Monday, May 22, 2017

මන් එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ 😊


          කඳු මුදුන් සිප එන සීතල සුලඟ හා ගැටෙමින් ඇදහැලෙන වර්ෂාව මැඩලන්නට ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයේ වයිපරය මදින් මඳ අසමත් වෙද්දී තවත් කරන්නට දෙයක් නොමැති වූ සහන් සිය මිතුරා දෙස බැලුවේ කුමක් කරන්නදැයි විමසන්නට ය. වැඩක් නැත.ඔහු තවමත් නිසොල්මන් ය.ගල් පිලිමයක් සේ ඉදිරිපස අසුනේ හිඳගෙන ඔහේ බලා ගත්වනම බලා සිටිනා සිය මිතුරා දුටු සහන් ගේ හදවත කීවෙනි වතාවටදෝ නොදැනීම මිතුරුදම වෙනුවෙන් පිච්චී ගියේ ‍ය.

"මචං,චතූ.. වැස්ස තදයි බන්.. අපි ටිකක් ඉඳල යන්ද?  "
ම්හ්හ්.. නැත.කිසිදු ප්‍රතිචාරයක් නැත.ඔහු තවමත් එකම ඉරියව්වෙන් ඔහේ බලා හිඳින්නේය.නොකීවාට නොපෙනුනාට චතුරංග ගේ අභ්‍යන්තරය ඉරිතලමින් බිඳී බිඳී යන අයුරු දැන් පැය කිහිපයක් පුරාවටම සහන් දුටුවේය.ඔහුට එය දැනුණේය..
"චතූ.. මචං.. "
"වෙච්ච දේ උනා බන්.. අපි මේකට මුණ දෙමු..උබ තවත් ඒකි ගැන හිතන්නෙපා.. ඒකි මහ පට්ට වේ.. "

"ෂ් ... ෂ්.. ෂ්.. " එක්වරම  සිය දබර ඇඟිල්ල මුව මත තබා මිතුරාට නිහඬ වන්නැයි එ සන් කල චතුරංග දෑස් තදින් පියාගෙනම සිය අසුනට තවත් නැඹුරු වූයේ පොඩි එකෙකු මෙන් දිගින් දිගටම සිය මිතුරාට නිහඬ වන්නැයි  සන් කරමිනි..
"අපි යන්"
-----------------------------------------------------------------------------

"අයියේ.. ඔයා කොහෙද..?? " බීප් බීප් හඬින් නාද දෙන ජංගම දුරකථනයේ එහා කොනින් සියුම් ස්වරයක් ගලා ආවේය.
   "සහේලි"
දුරකථනයේ තිරය බබලයි.ඒ හා සමානවම බබලන දෑසින් යුතුව චතුරංග දුරකථන ඇමතුමට පිලිතුරු දෙන්නට විය.
"මං මග සුදු නංගි..කඩුගන්නාවේ.. මේ බහින ගමන්.."
"අපොයි..එහෙනම් මන් ටිකකින් ගන්නම්.. ඔයා එද්දී කීය වෙයිද අහන්නයි ගත්තෙ..පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න..මට කෑගල්ල දිහාට ඇවිත් ගන්නකො එහෙනම්.. "

"නෑ නෑ කියන්න..මන් ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් ආන්ස්වර් කරේ අද ඊයෙ යැ ළමයො.. "

"ඒ උනාට පරිස්සමෙන් අයියේ..ඉක්මනින් කියන්නකො එහෙනම්..ඔයා එනකොට කීය වෙයිද..??"

