බාලිකා අන්දර 02 : Conference

      පහත සිත්තම මතක ගොන්නකට හුස්ම පිඹින්නකි.විඳින්නට හැකි උපරිම ලෙස පාසල් ජීවිතයේ සතුට විඳි බාලිකාවක් වූ නිසා ඉඳහිට හෝ පාසල් ජීවීතේ මතකයේ රැඳි රසමුසුම තැන් අවුස්සා බැලුවාට කම් නැතැයි සිතාගෙන මම මේ සටහන ලියන්නට සිතුවෙමි.

         දිනය,  අදත් ඇඟ ලොමු ඩැහැ ගැන් වී අනූ නවයයි දශම නවයයි නවයයි නවයයි නවයෙන් වාගේ බෙල්ල බේරා ගත් එක්තරා මනරම් උසස්පෙල  වසරක පැහැබර දහවලකි. 😂😂 (දැන් හා හා ගෑවාට එදා නම්  තිස් තුන් කෝටියක් දෙවියන් සිහි කරගත් මොහොතක් බව සැමගේ පහන් සංවේගය පිණිස දන්වන්නට කැමැත්තෙමි.) 

      වැඩි  විස්තර නොකොට කියනවා නම් ඔය දොරෙන් එහා පස අගුල කරකවන්නේ පාසලේ එක් විදුහල්පතිනියකි.(හිටපු) මේ පස දොර අගුල අදින්නේ මාගේ නාහෙට නෑසූ දඟකාර,එහෙත් හිත හොඳ , ඕනෑම මොහොතක කබලෙන් ලිපට වැටෙන  වැඩ කර ගන්නා වූද, මේ නසරාණිකම් වලට සදා සද්භාවයෙන්ම දායකත්වය දුන්නා වූ ද හිත මිතුරු කැලේ කෙල්ලන් ය. ඔතන සිටි උන් ගේ පට්ටම් ගැන කියා ඒ අහිංසකයින්ගේ කාඩ් කුඩු කිරීමේ කිසිදු ආසාවක් නැති හෙයින් එතරම් දුර මම නොයමි. 😁

      කෙසේ හෝ සිද්දිය මෙසේ ය.මෙහි ජවනිකා කිහිපයක් ඇත.එකක් විද්‍යා අංශයට උරුම කොන්ෆරන්ස් හෝල් එකය.එනම් මේක ය.අනෙක අපේ පංතිකාමරය ය. තවත් කොටසක් අංශයේ කොහේ හෝ කොරිඩෝවක් වන අතර අනෙක ගණිත අංශය ය.ඒ කිව්වේ මැත්ස් එක ය.ඒත් මේ සිද්දිය පමණක් දැනට දැනගනු යහපත් ය. 

      පාසලෙන් නික්ම ගිය දයාබර ගුරුතුමන් වෙනුවෙන් උපහාර පුදන්නට සංවිධානය කල උත්සවයක් වූ මෙදාට යෙදී තිබුණේ ය. එහෙත්  පෙර සූදානම් කටයුතු වෙනුවෙන් ඉගැන්වීම් කාලච්ඡේද යොදාගන්නට බැරි බව පාසලේ නීතියකි. කෙසේ වෙතත් එහෙන් මෙහෙන් කන්කෙඳිරි ගා විවේකයට ආසන්නව ප්‍රධාන නොවන කාලච්ඡේදයක් ඒ සඳහා හොරෙන්ම යොදා ගත් අප, මේ ඒ පෙර සූදානම් සිදුකරමින් සිටි සමයයි.

    කොහෙන්දෝ අත්තටු ලත් ආරංචියක් සැණින් විද්‍යා අංශය සොයා පියාඹා එන්නේ එවිටය.

  "අන්න මැඩම්  සයන්ස් එකට එනවලු " 😕

   දැන් කට්ටියට උන් හිටි තැන්ද යන එනමන් ද අමතක ය. දන්නෝ දන්නා පරිදි මේ කියන කොන්ෆරන්ස් එකට අප පන්තියෙ සිට එක බිල්ඩිමක් බැස තව බිල්ඩිමක  නැග, එහි දෙවන තට්ටුවට ආ යුතුය.කොයි පැත්තෙන් ගියත් මැඩම්ට අසු නොවී පැනගන්නත් බැරිය .අසු වුනොත් ඉවර ය. එහා මෙහා යන්නේත් කෑම බීම ද, අරවා මේවා අත්වල තබාගෙන නිසා මාට්‍ටු වීම් යනු අවසානය එතනය.

