Monday, May 22, 2017

මන් එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ 😊


          කඳු මුදුන් සිප එන සීතල සුලඟ හා ගැටෙමින් ඇදහැලෙන වර්ෂාව මැඩලන්නට ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයේ වයිපරය මදින් මඳ අසමත් වෙද්දී තවත් කරන්නට දෙයක් නොමැති වූ සහන් සිය මිතුරා දෙස බැලුවේ කුමක් කරන්නදැයි විමසන්නට ය. වැඩක් නැත.ඔහු තවමත් නිසොල්මන් ය.ගල් පිලිමයක් සේ ඉදිරිපස අසුනේ හිඳගෙන ඔහේ බලා ගත්වනම බලා සිටිනා සිය මිතුරා දුටු සහන් ගේ හදවත කීවෙනි වතාවටදෝ නොදැනීම මිතුරුදම වෙනුවෙන් පිච්චී ගියේ ‍ය.

"මචං,චතූ.. වැස්ස තදයි බන්.. අපි ටිකක් ඉඳල යන්ද?  "
ම්හ්හ්.. නැත.කිසිදු ප්‍රතිචාරයක් නැත.ඔහු තවමත් එකම ඉරියව්වෙන් ඔහේ බලා හිඳින්නේය.නොකීවාට නොපෙනුනාට චතුරංග ගේ අභ්‍යන්තරය ඉරිතලමින් බිඳී බිඳී යන අයුරු දැන් පැය කිහිපයක් පුරාවටම සහන් දුටුවේය.ඔහුට එය දැනුණේය..
"චතූ.. මචං.. "
"වෙච්ච දේ උනා බන්.. අපි මේකට මුණ දෙමු..උබ තවත් ඒකි ගැන හිතන්නෙපා.. ඒකි මහ පට්ට වේ.. "

"ෂ් ... ෂ්.. ෂ්.. " එක්වරම  සිය දබර ඇඟිල්ල මුව මත තබා මිතුරාට නිහඬ වන්නැයි එ සන් කල චතුරංග දෑස් තදින් පියාගෙනම සිය අසුනට තවත් නැඹුරු වූයේ පොඩි එකෙකු මෙන් දිගින් දිගටම සිය මිතුරාට නිහඬ වන්නැයි  සන් කරමිනි..
"අපි යන්"
-----------------------------------------------------------------------------

"අයියේ.. ඔයා කොහෙද..?? " බීප් බීප් හඬින් නාද දෙන ජංගම දුරකථනයේ එහා කොනින් සියුම් ස්වරයක් ගලා ආවේය.
   "සහේලි"
දුරකථනයේ තිරය බබලයි.ඒ හා සමානවම බබලන දෑසින් යුතුව චතුරංග දුරකථන ඇමතුමට පිලිතුරු දෙන්නට විය.
"මං මග සුදු නංගි..කඩුගන්නාවේ.. මේ බහින ගමන්.."
"අපොයි..එහෙනම් මන් ටිකකින් ගන්නම්.. ඔයා එද්දී කීය වෙයිද අහන්නයි ගත්තෙ..පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න..මට කෑගල්ල දිහාට ඇවිත් ගන්නකො එහෙනම්.. "

"නෑ නෑ කියන්න..මන් ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් ආන්ස්වර් කරේ අද ඊයෙ යැ ළමයො.. "

"ඒ උනාට පරිස්සමෙන් අයියේ..ඉක්මනින් කියන්නකො එහෙනම්..ඔයා එනකොට කීය වෙයිද..??"

"10.30 ට 11 ට විතර වෙයි..ඔයා කැම්පස් එක් ගාව ඉන්න.මන් ගන්නම්.. "
"හා එහෙනම්.. අසයිමන්ට්ස් වගයක් තියෙනව..මන් සබ්මිට් කරල එන්නම්."
"හරි ඔයා එන්නකෝ.. මගෙ පුංචි උපාධි හාමිනේ බලන්නත් ආසයි දැන්.."
"උපාධි හාමිනේට ඇඬිලා ඉන්නෙ අෆ්ෆා.. එක්සැම් ..අසයිමන්ට්..බ්ලා බ්ලා බ්ලා..
එහෙනම් පරිස්සමෙන් එන්න අයියෙ..මන් බලන් ඉන්නවා.. බුදුසරණයි.. "
"බුදු සරණයි නංගි.." චතුරංග සිනාසෙමින් දුරකථනය විසන්ධි කලේය.
      මේ කතාවේ සහේලි හා චතුරංග පෙමින් බැඳෙන්නේ උසස් පෙල අවසන් වන සමයේ ය.පිරිමි සිතකට දෙවරක් හැරී බලන්නට සිතෙනා මනස්කාන්ත රූ සපුවකින් අගතැන්පත් සහේලි මධ්‍යම පාන්තික පවුලක දෙවෙනි දරුවාය.ඉගෙනුමෙහි බොහෝ සමත්කම් පෑ බැවින් ඈ දැන් විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් ලෙස ඉගෙනුම ලබයි.උසස් පෙලින් පසු හෝටල් ක්ෂේත්‍රය සිය අනාගත රැකියා ක්ෂේත්‍රය කරගන්නා චතුරංග අද වනවිට සිය කැපවීම හා උනන්දුව නිසාම සීඝ්‍ර ලෙස සිය වෘත්තීයේ ඉහලට යමින් සිටී.
        සහේලිගේ විශ්ව විද්‍යාලය අවසන් වූ විගස විවාහ වන්නට සිහින මවමින් සිටි මේ යුවලට දෙපැත්තේ දෙමාපිය ආශීර්වාදයද නොඅඩුව ලැබෙද්දී චතුරංග සිය සතුට සැනසුම සියල්ල සහේලි හා ජීවිතය බෙදා ගනිමින් ගෙවන්නට සිහින පිට සිහින දකිමින් සිටීයේය. කායිකව බොහො ඈතින් විසූවද උදේ සිට රෑ එලි වෙනතුරු ඇදෙන අතිශය දීර්ඝ දුරකථන සංවාද නම් ඉවරයක් නැත.අම්මාට කතා කරන්නටවත් වෙලාවක් නැති තරම් සහේලි හා දොඩමලු වන්නට චතුරංග පෙලඹෙන්නේද මේ දුරස් බව අඩු කරගන්නටත් එක්කම ය.

