Tuesday, April 26, 2022

කමාටිපුරාවේ සඳ! 🌙


"කතාවට කියන්නෙ කමාටිපුරා වලට කවදාවත් අමාවක රාත්‍රීන්  උදා වෙන්නේ නැහැ කියලා.. මොකද එහේ ගංගු ජීවත් වෙන නිසා.."

මේ ගෙවෙන දවස් කියන්නෙ හෙට එලි වෙනකොට මොකක් වෙයිද නොදන්න, අවිනිශ්චිතතාව ඉහලින්ම තියෙන, හීන බලාපොරොත්තු ගැන අපි තියා හීන බලාපොරොත්තු වලටවත් නොතේරෙන කාලයක්.

උදේ ඉඳන් රෑ වෙනකන් අපි හැමෝම හිතෙන් ගතින් ඉන්නෙ අරගලයක. ඒ අරගලය ඉස්සර වගේ නෙවෙයි meme එකක, පොතක, රොමාන්තික කවියක පවා ගැට ගැහිලා වෙලාවකට එලියට බහිනවා.. ඉස්සර වගේ ෆිල්ම් එකක් උනත් හිත නිදහසේ රසවිඳින්න මේ පරිසරය මන්දා මට නම් ඉඩ දෙන්නෑ..

වෙන දෙයක් වෙයි ප්‍රිති වෙසක්  කියලා ඉමු බන් කියලා හිත හදාගත්තාට ඇත්තටම නන් තියෙන්නෙ පුදුම බයක්..

ඉතින් ඩොලරෙට පින් සිද්ද වෙන්ඩ නෙට්ෆ්ලික්ස් වලට ටටා බායි කියන එක කරන්න ලඟදිම වෙන බව දැන දැනත්... හිත හැදෙන්නවත් scroll කරන්න කියලා තියාගෙන ඉන්න subscription  එක මැයි වෙනකන් දික් කරන්න හේතුවක් දුන්නේ ගංගු අන්තිමට නෙට්ෆ්ලික්ස් එනවා කියලා ආලියා තියාපු Instagram  සටහන!

ඉතින් රීලීස් වෙච්ච දවසෙම, දවසේ ආරංචි එක්ක මනසේ විපර්යාස කොහොම උනත් අද නන් ගංගු නොබලා මිසක් නිදන්නෑ කියල හිතුවේ පැය දෙකක මේ නිදහස ඇත්තෙන්ම ඕනි වුනු නිසා..

ඉතින් ගංගු

එක්කෝ මුලින් ෆිල්ම් එක ගැන ලියන්න ඕනි.. එහෙම නැත්තන් ආලියා භාට් ගැන ලියන්න ඕනි. 

ඒ නිසා මුලින් ම

ගංගු ගැන...

ගංගුබායි කියන්නෙ ගණිකාවක්. ඇය මුම්බායි හි Red Light ප්‍රදේශය රජ කරගෙන හිටපු මාෆියා රැජිණක්. ඒ බාහිර ලෝකයට..

ඒත් ගංගු භායි කාතියාවාඩි කියන්නෙ කමාටිපුරා වලට නම් රැජිනක්.. වෛශ්‍යාවන්ගේ අයිතීන් ගැන ඉන්දීය අගමැති නේරු දක්වා ගියපු අදත් කමාටිපුරා වල ගෙයක් ගානේ පින්‍තූරයක් තියෙන වන්දනාමාන ලබන චරිතයක්... 

ගංගුව තමන්ගේ ගමේ ඉඳන් හොරෙන් මුම්බායි වලට අරන් එන ගංගුගේ පෙම්වතා රුපියල් සීයකට ගංගුව කමාටිපුරා වලට විකුණලා දානවා.. ඒක රැවටීමක්.. ඊටත් එහා රැවටීමක් කොහෙන්ද දෙයියනේ වෙන්න පුලුවන් ?.. ගංගු කියන්නෙ බැරිස්ටර්වරයෙක්ගේ දුවක්.. ඇය මුම්බායි එන්නේ නිළියක් වෙන්න හීනයක් අරන්.. 

සාමාන්‍යයෙන් හුඟක් ගණිකාවන්ගේ කතාවල කොහෙම හරි තැනක තමන් ආදරේ කරපු තමන් රවට්ටලා මේ නරා වලට ඇදලා දාපු පිරිමියෙක් ඉන්නවා ... ඒක ඉන්දියාව ලංකාව කියල ලොකු වෙනසක් නෑ.. 

ගංගුගේ ශෝකාන්තය ඇස් දෙකට කඳුලු ගේනවා.. විශේෂයෙන්ම ගංගු බාපු එහෙම නැත්තන් තමන්ගේ තාත්ත ගැන කියනකොට.. ඒ අසරණකම... කලුවර කාමරේක දවස් ගානක්.. ආලියා ඔබව අඬවාවි... ඇය මාව භීතියෙන් සහ විශ්මයෙන් මුසපත් කරලා අන්තිමට කඳුලින් පුරවලා ම දැම්ම.. ගණිකාවන්ගේ ලෝකය කියන්නෙම කඳුලු ගංගාවක්.. 