       පණිවිඩය එද්දී කොටසක් පන්තියේද,කොටසක් කොන්ෆරන්ස් එක තුළද විය. පන්තිය පන්ති කාමරයක් සේ පෙනුනේ නැත. එය යකා නැටූ පිටිය වාගේය.මැඩම්ගේ පැමිනීමේ පණිවිඩය ආවේ පන්තියටය.කොන්ෆරන්ස් එකට මෙසේජ් එක් දෙන්ඩ පරක්කු වැඩිය.පන්තිය හදන්නටත්, කෑම බීම සඟවන්නටද ඕනෑ ය. ඒ අස්සේ විදුහල්පතිනිය මග එයි.

     හින්දි මේගා නාටකයක මෙන් ඩිග් ඩිග් බැක්ග්‍රවුන්ඩ් මියුසික් ප්ලේ වෙන ,මුහුණවල් හයිලයිට් වන , විදුහල්පතිනිය සන්සුන් ගමනින් එන ,කිසිත් නොදන්නා කොන්ෆරන්ස් එකෙ සගයන් ගේ පෙර සූදානම, ඔබට කැමති ඕනෑම ලෙසකට මවා ගන්න යැයි මම ඔබට කියමි.මට නම් මතක් වෙද්දී අදටත් ඩිග් ඩිග් ඩිග් ඩිග් ය. 🙈

     කෙසේ හෝ පන්තියේ මේ කොන සිට සමාන්තරව අනෙක් බිල්ඩිමේ ඇති කොන්ෆරන්ස් එකට ජනේලයෙන් පණිවිඩයක් දීමට හැකි විය.එකෙක්  වීරකම් කරන්නට එලියට පනින ස්වප්නා සේ කොන්ෆරන්ස් එකට දිව්වා වාගෙ මතකයක් ඇතත් මට එය පැහැදිලි නැත.

   රවුමට සාදා තිබූ ඩෙස් පුටු පන්තිකාමරයක් සේ සකස් කර,(එය පාසල් ජීවීතයේ වේගවත්ම ඩෙස්පුටු සකස් කීරීම විය.)අසුන් ගෙන  ගත වූයේ විනාඩියකි . මැඩම් දොරකඩය.හදවත ගැහෙන හඬවල් එලියට ඇහෙන තරම් දැඩිය.පන්තිය මීක් නැත.


 "ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්" 

"දැන් මොනවද තියෙන්නේ??? " 😊 ඇගේ හඬ සන්සුන් ය.කවුරුත් හ්ම් කියන්නේ නැත.

"දැන් මොනවද ළමයි තියෙන්නෙ?? ''  නැවතත් ඇසෙයි.

"මැ.. මැ.. මැඩම්.. ඉ..ඉංග්‍රීසී " මොකෙද්දෝ කොඳුරනු ඇසේ.

"ආ එහෙනම් මිස් එනකම් වැඩක් කරගන්න " සිනාවක් පා ඈ නික්මෙයි.

"හම්මෝ... ඇති යන්තම්.." කවුදෝ සැනසුම් සුසුමක් හෙලයි.

"ඒහ් බන් අරුන් ටික කොන්ෆරන්ස් එකේ " 😱😱 

"යකෝ කෑම සේරමත් එහේ..." 😱😱😱 

මල මගුලක් ය.සිසුන් නම් යන්නට ඇත.ඒත් අනෙක් ද්‍රව්‍ය ?? 😖 සඟවන්නට කල් ඇති වීද??

"අරුන් නම් කොහෙට හරි පැනලා හැංගෙන්න හරි ඇති.. ඒත් බන් දොර ඇරියොත්... ? " 😖😖😖


   දැන් ඉතින් අප දෙවියන් සිහිකර ගතිමු. මොනවා වෙනවා දැයි දැනගන්නට විදියක්  නැත.පන්ති කාමරයට කොටු වූ අපට කොන්ෆරන්ස් එකේ සිදුවීම දැනගන්නට හැකි වූ යේ පසුවය .