"දැන් මට කතා කරන්නවත් වෙලාවක් නෑ නේද ඔයාට ලොකු පුතා..??" අම්මාගේ නෝක්කාඩු ස්වරය දුරකතනය හරහා ඇදී එයි.
"අයියෝ නැ නෑ අම්මා..මන් නිවාඩුවට එනවනේ..වැඩ වැඩී හොඳටම..ඒකයි" අම්මාට පත බේගලයක් ඇද බාමින් චතුරංග කියයි.
"අප්පච්චිට ආයෙත් පපුවෙ අමාරුවක් ආව පුතා.."
"හරි අම්මා.. ඉස්පිරිතාලේ ගියානේ..වෙහිකල් එක ගෙදරනේ අම්මා. මන් සල්ලි එවන්නම්..ප්‍රයිවට් යන්නකො අසනීප වුනොත් ආයෙම.."
"සල්ලි ,වාහන නම් අපිත් හම්බ කලානෙ දරුවො.නංගිත් කැම්පස්.. මුලු ගේම පාලුයි.. කවදද පුතේ ගෙදර එන්නේ?? "
"එනවා අම්මා එනවා..හරි හරි මන් ටිකක් බිසී..පස්සෙ ගන්නම් අම්මා.පරිස්සමෙන් ඉන්න.." කලබලයෙන් දුරකථනය තබන චාමර මෙතුවක් වේලා හඬ දෙන ජංගම දුරකථනය අතට ගනී.ඇමතුම ඇයගෙනි.පෙම්බස් දෙඩීම අම්මාගෙ දුක්ගැනවිල්ල ට වඩා කොහොමත් රසවත් නිසා චතුරංගට ගෙදර ගැන වගක් දැන් ඇත්තේම නැත.ඔහුගේ ලෝකයම සහේලිගෙන් පිරිලා ය.
        කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යන්නේ මේ අතරතුරේ ය.එහෙන් මෙහෙන් දිනයක දෙකක සහේලි මුනගැසෙන්නට යන සහන් ට ඇගෙ කැම්පස් මිතුරු මිතුරියන් ද සුහද වෙයි.ඇයට වඩා වසරක් වැඩිමල් සිය පන්ති සගයෙකු වූ  නිර්මාල් ට සහේලි විශ්ව විද්‍යාලයේ දී බලා ගන්නට පවරන්නට චතුරංග තීරණය කරන්නේත් ඔය අතරතුරේ ය.ඒ සිය ප්‍රාණ සම මිතුරා කිසිදා අහිතක් නොකරනවා යැයි දන්නා නිසාය.ඇහැක් සේ සිය පෙම්වතිය බලා ගන්නා බව දන්නා නිසාය.

"නිර්මාල් අයියා හරිම හොඳයි අයියේ.මාව හැමදාම බෝඩිමටත් ගිහින් දානවා.. මේන් ඉන්නව..කතා කරන්න.ඉන්නකො මන් දෙන්නම්.." සහේලි හා කතා කරනා ඇතැම් විටක සිය මිතුරා හා දොඩමලු වන්නට ද චතුරංග අමතක නොකරන්නේත් එබැවිනි.
       කාලය ගත වී යයි.දෙමාපිය ආශීර්වාදයත් සමඟින් සිය ආදරවන්තිය හා අතිනත ගන්නට දින ගනිනා චතුරංග එක්තරා දිනෙක  සිය හෝටල් පාසල් සගයා වූ සහන් හමුවන්නට නුවරට එන්නේ සිතේ ඇඳි සැලසුමක් ක්‍රියාත්මක කරවන්නට ඔහුගෙන් උපකාර පතමිනි.
  "එතකොට උබට රොමෑන්ටික් විදියට කෙල්ලට ප්‍රපෝස් කරන්නම ඕනි..එහෙමද??" සහන් විමසයි.
"ඔව් බන්.. නැතුව..මට ඕනි ඒක් එයාට මුලු ජීවිතේටම අමතක නොවෙන දෙයක් කරන්න.. " චතුරංග අහිංසක ලෙස පවසයි.

"අම්මේහ් මචං චතූ.. කැන්ඩ්ල් ලයිට් ඩිනර්.. රෙඩ් රෝසස්.. බැක්ග්‍රවුන්ඩ් මියුසික්..ෂුහ්හ් මචං උඹ නම්ම්... නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ "

"නැතුව ඉතින්..මගෙ කෙල්ලනේ බන්.ස්ටඩීස් හින්දා පණ ගිහින් ඇති..උඹ මට හෙල්ප් කරනවනේ..මෙහෙ රෙඩි කරපන් .. අපේ හොටෙල් එක් හරියන්නෑ.සුදු නංගිට සැක හිතෙයි .."