"10.30 ට 11 ට විතර වෙයි..ඔයා කැම්පස් එක් ගාව ඉන්න.මන් ගන්නම්.. "
"හා එහෙනම්.. අසයිමන්ට්ස් වගයක් තියෙනව..මන් සබ්මිට් කරල එන්නම්."
"හරි ඔයා එන්නකෝ.. මගෙ පුංචි උපාධි හාමිනේ බලන්නත් ආසයි දැන්.."
"උපාධි හාමිනේට ඇඬිලා ඉන්නෙ අෆ්ෆා.. එක්සැම් ..අසයිමන්ට්..බ්ලා බ්ලා බ්ලා..
එහෙනම් පරිස්සමෙන් එන්න අයියෙ..මන් බලන් ඉන්නවා.. බුදුසරණයි.. "
"බුදු සරණයි නංගි.." චතුරංග සිනාසෙමින් දුරකථනය විසන්ධි කලේය.
      මේ කතාවේ සහේලි හා චතුරංග පෙමින් බැඳෙන්නේ උසස් පෙල අවසන් වන සමයේ ය.පිරිමි සිතකට දෙවරක් හැරී බලන්නට සිතෙනා මනස්කාන්ත රූ සපුවකින් අගතැන්පත් සහේලි මධ්‍යම පාන්තික පවුලක දෙවෙනි දරුවාය.ඉගෙනුමෙහි බොහෝ සමත්කම් පෑ බැවින් ඈ දැන් විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් ලෙස ඉගෙනුම ලබයි.උසස් පෙලින් පසු හෝටල් ක්ෂේත්‍රය සිය අනාගත රැකියා ක්ෂේත්‍රය කරගන්නා චතුරංග අද වනවිට සිය කැපවීම හා උනන්දුව නිසාම සීඝ්‍ර ලෙස සිය වෘත්තීයේ ඉහලට යමින් සිටී.
        සහේලිගේ විශ්ව විද්‍යාලය අවසන් වූ විගස විවාහ වන්නට සිහින මවමින් සිටි මේ යුවලට දෙපැත්තේ දෙමාපිය ආශීර්වාදයද නොඅඩුව ලැබෙද්දී චතුරංග සිය සතුට සැනසුම සියල්ල සහේලි හා ජීවිතය බෙදා ගනිමින් ගෙවන්නට සිහින පිට සිහින දකිමින් සිටීයේය. කායිකව බොහො ඈතින් විසූවද උදේ සිට රෑ එලි වෙනතුරු ඇදෙන අතිශය දීර්ඝ දුරකථන සංවාද නම් ඉවරයක් නැත.අම්මාට කතා කරන්නටවත් වෙලාවක් නැති තරම් සහේලි හා දොඩමලු වන්නට චතුරංග පෙලඹෙන්නේද මේ දුරස් බව අඩු කරගන්නටත් එක්කම ය.

"දැන් මට කතා කරන්නවත් වෙලාවක් නෑ නේද ඔයාට ලොකු පුතා..??" අම්මාගේ නෝක්කාඩු ස්වරය දුරකතනය හරහා ඇදී එයි.
"අයියෝ නැ නෑ අම්මා..මන් නිවාඩුවට එනවනේ..වැඩ වැඩී හොඳටම..ඒකයි" අම්මාට පත බේගලයක් ඇද බාමින් චතුරංග කියයි.
"අප්පච්චිට ආයෙත් පපුවෙ අමාරුවක් ආව පුතා.."
"හරි අම්මා.. ඉස්පිරිතාලේ ගියානේ..වෙහිකල් එක ගෙදරනේ අම්මා. මන් සල්ලි එවන්නම්..ප්‍රයිවට් යන්නකො අසනීප වුනොත් ආයෙම.."
"සල්ලි ,වාහන නම් අපිත් හම්බ කලානෙ දරුවො.නංගිත් කැම්පස්.. මුලු ගේම පාලුයි.. කවදද පුතේ ගෙදර එන්නේ?? "
"එනවා අම්මා එනවා..හරි හරි මන් ටිකක් බිසී..පස්සෙ ගන්නම් අම්මා.පරිස්සමෙන් ඉන්න.." කලබලයෙන් දුරකථනය තබන චාමර මෙතුවක් වේලා හඬ දෙන ජංගම දුරකථනය අතට ගනී.ඇමතුම ඇයගෙනි.පෙම්බස් දෙඩීම අම්මාගෙ දුක්ගැනවිල්ල ට වඩා කොහොමත් රසවත් නිසා චතුරංගට ගෙදර ගැන වගක් දැන් ඇත්තේම නැත.ඔහුගේ ලෝකයම සහේලිගෙන් පිරිලා ය.
        කෙමෙන් කෙමෙන් කාලය ගෙවී යන්නේ මේ අතරතුරේ ය.එහෙන් මෙහෙන් දිනයක දෙකක සහේලි මුනගැසෙන්නට යන සහන් ට ඇගෙ කැම්පස් මිතුරු මිතුරියන් ද සුහද වෙයි.ඇයට වඩා වසරක් වැඩිමල් සිය පන්ති සගයෙකු වූ  නිර්මාල් ට සහේලි විශ්ව විද්‍යාලයේ දී බලා ගන්නට පවරන්නට චතුරංග තීරණය කරන්නේත් ඔය අතරතුරේ ය.ඒ සිය ප්‍රාණ සම මිතුරා කිසිදා අහිතක් නොකරනවා යැයි දන්නා නිසාය.ඇහැක් සේ සිය පෙම්වතිය බලා ගන්නා බව දන්නා නිසාය.

