ගල් භීත

 මම අහේතුකව පෑන බිම තියපු කෙනෙක්. මට හිතුණේ මගේ සුව වීමේ සමය අවසානය කිසිත් නොදැනී යාම කියලා. මගේ තුවාල රිදුම් වලින් මොර දෙන කොට මං කරේ ලියපු එකමයි. මට හිතන්න හුඟාක් වේලාව තිබුණ දවස් වල මං කරේ කුරුණෑගල ඉඳන් ගෙදරට එනකන් අද ලියන්නේ මොනවා ගැනද කියලා පැය ගණන් කල්පනා කරපු එක. ඒකෙන් පස්සේ ජීවිතෙ හුඟාක් දේවල් වෙනස් වුනා. මම සුවපත් වෙමින් හිටියා යැයි  හිතාගෙන හිටපු කාලෙක ජීවිතේ බිංදුවටම ගිහින් සෑහෙන පීඩා විඳින්න ගන්නකොට මගේ ඇතුළේ හිටපු අර අහිංසක ලියන්නි නිහඬවම මිය ගිහින් තිබුනා. 

මම තවමත් බලන් ඉන්නෙ ඉස්සර වගේ නිදහස් මනසකින් මට හිතන්න පුළුවන් දවස වෙනකන්. ආයේම ලියන්න. දැනෙන්න ලියන්න. මං ලියපු දේ ගැන මට ආඩම්බරයක් හදවතින්ම දැනෙන්න ලියන්න. කොටින්ම රිලැක්ස් වෙන්න. ඔෆිස් එකේ ඊලඟ කෝල් එක ගැන, ඊලඟ ට පත්තු වෙන ගිනි ගෙඩිය ගැන වද නොවී, රිලැක්ස් වෙන්න. එහෙම නැත්තන් අනාගතය ගැන මොනයම් හෝ ආකාරයකට වද නොවී ඉන්න පුලුවන් දවසක් වෙනුවෙන්. 


" එහෙම හිතුවොත් උඹේ ලියන්නා ජීවිතේට ඇහැරෙන එකක් නැ බන් " කියලා පුංචි රිදුමකින් වගේ මගේ මිතුරියක් මට කියනවා මට ඇහුනා. 


ඒ බිඳීමේ ඇරඹුම ගැන කියන්න මං දන්නැ. දවසෙන් අඩකට වඩා කාර්‍යාලයක ගෙවලා ගෙදරට හෙම්බත් වෙලා ගොඩ වෙන මං ආයෙම සමහර රිදුම් එක්ක තනිවෙන්නේ ඒ නිසා..


මං හිතන්නෙ  මං ඉන්නේ අසීමිත රිදුම් වලින් ගල්භීත වෙලා. ගල් භීත කියලා මං කියන්නේ... මට මුකුත් දැනෙන්නෙ නැති නිසා.. ඉංග්‍රීසි යෙන් මිනිස්සු ඕකට කියන්නේ "Feeling Numb" කියලා ද කොහෙද.. මං සමහර වේලාවට ඒක ලෙහා ගන්න ට්‍රයි කරනවා. මට මොකද වුනේ කියල මං හිතලා බලනවා. ටික වේලාවකට පස්සේ අනික් හැමදේම එක්ක... උත්තර නැති ප්‍රශ්නයක් කියලා මං ඒක අතෑරලා දානවා.. 🫠


ජීවිතේ කාර්‍යබහුල කම මාව යම්තාක් දුරට සුවපත්ව තියෙනවා. දැන් දැන් ඒ කාර්‍යබහුලකම අස්සෙ ඉස්සර බෑ කියල හිතුණු පුංචි පුංචි දේවල් මං සම්බන්ධයෙන් කරන්න මං උත්සාහ කරනවා. හැමදෙයක්ම එපා වුණු හවස් වරු වලත් මං ගැන හිතලා වෙන් කරපු ඒ මොහොතක් මට සතුටක් ගේනවා. ඝෝෂාකාරී කාර්‍යාල ජීවිතෙ, දුරකථනය නින්නාද නොදෙන මොහොතවල් කියන්නේ දවසේ සාමකාමීම හවස් වරු.. මුළු ලෝකෙම අරක මේක වෙනුවෙන් ඩිමාන්ඩ් කරන කාලය ඒ වෙද්දි අවසන්. අන්න එහෙම වේලාවට අර මැරිච්ච ලියන්නි ව උපද්දාගන්න මං මේ වගේ පුංචි උත්සාහයන් යොදනවා. බෝරිං  වල් පල් අස්සෙන් මට ඔනි ඒ වේදනාවෙන් ගල් භීත වුණු කෙල්ලව ඇහැරවලා ඇගේ වේදනාව අකුරු වලට අරන් එයාව සුවපත් කරන මඟක් හොයාගන්න. ඒත් ඒක බොහොම අමාරුයි. දීර්ඝ නිද්‍රාවක් නෙවෙයි මේක.. ඇය මිය ගිහින්.. 


  මං හිතනවා ආදරයේ බිඳුමට වඩා ජීවිතෙයේ බිඳුම් මනුස්සයෙක්ව වෙනස් කරනවා කියලා. ඒක අන්‍යොන්‍ය දෙයක් වෙන්නත් ඇති. ආදරය නැති ජීවිත කතා නැහැ. සුන්දර සිනහවල් අස්සෙන් අපි හැමෝම ඒ බිඳුම් වලට සුවයක් පතනවා කියලා මට හිතෙනවා. ජීවිතේ හැලහැප්පීම් මැද්දේ ඒ බලාපොරොත්තුව විතරක් අපිව ජීවත් කරවනවා වෙන්නත් පුළුවන්. 


  ඔන්න මාව හිරවුනා. රිදිම් දරුණු වෙද්දි ඒක කියාගන්න බැරුව මම හිරවෙනවා. දැන් මට ලියන්න හිතක් නැහැ.මට ඕනෑ මේක නවත්තලා දාන්න. මට කියාගන්න ඕනි වුනත් ඒක එළියට දාන්න මට වැටහෙන්නේ නැහැ. ඉතින් ඒ රිදීම අස්සේන් මන් ආයේම නවතිනවා. ඒත් තවමත් ඒ හැඟීම් පෙළ මාව රිදවමින් පාරමින් මං තුළම ජීවත් වෙනවා..


ජීවිතේ හැටි! 


#මානි

  

  



Comments

  1. විඳවීමේ වින්දනයෙන් මිදෙන්න පුළුවන් නම් විඳවීම නවතිනවා

    ReplyDelete

Post a Comment

Popular Posts