"අනිවා උඹට නැති උදව් කාටද බන්..මන් උබේ සයිඩ් එකේ..ප්ලෑන් එකට වැඩේ වෙයි.සහේලි එක්කන් වෙලාවට වරෙන්.. "

"හරි එහෙනම්..මන් යන්නම්" සිය මිතුරාට අතට අත දෙමින් පැවසූ චතුරංග පිටත් වන්නට සූදානම් විය.
"යං මන් එක්කම.මටත් ටවුන් එකට යන්නොනි.උඹව ස්ටේෂන් එකෙන් දාන්නම්.." සහන් සිය මිතුරා හා එක් වන්නේ ඔහු ඇරලවීමේ අරමුණත් සමඟිනි.

  මිතුරන් දෙදෙනා සහන්ගේ හෝටලයේ ඉදිරිපසට ඇදෙන්නේත් පිලිගැනීමේ කවුන්ටරය අසලම වූ හුරුපුරුදු යුවලක් චතුරංගගේ දෑස් උදුරාගන්නේත් එක්වරම වාගේ ය.සහන්ගේ කතා බහට සිත රඳවා ගනිමින් ඔවුන් පසුකරමින් පැමිණියද එක් වරම යටි සිතට ආ යම් අද්භූත හැඟීමක් නිසා චතුරංග එක්වරම හැරී යුවල දෙස බැලුවේය.
  නැත.විය නොහැකිය.මෙය සිහිනයක් විය හැකිය.නිර්මාල්ගේ අතේ එල්ලීගෙන ඒ ඇදෙනා රුව???
    ඒ ඇයමය.දෑස් ආවරණය වූ අව් කන්නාඩි නොවුයේ නම් ඒ ඔහු ගේ ජීවිතය ය.ආදරය ය.සහේලි..?? නැත මෙය සිහිනයක්ම ය.ඒ ඈ විය නොහැකිය.
  සිය මිතුරාගේ අදිසි වෙනස දැනුනු සහන් ද ඔහුගේ දෑස් යොමු වූ දිශාව දෙස බලන විට ඒ ඇදෙනා රුව අඳුනා ගන්නට ක්ෂනිකවම සමත් වූවේය.නිර්මාල් ගේ දෑතේ එල්ලී සිය හෝටලයේ කාමරයක් හා ඇදෙන්නේ මීට ටිකකට පෙර සිය මිතුරා තමා හා සිය  හීන මාලිගාවේ කුමරිය ලෙස හඳුන්වමින් කියවූ ඔහුගේ පෙම්වතියම ය.
ක්ෂනිකවම ඇද වැටෙන්නට යන සිය මිතුරා වත්තම් කරගත්  ඔහු ඇතුලට ගොස් අල්ලා ගනිමු යැයි කොතරම් කීවද සහන් හා චතුරංග එකඟ වූයේම නැත. ඒ අතරතුර සිද්දිය දෙස විමසිල්ලෙන් බලා සිටිනා හෝටල් සේවකයා

"සර්.. ඒ කපල් එක් හැම වීක් එන්ඩ් එකකම මෙහෙ එනවනෙ.සර්ට මීට් වෙලා නැ මන් හිතන්නෙ.."

"අයියා ..වීක් එන්ඩ්ස් බෑ අයියෝ.. මට අමාරු පාඩම් වලට ඩිස්කෂන් දාගන්න ඕනී.. " ඇය තමාට පැවසු අයුරු චතුරංගට ගෙන ආවේ කෝපයක් නොව කඳුලු ය.
"මචං අපි මෙතනින් යන්.. ප්ලීස්" බිඳුණු හඬකින් පැවසු චතුරංග ඉන් පසු එක් වචනයක් හෝ නැවත එන අතරමග සහන් හා දොඩවන්නේ නැත.සියල්ල අවසන් ය.ඇරඹුමක් අවසානයක් අරමුණක් නැති කතරක අතරමං වූ හෙතෙම නිහඬ භාවයේ පිලිවෙත් රකිමින් සහන්ගේ රථයේ නින්දට වැටුණි.
.......................

බීප්.. බීප්... බීප්...

සිය දුරකථනයේ නාදයෙන් සිහින ලෝකයෙන් අවදි වූ චතුරංගට අම්මාගේ රුව දිස් වූ දුරකථන තිරය ක්ෂනිකවම හැඬුම් ගෙන ආවේය.මේ අම්මා අමතන්නේ මාසයකටත් පසුවය.ඒ ඔහුට ඇගේ ඇමතුම් වදයක් වී තිබු බැවිණි.
"අම්මා.. " සිය පුතු ගේ බිඳී ගිය කට හඬ මේ අම්මාගේ හදවතේ දහසක් ගිනි අවුලවන්නට පටන් ගන්නා විටම..
"ලොකූ ඇයි මේ..ඔයා අඬනවද?? "
"අම්මා මට සමාවෙන්න..අනේ.."
"ඔයා කොහෙද ඉන්නෙ මගෙ පුතේ..?? මොකද උනේ?? "
පිලිතුරු නැත.ඉකිගසමින් හඬනා චතුරංග දෙස බිරාන්තවී මොහොතක් බැලූ සහන් දුරකතනය ගෙන ඇයගෙ පැනයන්ට පිලිතුරු දුන්නේය.
"ලොකූ.."
නැවතත් දුරකථනය හරහා ඇගේ හඬ ඇදී එයි.

"ගෙදර එන්නකෝ මගේ පුතේ..මන් සේරම බලා ගන්නම්.ඔයාට මං ඉන්නවනේ.." ඒ හඬ ලයාන්විතය.
"ම්ම්ම් හා..මන් එන්නම්"
දුරකථනය විසන්ධි කර මිතුරා දෙස බැලූ චතුරංග..
"මචං අපි ගෙදර යන්.."

ඒ අතර තුර සීතල දුරුත්තේ සවසක නුවර අහසයට ගුවන් විදුලිය මෙසේ නද  දෙමින් පැවතුණි.
  