විශේෂයෙන්ම තමන්ගේ ගණිකා නිවාසයේ මිතුරියකට ඇයගේ පියාට ලිපියක් ලියන්න උපකාර කරන්න කියන සිදුවීම.. ඒ ලියුමේ තියෙන්නේ රැවටීමකට ලක් වෙලා ජීවිතෙ වැටෙන්න පුලුවන් ලොකුම නරාවලකට වැටුනු එක්තරා දූවරු කොට්ටාසයකගේ කඳුලු කතාව.. හරි අපූරුවට බන්සාලි ඒ සිද්දි දාමය ඇතුලේ දිග හරිනවා.. මම සැලී ගිය මට වැඩියෙන්ම දැනුනු සිදුවීම තමා ඒ.. 

ඊලග ට.. 

ඩාලින් ආලියා 

මන් හිතුවා බන්සාලිගේ ෆිල්ම් ගැන, ඒවාගේ තියෙන larger than life කතා ගැන, උස්සා ගන්න බැරි තරම් ආභරණ , සටන්, නැටුම්, සහ සාමාන්‍යයෙන්  ෆිල්ම් ෆෙයා වල හොඳම නලුවා නිළියට සීල් එක වදින බන්සාලිමය ආකෘතිය ඇතුලෙ මේ බිම් බෝම්බෙ වෙච්ච ආලියා ගැන ලියන්න....

ආලියා කියන්නෙ බෝම්බයක්. ඇක්ටින් බෝම්බයක්..ඒ මට්ටමේ කම්පන හැකියාවක් තියෙන බොලිවුඩ් නිළියක් අද වෙද්දි නෑ. ආලියා තමා 90's පරම්පරාවට බොලිවුඩ් වලින් ආපු හොඳම තරුව. ගංගු භායි  කියන්නෙ ම ආලියාගේ හොඳම රඟපෑම.. 

Highway වලින් පටන් ගත්තු ඇක්ටින් කියන career එක ඇතුලේ ආලියාගේ වර්ධනය හොඳටම පේන්නේ ගංගු හරහා.. ඒ හැකියාව එලියට ඇදලා ගන්නත් ඉතින් බන්සාලි වගේ කැමරාවෙන් තිරයක් උඩ සිත්තම් අඳින්න දන්න Director කෙනෙක්ම ඉන්න ඕනි.. 

මේක ආලියාගේ විශිෂ්ඨතම නිර්මාණය .. ආයේ ඒ ගැන කතා දෙකක් නෑ..

කරන් ජෝහර්ගේ ෆැන්ටසි කොලේජ් එකක, කොල්ලන්ගේ ෆැන්ටසිය වෙලා කහපාට ගවුමකට, හීල්ස් දාපු, Gucci බෑග් එකක් වනාගෙන චබී කම්මුල් එක්ක බොලිවුඩ් ආපු ආලියා භාට් අද වෙද්දි ඉන්නෙ ඇක්ටින් බෝම්බයක් වෙලා.. ඒ ගමනේ development  එක ගැන වෙනම ලියන්නම ඕනි.. 

ගංගු කියන්නෙ ම ඇතුලෙන් ගිනි කන්දක් එක්ක ජීවත් වුනු ගැහැණියක් .. තමන්ගේ සතුට අනුන් වෙනුවෙන් දන් දීලා.. ජීවිතෙ ලැබිච්ච ලෙස විඳගෙන ඒ ජීවිතෙ හිණිපෙත්තටම නැගපු ගැහැනියක්..  ඒ ගැහැණිය නිරූපණය ලේසි වෙන්න බැහැ.. ඉතින් ආලියා සාර්ථක යි.. මේ පාරත් filmfare ඈ වෙනුවෙන් ලියවේවි.. Because She truely deserves it!

ඇත්තටම ගංගු භායි කාතියාවාඩි කියන්නෙ කාලෙකින් බොලිවුඩ් වලින් ආපු හොඳම චරිතාපදානයක්.. කොත්තු ගහනවා වගේ චරිතාපදාන හදන බොලිවුඩය දැන් ස්ටොරිස් අතින් ටික ටික  බෝරින් වෙනවා.. ඒත් හොඳට හදලා කරලා බන්සාලි බොහොම විවේකීව නිමවපු මේ චරිතාපදාන කොත්තුව නන් හැබෑවටම බොහොම රහයි...

බන්සාලි මියුසික් වලට ගයන ශ්‍රෙයා ගෝෂාල් ගැන ඉතින් අමුතුවෙන් මොනවා ලියනවද 😌

ඉතින් බලන්න.. මේ කෲර වංචාකාර ලෝකේ... හැමදාම තැලෙන ගැහැනු අතරේ තැලෙන එකට සීමාවක් තියලා තමන්ව රවට්ටපු, තමන්ගෙන් ප්‍රයෝජන  අරගත්තු වංක මිනිස්සුන්ව ගැහැණුන්ව අනික් පැත්තට තලාගෙන නැගිටින හැටි ගංගු ගෙන් ඉගෙනගන්න ...

ඒ අතරේ ආලියාගේ ඇක්ටින් ඉස්සරහ විශ්මයට පත්වෙන්න..! 

අරගලකාරී වෙහෙසබර මානසිකත්වයට පුංචි නිවාඩුවක් දෙන්න..!

"Gangu Chaand thi.. aur Chaand hi rahegi" 


_මානි_


#GangubaiKathiawadi #AliaBhatt #BahnsaliProductions




No comments:

Post a Comment