"නිර්මාල් අයියා හරිම හොඳයි අයියේ.මාව හැමදාම බෝඩිමටත් ගිහින් දානවා.. මේන් ඉන්නව..කතා කරන්න.ඉන්නකො මන් දෙන්නම්.." සහේලි හා කතා කරනා ඇතැම් විටක සිය මිතුරා හා දොඩමලු වන්නට ද චතුරංග අමතක නොකරන්නේත් එබැවිනි.
       කාලය ගත වී යයි.දෙමාපිය ආශීර්වාදයත් සමඟින් සිය ආදරවන්තිය හා අතිනත ගන්නට දින ගනිනා චතුරංග එක්තරා දිනෙක  සිය හෝටල් පාසල් සගයා වූ සහන් හමුවන්නට නුවරට එන්නේ සිතේ ඇඳි සැලසුමක් ක්‍රියාත්මක කරවන්නට ඔහුගෙන් උපකාර පතමිනි.
  "එතකොට උබට රොමෑන්ටික් විදියට කෙල්ලට ප්‍රපෝස් කරන්නම ඕනි..එහෙමද??" සහන් විමසයි.
"ඔව් බන්.. නැතුව..මට ඕනි ඒක් එයාට මුලු ජීවිතේටම අමතක නොවෙන දෙයක් කරන්න.. " චතුරංග අහිංසක ලෙස පවසයි.

"අම්මේහ් මචං චතූ.. කැන්ඩ්ල් ලයිට් ඩිනර්.. රෙඩ් රෝසස්.. බැක්ග්‍රවුන්ඩ් මියුසික්..ෂුහ්හ් මචං උඹ නම්ම්... නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ "

"නැතුව ඉතින්..මගෙ කෙල්ලනේ බන්.ස්ටඩීස් හින්දා පණ ගිහින් ඇති..උඹ මට හෙල්ප් කරනවනේ..මෙහෙ රෙඩි කරපන් .. අපේ හොටෙල් එක් හරියන්නෑ.සුදු නංගිට සැක හිතෙයි .."

"අනිවා උඹට නැති උදව් කාටද බන්..මන් උබේ සයිඩ් එකේ..ප්ලෑන් එකට වැඩේ වෙයි.සහේලි එක්කන් වෙලාවට වරෙන්.. "

"හරි එහෙනම්..මන් යන්නම්" සිය මිතුරාට අතට අත දෙමින් පැවසූ චතුරංග පිටත් වන්නට සූදානම් විය.
"යං මන් එක්කම.මටත් ටවුන් එකට යන්නොනි.උඹව ස්ටේෂන් එකෙන් දාන්නම්.." සහන් සිය මිතුරා හා එක් වන්නේ ඔහු ඇරලවීමේ අරමුණත් සමඟිනි.

  මිතුරන් දෙදෙනා සහන්ගේ හෝටලයේ ඉදිරිපසට ඇදෙන්නේත් පිලිගැනීමේ කවුන්ටරය අසලම වූ හුරුපුරුදු යුවලක් චතුරංගගේ දෑස් උදුරාගන්නේත් එක්වරම වාගේ ය.සහන්ගේ කතා බහට සිත රඳවා ගනිමින් ඔවුන් පසුකරමින් පැමිණියද එක් වරම යටි සිතට ආ යම් අද්භූත හැඟීමක් නිසා චතුරංග එක්වරම හැරී යුවල දෙස බැලුවේය.
  නැත.විය නොහැකිය.මෙය සිහිනයක් විය හැකිය.නිර්මාල්ගේ අතේ එල්ලීගෙන ඒ ඇදෙනා රුව???
    ඒ ඇයමය.දෑස් ආවරණය වූ අව් කන්නාඩි නොවුයේ නම් ඒ ඔහු ගේ ජීවිතය ය.ආදරය ය.සහේලි..?? නැත මෙය සිහිනයක්ම ය.ඒ ඈ විය නොහැකිය.
  සිය මිතුරාගේ අදිසි වෙනස දැනුනු සහන් ද ඔහුගේ දෑස් යොමු වූ දිශාව දෙස බලන විට ඒ ඇදෙනා රුව අඳුනා ගන්නට ක්ෂනිකවම සමත් වූවේය.නිර්මාල් ගේ දෑතේ එල්ලී සිය හෝටලයේ කාමරයක් හා ඇදෙන්නේ මීට ටිකකට පෙර සිය මිතුරා තමා හා සිය  හීන මාලිගාවේ කුමරිය ලෙස හඳුන්වමින් කියවූ ඔහුගේ පෙම්වතියම ය.
ක්ෂනිකවම ඇද වැටෙන්නට යන සිය මිතුරා වත්තම් කරගත්  ඔහු ඇතුලට ගොස් අල්ලා ගනිමු යැයි කොතරම් කීවද සහන් හා චතුරංග එකඟ වූයේම නැත. ඒ අතරතුර සිද්දිය දෙස විමසිල්ලෙන් බලා සිටිනා හෝටල් සේවකයා