   ""නුවර වීදී යට කරගෙන..
නින්දා වැහි වැගිරුනු දා..
බිරිඳකගේ සෙනෙහේ ගියා ...
යෝධ ඇලේ නැම්මේ...
ඔබෙ සෙනෙහස සුවඳ දීදී
දැනුනා මට අම්මේ.." 😊

#මානි ✒️

Thursday, May 11, 2017

අයිතිය ආත්මය නොවූ ආත්මසහකාරයෝ (Soul Mates) 👫❤️

"මන් එහෙනම් යන්නම් පුතේ... දොරවහගෙන පරිස්සමට ඉන්න..කලින් එන්න බලන්නම්කෝ.." කියාගෙනම  වාහානේට නගින අප්පච්චී දෙස දොරකඩට වී වෙනදා වගේම බලාගෙන හිටිය සමාධිගේ හිත තිබ්බේ ඔද්දල් වූ ලෙසටය.කිසිම හැඟීමක් නැතුව පිටත් වෙලා යන අප්පච්චී දිහා ආයෙමත් සැරයක් හැරිලා බලලාම දොර වසාගත් ඈ තනිවෙලා ඉන්න ඊයේ ඉඳන් වූ උවමනාවට ඉඩ දීමට තීරණය කලාය.
         ඇයට ඕනෑ වූයේ හඬන්නටය.කෑ ගසා හඬන්නටය.හදවත රිදුම් දෙන තරමටම වේදනාව පිටවෙන තුරු හඬන්නටය.ජීවිතය ,ආත්මය රිදුම් දෙන තරමටම හඬන්නටය.එහෙත් උවමනා වූ තරම් කඳුලුත්,හඬන්නට ශක්තියකුත් උරුම කර නොගත්  ඈ අප්‍රාණික හැඟීමකින් යුතුව බිම හිඳගත්තාය.
   "බීප් බීප්.."
      නැවත සැරයක් හඬ නගමින් ඇදී ආ කෙටි පණිවිඩයක් සිය දුරකතනයේ තිරය මත ඇඳෙනු දුටුවද ඇයට එය දකින්නට ඕනෑ නොවීය.උදෑසන සිට රාත්‍රී ගෙවෙන තුරුත් එහෙටත් මෙහෙටත් ඇදී යන දිගු වූ කෙටි පණිවිඩ වලින් ඈ වෙහෙසට පත්ව සිටියාය.වාද ,විවාද,ඇනුම්පද සේම විටක හදවත කීරී ගැස්සෙන තරම් වූ වදන් හරසර හා බෙදා ගන්නට වී දැන් සතියකටත් වැඩිය.
       හරසර, මාගේ කතා නායිකාවගේ හදවතේ ලැගුම්ගත් ආදරවන්තයාය.අනාරාධිතවම හදිසියේ ඇදී ආ පෙම් ඇරයුමකට පෙර ඔහු ඇයගේ ලබැඳි මිතුරා වී තිබිණි.බොහො කාලාන්තරයක් තිස්සේ බැඳුනු මිතුරුදම් ඇරෙන්නට කිසිදා අන් සෙනෙහසක් හීනෙකින් හෝ අපේක්ෂා නොකල ඈට ඔහුගේ වදන් ඇගේ මුව ගොලු කරවන්නට සමත් වූ එදවස  දෑස් පියාගත් සමාධි නැවතත් සිහිපත් කලාය.

"කියාගන්නයි ඕනි උනේ..මට ඔයාගෙන් උත්තරයක් ඕන්නෑ.."
එපමණකි.
    
      ඔහුට උත්තරයක් කෙසේ වෙතත් ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට නම් ඇගෙන් උත්තරයක් වෙසෙසින්ම ඕනෑ වී තිබූ ඒ සමයේ  දිනක අවසානයේ යෑවූ "හා " යන්න, ජීවිතය මේ සා විශාල අවුල් ජාලයක් ඇති කරාවි කියාද සමාධි  හීනෙකින්වත් සිතුවේ නැත.
    කාලය ආදරණීයව ගෙවී යද්දී දිනෙන් දින දලුලා වැඩෙන සෙනෙහසක වාසනාවන්ත උරුමක්කාරිය  වූ ඈ සැබැවින්ම සෙසු සෑම යුවතියක්  සේම බොහෝ බොහෝ අනාගත සුන්දර සිහිනයන් හි ඔහු හා මනසින් අතරමං වූවාය.
     සිහින දකින්නට හැක.ඒවා බිඳුනු දාට දැනෙන වේදනාවන්ගෙන් මිදෙන්නට ඇති අසීරුවද එහෙමය.ආවාසනාවන්ත මිතුරු ඇසුරුකට පින් සිදුවන්නට කණ වැකුනු ආරංචිය සිය මවගේ දෙසවන් සිප ගන්නා තුරුම මේ ආදර කතාවද සෙසු සියලුම  සුන්දර ආදර කතා සේ සැහැල්ලුවෙන් සතුටින් ගෙවී යන්නේ ඒකය.
    සමගියේ සතුට ඉතිරූ නිවස අඩ දබර හා ඉකිබිදුම් ද මැසිවිලි වලින් ද පිරී යන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවය.කෙසේ හෝ වේවා දින කිහිපයක් නිවසින් බැහැරව වෙසෙන අප්පච්චීගෙන් ආරංචිය සඟවා ගන්නට සමත්වන අම්මා ,සිය තර්ජනය සමාධි ඉදිරිපිට දිග හරින්නට අමතක කරන්නේද නැත.
"ඕක නවත්තපං.දෙවියන්ගෙ නාමෙන් සුදූ.. අර මනුස්සයා දැනගත්තොත් අපි කාටවත් ඉන්න හම්බෙන්නෑ.. දන්නව නේද අප්පච්චිගේ හැටි.."
"ඒත් අම්මා ..හරසරව අම්මා දන්නවනේ..එයා නරක කෙනෙක් නෙවේ..අනික එයා.."
  "දන්නවා තමා.. ඒත් මේත් මුකුත් කතා නෑ සුදු..වෙන්නැති දේවල් ගැන කතා කරන්නෙපා.. අර පපුවෙ අමාරුව තියෙන මනුස්සයා ගැන හිතනවා..දහදුක්විඳල උබලට උගන්වන ඒ මනුස්සයට වඩා පිට උන් ලොකුවෙලාද දැන්??? "😡
"අම්මා අනේ මන් කියන දේ අහන්නකෝ..ප්ලීස්.."
"මේ ගෙදර ඔයා ගැන තීරණ අපි අපිට ඕනි විදියට ගන්නම්.. මුරණ්ඩු උනොත් හිතාගන්නවා අම්මයි අප්පච්චී මැරුනා කියල.හෙටම.. නෑ දැන්ම මේක ඉවර වෙන්න ඔනි..එච්චරයි"
   