   විදුහල්පතිනිය එන බව දැන ගන්නා  විට කොන්ෆරන්ස් එකේ තිබූ සියලු දේ සඟවන්නට තරම් කාලයක් නොවීය.දොරවසා අගුල දැමූවාට එය පිටතින් අරින්නට පුලුවන් ය.😶 

     ඉතින් සිද්ධිය මෙසේ ය. කෙල්ලෝ  ටික දොර අගුළේ එල්ලුනෝ ය.අගුල කැරකුනොත් දොර ඇරෙයි.දොර ඇරුනොත් මැඩම් ඇතුලට එයි.ආවොත් ඇතුලේ පෙරලිය දකී .අවසානයේ කිසි රස්තියාදුවකින් තොරවම අස්වීම අතේ ය .ඉතින් මොනා උනත් කවුරු ආවත් දොර නම් අරින්නට දෙනු බෑ ය.බෑ බෑ බෑ මය.

   ඉතින්  මේ පසින්  බයේ ගැහෙමින් දොර අගුලෙහි එල්ලී සිටින අපේ උන් ය.අනෙක් පසින් දොර නොඇරෙන්නේ මන්දැයි සිතන විදුහල්පතිනිය ය. මෙහෙන් කොන්ෆරන්ස් එක සියලු සැලසුම් හෙළි කර ඇතැයි බියෙන් ගැහෙන අප ය.😢

ඒ අතරතුර කොරිඩෝව දිගේ කොන්ෆරන්ස් වෙත ගිය තවත් අපේ උන් ටිකකට දොර අරින්නට උත්සාහ කරන  විදුහල්පතිනිය  හමු වෙයි. 

" ඇයි මේ දොර අරින්ඩ බැරි...?? 😒

" උගන්නන ගොඩක් වෙලාවට ඒ දොර වහනවා  මැඩම් ..." 

( ඒ මොහොතේ ආදරනීය සහෝදරියන් පිරිසක් සීනී තේ කොල සහ බිස්කට් සමග දොරටුවෙන් අනෙක්පස රැඳී සිටී...)😂😂😂😂

"ඔය ළමයි මේ වෙලාවේ කොහෙද මේ යන්නේ...?" 😕

අපි මේ GIT Exam admission ඇවිත් ද බලන්ඩ ආව මැඩම් ...(IT lab එක්  කොන්ෆරන්ස් එක් ඉදිරිපස ය.) 😝

හ්ම්ම්ම්..." 😊

  කෙසේ හෝ අපේ දයාබර විදුහල්පතිතුමිය  දොර හරින්නට දෙතුන් පාරක් උත්සහා කර තිබුණි.අපේ කෙල්ලන් දොර අගුලේ එල්ලී එය අරින්නට නොහැකි සේ රඳවා මීක් නොගෑ බැවින් ඈ කිසිත් නොවිමසාම එතනින් බැහැර වී තිබුණා ය.

     පන්තියේ උන් එලෙසින්  බේරේද්දී කොන්ෆරන්ස් එකේ සිටි සෙට් එක් දිවි ගලවාගත්තේ එසේ  ය. උත්සවයේ සියලුම දෑ එහි විය.උසස්පෙල නිසා අනම් මනම් වලට වැඩි කල් නොයවන්නට ඉඩ නොදෙන, ඒ සමයේ තවත් උන් ටිකක් මැත්ස් එකට රිංගා බයෝ පසෙකලා ගණිතය උගෙන පණ බේරා ගෙන ඇති වග අප දැනගත්තේ පසුව ය.ක්ෂනිකව ඉහල ගිය සංයුක්ත ගණිත  ඔලු ගෙඩි ගණන ගැන වගක් මැඩ්ම් ට නොවීම එදා කාගේ කාගේත් හොඳට හිටියේ ය.

    කෙසේ හෝ උත්සවය සාර්ථක විය.සෑහෙන දෙනෙකුගේ පට්ටම් ද රැකගෙන උත්සවය සාර්ථක කරගන්නට මැත්ස් එකෙන් ලැබුණු සහයෝගයට යලිත් ස්තුතියි නම් කිව යුතුම ය.

     තව ඔහොම නසරාණික අහිංසකකම් එමටය.අද කොහේ කොහොම තැන්වල හිටියද එදා අප රොත්තම එකට විඳි ඒ අත්දැකීම් සියල්ල අවසන මුවගට මන්දස්මිතයක් ගෙනෙන වග නම් නොකියාම බැරි ය.

උගත් පොත් වල පිටු ගණනට වඩා විඳින්නට මතකයන් එකතු කරගත් පාසල් විය සදා ඉමිහිරිද ඒ නිසාම විය යුතුය. ☺️

 #මානි





Comments

Popular Posts