"සර්.. ඒ කපල් එක් හැම වීක් එන්ඩ් එකකම මෙහෙ එනවනෙ.සර්ට මීට් වෙලා නැ මන් හිතන්නෙ.."

"අයියා ..වීක් එන්ඩ්ස් බෑ අයියෝ.. මට අමාරු පාඩම් වලට ඩිස්කෂන් දාගන්න ඕනී.. " ඇය තමාට පැවසු අයුරු චතුරංගට ගෙන ආවේ කෝපයක් නොව කඳුලු ය.
"මචං අපි මෙතනින් යන්.. ප්ලීස්" බිඳුණු හඬකින් පැවසු චතුරංග ඉන් පසු එක් වචනයක් හෝ නැවත එන අතරමග සහන් හා දොඩවන්නේ නැත.සියල්ල අවසන් ය.ඇරඹුමක් අවසානයක් අරමුණක් නැති කතරක අතරමං වූ හෙතෙම නිහඬ භාවයේ පිලිවෙත් රකිමින් සහන්ගේ රථයේ නින්දට වැටුණි.
.......................

බීප්.. බීප්... බීප්...

සිය දුරකථනයේ නාදයෙන් සිහින ලෝකයෙන් අවදි වූ චතුරංගට අම්මාගේ රුව දිස් වූ දුරකථන තිරය ක්ෂනිකවම හැඬුම් ගෙන ආවේය.මේ අම්මා අමතන්නේ මාසයකටත් පසුවය.ඒ ඔහුට ඇගේ ඇමතුම් වදයක් වී තිබු බැවිණි.
"අම්මා.. " සිය පුතු ගේ බිඳී ගිය කට හඬ මේ අම්මාගේ හදවතේ දහසක් ගිනි අවුලවන්නට පටන් ගන්නා විටම..
"ලොකූ ඇයි මේ..ඔයා අඬනවද?? "
"අම්මා මට සමාවෙන්න..අනේ.."
"ඔයා කොහෙද ඉන්නෙ මගෙ පුතේ..?? මොකද උනේ?? "
පිලිතුරු නැත.ඉකිගසමින් හඬනා චතුරංග දෙස බිරාන්තවී මොහොතක් බැලූ සහන් දුරකතනය ගෙන ඇයගෙ පැනයන්ට පිලිතුරු දුන්නේය.
"ලොකූ.."
නැවතත් දුරකථනය හරහා ඇගේ හඬ ඇදී එයි.

"ගෙදර එන්නකෝ මගේ පුතේ..මන් සේරම බලා ගන්නම්.ඔයාට මං ඉන්නවනේ.." ඒ හඬ ලයාන්විතය.
"ම්ම්ම් හා..මන් එන්නම්"
දුරකථනය විසන්ධි කර මිතුරා දෙස බැලූ චතුරංග..
"මචං අපි ගෙදර යන්.."

ඒ අතර තුර සීතල දුරුත්තේ සවසක නුවර අහසයට ගුවන් විදුලිය මෙසේ නද  දෙමින් පැවතුණි.
  
   ""නුවර වීදී යට කරගෙන..
නින්දා වැහි වැගිරුනු දා..
බිරිඳකගේ සෙනෙහේ ගියා ...
යෝධ ඇලේ නැම්මේ...
ඔබෙ සෙනෙහස සුවඳ දීදී
දැනුනා මට අම්මේ.." 😊

#මානි ✒️

2 comments:

  1. බෑ බං දැන් මට වයසයි. අනික දැන් ඉඳිකඩ කඩල ඉලෙක්ට්‍රික් ගේට්ටුවක් දාල තියෙන්නේ. ලඟට එනකොට මගේ අයිෆෝන් එකට කෝල් කරපං, මම ඇතුලෙ ඉඳන් ගේට්ටුව අරින්නං. ගරාජ් එකේ හයිබ්‍රිඩ් එක තියෙන නිසා ගේට්ටුව ගාවම පාක් කරපං.

    ReplyDelete