         කතාව අවසන් ය.දෙමාපිය තීරණයන්ට එකඟ වන්නටත්, සිය ආදර කතාව සිය දෑතින්ම මරා දමන්නටත් සමාධි තීරණය කරන්නේ ඉන් අනතුරුවය.සාමකාමී නිවසත් ,මව්පියන්ගේ සතුටත් විනාස කරා යැයි නැගෙන අනේක විද වූ චෝදනා දරාගන්නට තරම් ශක්තියක් ඈ සතු වූයේ නැත.කිසිදා කිසිම හේතුවකට නොරිදවූ දෙමව්පිය සිත් මෙසේ රිදවන්නට වීම ඈ දරුණු මානසික පීඩනයකට ලක්කිරීමට සමත් වූ අතර ඒ පීඩනය, අවසානයේ හරසරගේ හදවතේ දෙදරායාමටද හේතු වූයේය. ✒️
        සිතක් යනු ඔබට ඕනෑ හැටියට කඩන්නට,බිඳින්නට හෝ හදන්නට හැකි එවා නොවන වග සමාධි දැන සිටියාය.අම්මලා නිවැරදි විය හැක.එහෙත් එහෙමයි කියා හරසර ගේ හිත බිඳින්නට වීම මේ සියලු දේටත් වඩා ඇයට වද දෙන්නට පටන් ගෙන තිබුණි.ඔහුගේ තත්වය අසන්නට දකින්නට වන වාරයක් පාසාම පණ පිටින් පිච්චෙනවාක් වැනි හැඟීමකින් සිය සිරුර  දැවී දැවී යන්නට ගන්නේ සමාධිටත් නොදැනීමය. තත්වය හොඳ අතට හැරේවා යැයි පතන සෑම විටකම දෙමව්පියන් හා ආදරය අතරට නැවත නැවතත් හිරවී මානසිකව වද වේදනා විඳින්නට ඈට සිදු වී තිබුණි.

"උඹ අර කොල්ලව විනාස කලා බන්..ශික් මන් හිතුවෙ නෑ උඹ ඔය ජාතියේ කියල.." 😠

"අම්මලා කැමති වෙන්නෑ කියල දන්නවනම් මොකටද ඌට බලාපොරොත්තු දුන්නේ..?? මට ආයෙ කියන්නෙපා සමාධි.. උඹ මගෙ යාලුවෙක් කියල කියන්නත් ලැජ්ජයි.."😏

හිත ලඟින්ම සිටි මිතුරු මිතුරියන්ගේ ඈත්වීම් හා ඇනුම් පද ද, හරසරගේ තත්වයද ,දෙමව්පියන්ගේ හැසිරීම් ද එන්න එන්නම දරුණු මානසික පීඩනයක් වී ගොඩ නැගෙන්නට වූ මෙදින මාස ගණනාවක වූ වේදනාව කෙසේ හෝ අවසන් කරගන්නට ඈ අදිටන් කරගෙන සිටියා ය.
     ඈ ගත් තීරණයට වචනයක් හෝ නොකියා නිහඬවම විඳවන හරසරත්, විශ්වාසය බිඳී ගිය දෙමව්පියනුත් නිසා ආත්මයට ශාන්තිය කෙසේ වුවද කුඩු පට්ටම් වී ගිය හදවතත් ,දරුණු මානසික වේදනාවකුත් උරුම කරගනිමින් විඳවන ජීවිතය තුල කිසිදා නොවූ තරම් දුර්වල වූ ඈ දරාගැනීම් වලින් හෙම්බත් වී සිටියාය.
        අවසානයේ තමන් හේතුවෙන් සිය ආදරණීයයන්ට රිදුම් පමණක් උරුම වනු බැලීමට නොහැකි වූ හෙයින් මනුස්ස ආත්මයකට ගත හැකි මෝඩම තීරණය අරගත් ඈ බිඳී ගිය දෑස් තදකර ගෙන තියුණු වූ  වීදුරු කැබැල්ල සිය අත දිගේ ඇදගෙන ගියා ය. ✒️
     උණු උණුවේ ඇදී ගිය රුධිර දහරාවන් වලින් සමාධි තෙත් වී යන්නේත් අමතකව ගිය ලියකියවිලි අරගන්නට නිවසට පැමිණෙන ඇගේ ආදරණීය අප්පච්චී ජීවිතයේ කිසිදා දකින්නට නොපැතූ දර්ශන පෙලකින් ත්‍රස්ත වී යන්නේත් එකවිටම ය. වාසනාවකට දෝ නොදන්නා මුත් සමාධි ගේ දිවි එසේ බේරෙන්නේය.ඒ අප්පච්චි නිසාය.මාස ගණනාවක මානසික උපදේශනයත් නිසාවෙන් සුවපත් වු ඈ දැන් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වී ඇත. 😊
මේ ලියන මට ඈ හමුවන්නේ ඔය කාලයේ ය.

