ ලෝකයක් ආදරයෙන් පුරවන්න හේතු වෙන උදවිය වෙන්න ඕනි.. 🥹❤️
ඉතින් මං වගේ ඇහින්දාස් ලියන්නෙක් ඇතුළේ පණ ඇද ඇද හිටපු ලියන්නියට පණ දුන්නු, ඔහු කරපු දේ ගැන හාංකවිසියක්වත් නොදත් ඒ හිතවත්ම මහත්මා මිතුරු හිතට ස්තූතියි!
"සඳ රැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ..
තුරුහිස් පවා වැසි නොපැතූ හෝරාවේ
වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ.."
#මානි



Comments
Post a Comment