"ඉතින් ඊට පස්සේ අක්කේ.. හරසර?? " මම විමසීමි.
"රට ගියා නංගි..එයා හොඳින් ඉන්නවා.." සමාධි මට කියයි.
"කතා කලේ නැද්ද..??"
" නෑ.. නිකම් හිත රිදෙනවා විතරයිනේ.. අම්මලා කැමත්ත දෙන්නෑ.. මන් ඒක් දන්නවා.." ඇය අහස දෙස  හිස් බැල්මක් හෙලමින් කියයි.

"ඒත් ඔයාට වෙන කෙනෙක් බඳින්න වුනොත්..?? "
එසේ ඇසූ මෝඩකම් කියා සිතුනේ වචන කටින් එලියට පැන්නායින් පසුවය. ඒත් ඇය මට සිනාසුනාය.

"ආදරය කියන්නේ අයිති කරගන්නවට නෙමේ කෙල්ලේ.. ඔයාට ඔවා තේරෙන්න ඔයා පොඩි වැඩී..ඇත්ත ආදර කතා රැඳෙන්නේ හිත් වල.. මන් හිත හදාගෙන ඉවරයි නංගා..ජීවිතේ එන විදියකට මූණ දෙනවා..අපිට ඕනි හැමදේම ලැබෙන්නෑනේ..එයා ඉන්න කොහෙද එතන එයා සතුටින් ඉඳී.."

"ඒත් ඔයා කොහොමද ඒක දන්නේ..??කතා කරන්නෙත් නැත්තම්.. " 😕

"අපේ බැඳීම හරි අමුතුම එකක් නංගි.. මට තවමත් එයාව දැනෙනවා..." 😊

"😱"

#මානි ✒️✒️

Tuesday, May 9, 2017

"පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා..!! ( හදවතින්ම සමරනවානම් නම් පමණි.)

"මේ පාර වෙසක් එකට මොකද පුතේ කරන්නෙ?? " 😊

     අම්මා මගෙන් ඔය ප්‍රශ්නෙ ඇසුවේ කී වෙනි වතාවට දැයි මට මතකයක් නැත.එයට උත්තරයක් දීමට මට උනන්දුවක් තිබ්බේද නැත.මුලදි මුලදී නම් "ඔය මොකක් හරි කරන්න බැරියැ " කියා කීවාට මෙවර නම් මොකුත් කරන්නට මට අදහසක් ,උනන්දුවක් හෝ උවමනාවක් ඇති වූයේද නැත.ඒ තියා වෙසක් කවදාදැයි කැලැන්ඩරයෙන් බැලීමටවත් උනන්දුවක් මා සතු වූයේ නැත.😕අපරාදේ කියන්නට දුකක් නැත්තේ හිතවත්ම මිතුරු ආත්ම දෙක තුනකට  "කවදද බන් වෙසක් ?? " යැයි ඇසූ විට ඔවුන්ද සුපුරුදු පරිගණක තිරයෙන් මඳකට හෝ ඇස් ඉවතට නොගෙනම "අනේ මන්දා" යැයි කියූ බැවින් මට වෙසක් ගැන හැඟීමක් හෝ ඇති වූයේ නැත. ☸
     ඉස්සර නම් සිංහල අවුරුදු වලට පසු වෙසක් එනතුරු මන් ඉන්නේ ඇඟිලි  ගැන ගැනය.ඒ නානාප්‍රාකාර වෙසක් සැරසිලි වලින් නිවස සැරසීම මගේ වසරකට සැරයක් උදා වන ලොකුම සිහිනය වන බැවිනි.✡️බකට් හැරෙන්නට උපන්තේකට වෙසක් කූඩුවක් අපේ නිවසට කඩෙන් නොගෙනාවේ ඒක ය.පාසල් ගුරුවරියක් වූ මගේ අම්මාත් මාත් වෙසක් සමරන්නට මුලින්ම ගසන්නේ මාස්ටර් ප්ලෑනක් ය.එය මාස්ටර් ප්ලෑනක් යැයි මා කියන්නේ මේකය.අටපට්ටම්ද,තරුද,✡️නෙලුම් මල්ද,දහ අටපට්ටම්ද එකී මෙකී නොකී සියලු වෙසක් කූඩු සෑම වෙසක් දිනයකටම නිර්මාණය කිරීම අපි දෙන්නාගේ ඒකායන අරමුණය.☺️
   දින ගණනාවක් පුරා ගෙදර උණ පඳුරෙන් කපා ගන්නා උණ බට කපමින්, සුද්ද කරමින් කූඩු බැඳීම පටන් ගන්නේ ඊලගටය. මෙහි ඇති රසවත්ම සිද්දිය මේක ය.ගුරුවරියක් වූ ඈ ත්,පාසල් සිසුවියක් වූ මාත් සෑහෙන ගැම්මකින් යුතුව මේ කූඩු සැදීම පටන් ගන්නා බව ඇත්තය.ඊලගට පාසල් ගොස් අවසානයේ නිවසට පැමිණි වෙලේ සිට ඉවක් බවක් නැතුව කූඩු හදන්නට බට සුද්ද කරනා අප දෙදෙනා හෙට වෙසක් කියනා තුරුත් කරන්නේ බට සුද්ද කිරීම ය. 😁
  අවසානයේ කූඩු හැදීමේ යෝජනාව කාගේ වුවද සියලු කාර්‍යයන් අවසන් කරන්නට වන්නේ තාත්තාටත් ,අයියලාටත් ය.ඔවුන්ගේ නිවෙස් වල කූඩු සෑදිල්ල පැත්තක තියා මගෙ කූඩුවල වැඩ ඉවර කරන්නට එනවා මදිවාට රෑ බෝ වෙන්නට පෙර එවා ඉවර කරන්නටත් අවැසිය.ඒ අතරේදී තවමත් පෙර මාස්ටර් ප්ලෑනටම වැඩ කරන්නට හදන මා "ඕක ඔහොම නෙමේ..මෙහෙම අලවන්නකො අයියේ.. " යැයි පඬිවදන් දෙන්නට ද ගොස් ..
"මොන මගුලක් ද ඕයී.. තමුසෙම හදාගන්නවකො එහෙනම්" යැයි බැණුම් අසනා වාර ද අනන්ත අප්‍රමාණය. 😂
     ඒ අතර සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම උදෙසා ඒ වසරේ වෙසක් පොහෝ දිනයට අම්මාත් ,මාත් එකහෙලාම සත් පියුමන් සෑදීමට තීරණය කලෙමු.☺️කෙසේ හෝ  සත් පියුමන් අප දෙදෙනා විසින් සෑදූ අතර ඉහත කී පරිදිම රාත්‍රිය උදා වී අවට නිවෙස් වෙසක් සිරියෙන් එකාලෝක වන තුරුම අපේ කූඩු අලවා අවසන් වූ යේ නම් නැත.විදුලි ආලෝකය ද සකස් කල අවසන් කල සොහොයුරන් දෙදෙනා ගේ ද මාගේ පියාණණ් ගේද ආදරණීය වදන් රැසක් අවසානයේ කෙසේ හෝ අප නිවස අසල මේ සත් පියුමන් වලින් සරසා ගන්නට හැකියාව ලැබුණේ අම්මාත් මාත් ඉමහත් සතුටට පත් කරමින් වුවද තාත්තාට අනුව නම්
"දෙන්නා ලොකුවට කූඩු හැදිල්ල පටන් ගත්තට අන්තිමට පණ යන්නේ මගෙනෙ'' යන ඇනුම් පදය නම් එදත් වැරදුනේ නැත.😁
     එහෙත් එ ඇණුම් පද අතර ඔහු සිටින්නේ සතුටෙන් වග මම දනිමි.මන්ද වෙසක් පොහොයට කූඩුවක් සාදන්නෙ නැති අල්ලපු නිවසේ පොත් ගුල්ලන් දෙදෙනා නොසලකා මා ගැන මගේ පියා ආඩම්බර වන එකම දවස එදා වන බැවිනි.😉දවස් ගාණක් වෙහෙස වී සෑදූ කූඩු සුලඟේ සැලෙමින් පැද්දෙන විට දැනෙන සතුට වෙසක් කූඩූ එකට දාහක් කඩෙන් ගෙනත් එල්ලූවද ගන්නට බැරි බව මන් නොබියව සහ ආඩම්බරයෙන් කියන්නේ ද ඒකය. ☺️❤️
    ඒ එදාය.ජීවිතයේ අමිහිරි කාල වකවානු ඇවිත් ගිය සමයේ වුවද මා වෙසක් අමතක නොකලෙමි.⏳ඇතැම් දේ නොසිතෙන්නට ඔලුව රිදෙන තුරු කල්පනා කිරීම උරුම වූවායින් පසුව එයින් මිදෙන්නට මා කලේ වැඩ වල යෙදීමය.අධ්‍යාපනයත්,ජීවිතයත් හැල හැප්පීම් මැද ගෙවී යද්දී වඩ වඩාත් පොතට ඇලුනු දිවියක් නිර්මාණය කරගත් මා පරිගණක තිරයත් ,ලිවීමත්,මුහුණු පොතත්,මාගේ කාමරයත් මගේ ලෝකය බවට කරගත්තෙමි. 📚✏️ වැඩ වවා ගැනීම කලාවක් කරගත් විට ඔබට එයින් මිදෙන්නට නොහැකිය.ලෝකයේ අනික් සියල්ලට වඩා තමන්ගේ වැඩම ලොකු කරගත් මා වටේ ඈයින්ගේ අමනාපයට බඳුන් වීමද නැවතුනේ නැත.මෙවර වෙසක් ආවේ ද එවන් කාලයකය.✏️😒
   අවසන් කලයුතු අධ්‍යන කටයුතුත්,අවාසනාවකට සෙට් වූ රිපීට්ටුවකුත් නිසා මුහුණ නොරොක් කරගෙන රතු කට්ට පැන සිටින මට මේ පාර වෙසක් මොකටෙයි කියා සිතුනේ සති ගාණකට පෙරය.😏අම්මාගේ පෙර පැණයට හදවතින් නොරිස්සුම් පිලිතුරක් දී නිහඬව හිටියේද ඒක ය.හොස්ස ලඟින් මැස්සකුට හෝ යන්නට බැරුව මා ඉන්නා වග දන්නා බැවින් ඇය නැවත මගෙන් ඒ ගැන විමසන්නට නොආවේද මගෙ පීඩනය ඇය අවබෝද කරගත් නිසාද විය හැකිය.ඔය අතරේ වෙසක් පොහොයට පෙර දිනයද උදාවිය. ☸🌜
  වෙනදාට වෙසක් පොහොයට සියලු සැරසිලි ගේන්නට තාත්තා සමඟ යන්නේ මම ය.අත් දෙකෙන්ම ලොකූ මලු දෙකක් ඔසවාගෙන ආඩම්බරෙන් ගෙදර එන්නේ වෙසක් එකට වැඩ පටන් ගන්නටය.මෙදා මට වගක් නොවූ හෙයින් අම්මා ඒ කර්තව්‍ය ඉටු කොට තිබෙන අයුරු මා දැක්කේ කන කැස්බෑවා විය සිදුරෙන් එලිය බලන්නාක් මෙන් කාමරයෙන් එලියට ඇදී ආ අතරතුරේය. 😶🌾
  "ඔයාට වෙලාවක් නෑනේ.. මන් කඩෙන් මේවා අරන් ආවා.. " අම්මා කියයි.ඇය අත වූයේ කාඩ්බෝඩ් ඇසුරුමකි.
"මේ මොකද්ද?? " මට ඇසුනේ ඉබේටම ය.😕

"මේක් අර මන් ඔයා පොඩි කාලෙ හදන්නේ කාඩ්බෝඩ් වලින්...සෙලෝපේන් අලවලා.. ඒ වගේ.. මෙතන කූඩු 5ක් " ඇය කියාගෙන යයි. ☺️
(ඔය සෙලෝපේන් කූඩු වසරකට වරක් නව කූඩු නිර්මානයට අදහස් හොයන ඈ වෙසක් සැරසිලි කඩ ගානෙ ගොස් බලාගෙන පැමිණ එක් වසරක කල නිර්මාණයකි.)

"මේක් හදලා බකට් ටික් එල්ලමු.තාත්තා බල්බ් දායිනේ..ඒවා ලස්සනයි.හදපු කූඩුත් තිබ්බා.බස් එක් ගේන්න බෑනේ.. " 😕

මට ක්ෂණිකව ඇති වූ හැඟීම මොකද්දැයි කියන්නට මට තේරුමක් නැත.එය කේන්තියක්ද,දුකක්ද,මන් ගැනම අපුලක්ද මොන එකක්දැයි කියන්නට නොදන්නා මුත් මගේ උගුර නම් හිරවී ගොස් තිබුණි.කවර පුරා ගෙන ආ බොහෝ දේ අම්මා මට ඒ වන විටත් පෙන්වමින් සිටියාය.
   එහෙත් උපතින් ලද ජාන වල රිදුමත්,එදා පටන් ඇදී ආ පුරුදුත් මට අමතක කරන්නට නොහැකිය.වැඩ ගියාවේ යකාට.. මම කියා ගතිමි. ☺️

"ඔය මොක ගෙනාවත් ගෙදර හදන වෙසක් කූඩුවක් මැරීගෙන හදලා එල්ලුවම දැනෙන  සතුට ගන්න බෑ අම්මේ.. 😕වැඩ තිබ්බට කමක් නෑ.. ඔයා බට කපන්න.මන් එන්නම්.. හෙට රෑ වෙනකම් වෙලාව ඇති.. අපි කූඩු හදමු... " 😊😃

"ඇති යාන්තම්..ඔයාට එහෙම හිතුනා .. " සැනසුම් සිනාවක් පා අවසානයේ  ඇය මට එසේ පවසා ඇදුනේ උණ පඳුර පැත්තට  විය හැක . 😌😊

කාර්‍යබහුල වීම යනු අප අපවම අමතක කිරීම විය නොහැක.වෙසක් එන්නේ වසරකට එක පාරය.පිනට වඩා විලාසිතාවට වෙසක් සමරන ලෝකයක හෙට එක් බුදු වදනක් හෝ සිහිපත් වනවා නම් ඇතිය.අම්මා තාත්තා ත් අලෙවිකරණයේ ඉත්තන් වූ විටක ආගමට එසේ වීමේ කොයි අරුමයක් ද නැත.සියල්ල ලේසියෙන් කරගන්නට සිටිනා අපේ ඈයො අනාගතයේ කැරකෙන කූඩුව යූ ටියුබ් එකෙන් ඩව්න්ලෝඩ්  කර ගෙන එය සිය පරිගණකයෙන් නිවස ඉදිරියේ ප්‍රදර්ශනය කර වෙසක් සැමරුවේ නැති නම් ඇතිය. 😏
   එහෙත් වෙසක් යනු වෙසක්‍ ය.එය සැමරිය යුත්තේ හදවතින්මය. ☺️ඒ හැඟීම් මුදලින් පිරිමසන්නටද නොහැකිය.ඔබ අද එසේ කලද කවදා හෝ ඔබේ දරුවා වෙසක් යනු කඩෙන් ගෙනා කූඩු එල්ලන, රෑ එලිවෙනතුරු කෑ කෝ ගසමින් ගමන් බිමන් යන,වන්දනා ගමන තවත් එක් විනෝද චාරිකාවක් වන,සරල සිංහලෙන් කීවොත් ආතල් දින කිහිපයක් යැයි අවබෝද කරගන්නවාට ඔබට කමක් නැතිනම් එසේ කරාට කම් නැත. ප්‍රතිපත්තිය මුල්කොට ආමිසය හා එක් වී එදවස සැමරූ වෛශාක්‍ය මංගල්‍ය ඒ භක්තිය හා ශ්‍රද්ධාව හා එක් වී සමරනවාද නැති නම් ඉහත කී පරිදි සම්බුදු තෙමගුල තවත් එක් කානිවල් එකක් කරගන්නවා දැයි සිතීමත් ඔබටම භාරය. 😕

"ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක්ම වේවා!! " ☺️

#මානි  ✒️😊